කරන්දෙණිය - එම්. සුසිල් පියන්ත
කා බී, ජොලි කර, වැඩමුළුවකට සහභාගි වී රුපියල් තුන් දහසක් සාක්කුවේ දාගෙන එන්න ගිය අයකුට රුපියල් තුන්දහසත් නැතිව, රුපියල් දහතුන් දහසක් පාඩු වූ අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
හේ, අඩියට පුඩියට රුචිකත්වයක් දක්වන අයෙකි. පොඩි අඩියකින් ලොකුවට මත් වී සින්දු කවි කර කීමටත්, කවි සින්දු කර කීමටත් සමතෙකි. ඔය අල්ලපනල්ලේ වැඩමුළුවකට සහභාගි වන ලෙස ඔහුට ද ආරාධනාවක් ලැබිණ.
කෑම බීම සමග අඩි පුඩි ඇතුළුව රුපියල් තුන්දහසක් ද ලැබෙන බවට ඔහුට දැනගන්නට ලැබිණ. ඉබ්බා දියේ දැම්මාම ඇන්නෑවේ යයි කියූ සේ, ඔහු ද මේ වැඩමුළුවට එක පයින් නොව දෙපයින්ම කැමැති විය.
එදා නිවාඩු දිනයක් වූ බැවින්, ඔහුගේ මේ ගමනට භාර්යාව විරුද්ධ වූවාය. ඒ, නිවෙසේ ඇති වැඩ කන්දරාව එදින දෙදෙනාත් එක්ක කරගැනීමට පුළුවන් නිසාවෙනි. “මොන පිස්සු ද, මේ ගමන ගියාම රුපියල් තුන්දහසක් හම්බ වෙනවා. ඒක මම ඔයාට දෙන්නම්.” කී විට, භාර්යාව ද ඊට එක පයින්ම කැමැති වූවාය.
වැඩමුළුවට ඔහු අනෙක් අයත් සමග ගියේය. ඒ සඳහා බස් රථයක් ද ඔවුනට සංවිධායකයන් සපයා තිබිණ. එම බස් රථයෙන් වැඩමුළුවට ගිය ඔහු වැඩමුළුව අවසන් වී එම බස් රථයෙන්ම ආපසු පැමිණෙමින් සිටියේය.
එසේ එන අතරතුර පොඩි ෂොට් එකක් දෙකක්, කඩල ඇටයක් දෙකක් කටේ දමාගෙන, දාගන්නට ඔහුට හැකි විය. මිනිහාගේ පදම පැන ගියේය. අපූරුම කෙනෙක් විය. සිංදු කිව්වේය. කවි කිව්වේය. භාර්යාවගේ ද පුරාව ගැසුවේය. ඒ විතරක්ම නොව, බැරි බැරි ගාතේ උඩ පැන පැන නැටුවේය.
ගමනාන්තය දක්වා එන විට රෑබෝ වී තිබිණ. මිනිහා බස් රථයෙන් බසින්නට සූදානම් විය. සාක්කුව අතගෑවේය. ඇස් දෙක අතගෑවේය. දෙයියනේ, කණ්ණාඩි දෙක නැත. ඒ අවස්ථාවේ හැටියට සෑම තැනකම සෙව්වේය. කණ්ණාඩි දෙක නැති තැන භාර්යාවගේ මුහුණ ද සිහියට මැවුණේය. දෙනවයි කියූ තුන් දහස ලැබුණේ ද නැත. රුපියල් දහතුන් දහසක් වියදම් කර හැදූ කණ්ණාඩි දෙක ද නැත. භාර්යාවට දැන් කියන්නේ මොනවා දැයි කියමින්, නිවෙසට නොගොස් ඔහු හූල්ල හූල්ලා සිටියේලු.