’’මගේ බස් එකේ ගිය කිසිවෙක් ආයිත් පණපිටින් දකින්න ලැබෙන්නෙ නැහැ ’’


සැන්ටි අයියාගේ අතීත මතක

දැවුණු තැන්වල නිවුණු මතක

මීට වසරකට පමණ ඉහත දී එක්තරා දිනෙක හවස් වරුවේ මාගේ දුරකථනය නාද විය. ඉන් ඇසුණේ හුරුපුරුදු කටහඬකි. ඒ අරණායක පදිංචි සැරයන් මේජර් උදයපාලගේය. (ඔහු 1990 මාන්කුලම් ප්‍රහාරයට සම්බන්ධ අයෙකි.) “සර්, හෝඩුවාවක් ලැබුණා. සර්ට ඉතාම වැදගත් වෙන කෙනෙක් ගැන. හෙතෙම පැවසීය. හදිසියේම එලෙස ඇමතුමක් ලබා දෙමින් ඔහු පවසන්නට යන්නේ කා ගැන දැයි මා තුළ ක්ෂණිකව මතු වූයේ කුතුහලයකි. එහි දී උදයපාලගේ පැහැදිලි කිරීම හමුවේ එකී පුද්ගලයා පිළිබඳ එවැනි තොරතුරක් ලැබීම මා හට අදහාගත නොහැකි විය. කෙසේ හෝ මම ඒ ඔස්සේ කල් නොයවාම එම පුද්ගලයා සමග මොහොතක් කතා කළෙමි. පසුව නැවත වතාවක් කතා කළෙමි. නැවත නැවත ද කතා කළෙමි. අවසන ඔහු මුණ ගැසෙන්නට ද අමතක කළේ නැත. හෙතෙම නමින් දිසානායක විය. වැඩි දෙනකු ඔහුව ආමණ්ත්‍රණය කළ ආදරණීය නාමය වූයේ “සැන්ටි අයියා”ය.  ඔහු අනෙකකු නොව අදින් වසර 33 කට එපිට දී, එනම් 1990 දී කොකාවිල් බලාගිය හමුදා භට පිරිස රැගෙන ගිය බස් රථයේ රියදුරාය. මේ ඔහුගේ කතාවයි. 


‘‘මෙරට පැවති දශක තුනක යුද ඉතිහාසය තුළ 1990 කොකාවිල් ප්‍රහාරය වූ කලී බිහිසුණුම හා සංවේදීම සිදුවීමකි. එම සිදුවීම එතරම් විශේෂත්වයක් උසුලනුයේ එය දෙවැනි ඊලාම් යුද්ධය ඇරඹුමත් සමඟම උතුරේ සටන් ඇවිලෙන ප්‍රථම අවස්ථාව වීමත්, හමුදා ඉතිහාසයේ “පරම වීර වීභූෂණ” සම්මානය හිමිකරගත් ප්‍රථම නිලධාරි වූ කපිතාන් සාලිය අලදෙණිය නාමය එම ප්‍රහාරය හමුවේ ඉතිහාසයට එකතුවීමත් කරනකොට ගෙනය. 


උතුරු ප්‍රදේශයේ රාජකාරි සඳහා නුවරඑළියේ පිහිටි 3 ස්වේච්ඡා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් භට පිරිසක් පිටත් වෙනුයේ 1990 මැයි 18 වැනි දිනය. ඒ වව්නියාවෙන් ඔබ්බට වූ මාන්කුලම්, කොකාවිල්, පරන්තන්, අලිමංකඩ හා කන්කසන්තුරය යන කඳවුරු භාර ගැනීම සඳහාය. 120 දෙනකුගෙන් යුත් භට පිරිසක් ඒ සඳහා සූදානම් වෙනුයේ නුවරඑළිය ආශ්‍රිතව සිදුකරනු ලැබූ මසක කෙටි යුද පුහුණුවකින් ද අනතුරුවය. එලෙසින්ම සියල්ල සූදානම් කොට 3 සිංහ රෙජිමේන්තු සෙබළු 1990 මැයි 18 දින නුවරඑළියේ පිහිටි සිය බළඇණි මූලස්ථානයේ සිට වවුනියාව දක්වා ගමනට මුල පිරූහ. ඒ වනවිට නුවරඑළිය නගර සභා පිට්ටනිය අසල පිහිටි “සිනිසිටා“ ශාලාව සමීපයේ උතුරට යාමට නියමිත සෙබළුන් රැගෙන යාම සඳහා ජනතා සන්තක ප්‍රවාහන සේවයට අයත් (ජසප්‍රසේ) බස් රථ හතරක් සූදානම්ව තිබුණි. ඒවා නුවරඑළිය, මහනුවර, වලපනේ සහ හැටන් ඩිපෝවලට අයත් බස් ය. එසේම, ඔවුන්ගේ බඩු භාණ්ඩ ගෙන යාමට අමතර යුද හමුදා ට්‍රක් රථයක් හා සිවිල් ලොරියක් ද එහි විය. අදාළ ලොරිය නුවර එළියේ පදිංචි “තිරුපති“ නම් වූ ඉන්දීය දමිළ ව්‍යාපාරිකයකුට අයත්ව තිබූවකි. ඔහු නුවර එළියේ පදිංචිව අල වගාකිරීමේ නිරතව සිටි ව්‍යාපාරිකයෙකි. ඔහුට තවත් එවැනිම ලොරි රථ කිහිපයක් තිබූ අතර ඒ සෑම එකකම “කවිදාස්” යන ඔහුගේ ව්‍යාපාරික නාමය ද සඳහන් කොට තිබිණ. විශේෂයෙන්ම කලක පටන් 3 වැනි සිංහ රෙජිමේන්තු කඳවුරේ පාලන අවශ්‍යතා වෙනුවෙන් ඔහුගේ ලොරි රථ යොදා ගැනීම සුළබව සිදු කෙරිණ. ඒ අනුව අවි ආයුධ ඇතුළු හමුදා ආම්පන්න සේම සෙබළුන්ගේ පෞද්ගලික බඩුබාහිරාදිය ද සමගින් වූ එම රථ පෙළ එදින උදෑසන උතුර බලා යන ඓතිහාසික ගමන ඇරඹූහ.


බොහෝ කලක් කඳුකරයේ වතු ආශ්‍රිතව රාජකාරී කරමින් සිටි එම සිංහ රෙජිමේන්තු භට පිරිස්වලට උතුරු ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරීන් සඳහා පිටත්වීම නැවුම් අත්දැකීමක් විය. එහෙත් එතෙක් තමන්ට හුරුපුරුදු පරිසරයෙන් ඈත්වීමට සිදුවීම හේතුවෙන් ඇතැමුන් තුළින් දිස් වූයේ කනස්සලු ස්වභාවයකි. කෙසේ වුවද, ඉදිරියේ දී තමන්ට කුමන ආකාරයේ අභියෝගයකට මුහුණ දෙන්නට සිදුවුව ද ඒ කිසිවක් ගැන තැකීමක් එහි වූ තරුණ සෙබළුන්ට නොවීය. මෙලෙස ඉදිරියට ඇදෙන බස් රථ අතරේ වැඩිම කතාබහ ඇසුණු තැනක් විය. ඒ රියදුරු දිසානායක් විසින් පැද වූ බස් රථය තුළින්ය. නුවරඑළිය ඩිපෝවට අයත් 29 ශ්‍රී 3697 දරන එම බස්රථය එහි ගමන් ගන්නා භට පිරිස්වලට බෙහෙවින් හුරු පුරුදුය. ඒ ඊට පෙර අවස්ථා ගණනාවකදීම එම බස් රථය කඳවුරේ කටයුතු සඳහා යොදාගෙන තිබූ හෙයිනි. නුවරඑළිය “කන්දෙ ඇළ” ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වූ රියදුරු දිසානායක ද එම 3 සිංහ රෙජිමේන්තු ඒකක භට පිරිස් සමඟ කලක සිටම බොහෝ සබඳතා පැවැත් වූ අයෙකි. කඳවුරේ සෙබළු කිහිප දෙනකුම ඔහුගේ නිවස ආසන්නයේ පදිංචිව සිටීම ද ඊට හේතුවකි.


භට පිරිස් රැගත් රථ පෙළ මුලින්ම වව්නියාව ප්‍රදේශ මූලස්ථානය වෙත පැමිණ වැඩිදුර උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව යළි මාන්කුලම් වෙත ගමන් ගන්නා ලදී. ඒ වනවිට අඳුර වැටීමට ආසන්න වී තිබුණු අතර, රථ පෙළ එහි පැමිණීමට එතරම් වේලා ගතව තිබුණේ අතර මග දී ඇතැම් බස් රථවල කාර්මික දෝෂ හට ගැනීමත්, එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ බාධාකිරීම් ආදී හේතු නිසාත්ය. එම කාල වකවානුව වනවිට ත්‍රස්තවාදීන් හා රජය අතර පැවතියේ සාම ක්‍රියාවලියක්ය. එබැවින් එම ගිවිසුම ප්‍රකාරව උතුර බලා යන හමුදා වාහන පරීක්ෂා කිරීමේ බලය ත්‍රස්ථවාදීන් වෙත පැවරී තිබිණ. එහි දී අවි ගැටුමක් මතු නොවුව ද දෙපාර්ශ්වය අතර වූ සැකය, අවිස්වාසය, විරසකය දුරුවීමට තරම් එම සටන් විරාමය ඉවහල් නොවීය.

එදින රාත්‍රිය සියලු භටපිරිස් මාන්කුලම්හි නතරව ඉදිරි ක්‍රියාන්විත හා පාලන අවස්ථා වෙනුවෙන් සූදානම් වූහ. එහිදී, එතැන් සිට කොකාවිල් බලා යන පිරිස වෙන් කෙරුණු අතර, ඔවුන් වෙත උපදෙස් ලබාදීම හා බඩු භාණ්ඩ නිකුත් කිරීම එදින රාත්‍රියේම සිදු කෙරුණි. එහිදී, පැමිණි බස්රථ ද කඳවුරේ පසෙක නතර කොට තිබූ අතර දිසානායක ඇතුළු සෙසු රියදුරන් ඒ ඒ බස් රථවලම රැය පහන් කරනු ලැබූහ. කොකාවිල් කඳවුර වෙත යන පිරිස අතර නිලධාරීන් දෙදෙනෙක්, සෙබළු 58 ක් හා සිවිල් අරක්කැමියෝ දෙදෙනෙක් ද ඇතුළත් වූහ. එහි දී මාන්කුලම් දක්වා පැමිණි බස් රථ අතුරෙන් රියදුරු දිසානායක පැද වූ බස් රථය පමණක් ඒ සඳහා යොදාගත් අතර හමුදා ට්‍රක් රථයක් ද ඊට එකතුව තිබිණ. එහි දී රියදුරු දිසානායකගේ බස් රථයේ 37 දෙනකු ගමන් ගත් අතර 2ලුතිනන් සාළිය අලදෙණිය ද ඒ අතර විය. ඒ අනුව ඉදිරියෙන් හා පිටුපසින් යෙදූ සන්නාහ සන්නදධ රථ දෙකක ආරක්ෂාව මැද්දේ පසු දින දහවල් භට පිරිස් කොකාවිල් බලා ගමන් අරඹද්දී 1990 මැයි 19 ලෙස දිනය සටහන් වී තිබිණ.


මාන්කුලම් සිට කොකාවිල් දක්වා පැවතියේ කිලෝමීටර් 17 කට ආසන්න කෙටි දුරක් වුව ද මාර්ගය බෙහෙවින් අබලන් වීම හේතුවෙන් එම දුර ගෙවා දැමීමට ඔවුනට සැලකිය යුතු කාලයක් ගතවිය. ඒ- 9 මාර්ගය තාර අතුරා තිබුණ ද එහි බොහෝ ස්ථානවල වළවල් හෑරී තිබිණ. එසේම, මාර්ගය දෙපස ගනව වැඩුණු කැලෑ රොදවල් අතරින් පතර මාර්ගයේ කොටස් වැසී යන තරම් විය. කෙසේ හෝ එතරම් හවස් වෙන්නට පෙර පිරිස කොකාවිල් කඳවුර වෙත පැමිණිය ද ඒ වෙන විට සැමටම බලවත් අතපසුවීමක් සිදුව තිබිණ. එනම් කෑම පිසින භාජන සියල්ල මාන්කුලම් කඳවුරෙහි දමා ඒමය. එහි පැමිණි දින රාත්‍රියේ පටන්ම ආහාර පිසීම සඳහා සැලසුම් කොට තිබුණ ද එලෙස කෑම භාජන රැගෙන නොඒම තදබල ගැටලුවක් විය. එහිදී, යළි මාන්කුලම් සිට ඒ මොහොතේ එම භාජන ගෙන්වා ගැනීම ද දුෂ්කර වූයෙන් එදින රාත්‍රිය සියලුදෙනාම පසු වූයේ නිරාහාරවය. නමුත්, කඳවුර මධ්‍යයේ ඉදුණු ගෙඩිවලින් පිරීගිය අඹගසක් තිබිම වෙලාවේ හැටියට ඒ සැමට තරමක අස්වැසිල්ලක් විය. අවසානයේ එහි සිටි සෑම අයකුම රාත්‍රිය ගෙවා දමන ලද්දේ අඹ ආහාරයට ගැනීමෙනි. කෙසේ හෝ පසුදින උදෑසනින්ම මාන්කුලම් සිට අදාළ කල්දේරම් සහ එදින උදා ආහාර පාර්සල් තොගයක් රැගෙන ඒමට කටයුතු කෙරිණ.


කොකාවිල් කඳවුරේ ක්‍රියාන්විත හා පාලන කටයුතු එලෙස ඇරඹෙද්දී රියදුරු දිසානායකට ඊට පසු දිනයේ සිය බස් රථය රැගෙන ආපසු යාමට අවකාශ සැලසිණ. එලෙස බස් රථය පිටත්වෙද් දී ආරක්ෂක මුරයේ 4 දෙනා හැරුණු විට අන් කිසිවකු ඇතුළත් නොවීය. කොකාවිල් සිට බස් රථය පිටත්වෙන අවසන් මොහොතේ කිසිවෙකු රියදුරු දිසානායක වෙත පැමිණියේය. ඒ නවරත්න නම් සෙබළාය. කලක පටන් දිසානායකව හොඳින් හඳුනන අයකු වූ ඔහු නුවරඑළියේම යාබද “මීපිලිමාන” නම් ගමෙහි පදිංචි අයෙකි. “සැන්ටි අයියා මේ පඩි පැකට් එක අපේ වයිෆ්ට දෙන්න. කාලෙකට නිවාඩුවක් ඒගන්න බැරි වෙයි”. සිය විවාහයේ පළමු නිවාඩුව අවසන පැමිණ සිටි ඔහු කොකාවිල් බලා එන අතරතුර නුවරඑළියේ සිය ඒකක මූලස්ථානයේ දී ලද වැටුප එලෙස දිසානායක වෙත ලබා දුන්නේය.


එදින පෙරවරුවේ යළි මාන්කුලම් වෙත පැමිණි දිසානායක එහි නතර වී පසුදින නුවරඑළිය බලා පිටත් වූයේ සිය මෙහෙවර නිසි පරිදි ඉටුකිරීමෙන් අනතුරුවය. නුවරඑළියට පැමිණි ඔහුගේ පළමු කාර්යය වූයේ සෙබළ නවරත්ත භාරදුන් වැටුප් පාර්සලය ඔහුගේ බිරිඳ වෙත ලබාදීමය. ඒ අනුව යාබද මීපිලිමාන ප්‍රදේශයේ වූ එම නිවසට ගිය දිසානායක දුටුවේ ඒ වෙන විටද ඕ හැඬූ කඳුළින් පසුවෙන බවකි. එහිදී ඇය වෙත වැටුප් පාර්සලය දෙන අතරේ ඈව අස්වසාලු ඔහු, ඇයගේ ස්වාමියා වූ සෙබළ නවරත්ත කොකාවිල් හි සතුටින් සුවෙන් හිඳින බව පවසන්නට අමතක නොකළේය.

 


මෙලෙස කාලය ගතවිය. ඒ වනවිට කොකාවිල් හා මාන්කුලම්හි යුද උණුසුමක් මතුවෙන්නට වූ නමුත් එහි රස්නය නුවරඑළියට දැනී තිබුණේ නැත. රියදුරු දිසානායක ද නුවරඑළිය ඩිපෝවේ සුපුරුදු බස් ධාවනයෙහි යෙදුණි. එලෙස ගත වූයේ හරියටම සති 7ක් පමණි. 1990 ජුලි මස 11 වැනි දින රාත්‍රිය උදාවෙද්දී ත්‍රස්තවාදීහු කොකාවිල් කඳවුර වටකොට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන්නට වූහ. එම ප්‍රහාරය හමුවේ කොකාවිල්හි ලුතිතන් සාලිය අලදෙණිය ඇතුළු සෙබළු කඳවුර රැක ගැනීම උදෙසා දිවි නොතකා කටයුතු කළහ. අප්‍රකටව සිදු වූ එම ද්වන්ධ සංග්‍රාමයේ තරම පිළිබඳ දැන සිටියේ ද ඔවුන්ම පමණි. කෙසේ වුව අවසානයේ කොකාවිල් විරුවන්ගේ සියලු කැපකිරීම් අපතේ හරිමින් සමස්ත කඳවුරම ත්‍රස්තවාදීන් අතට පත් වූයේ ඉතා අවාසනාවන්ත ලෙසය.


කොකාවිල් හි සිදු වූ ප්‍රහාරයත් සමඟම නුවරඑළියේ පිහිටි 3 සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය පත් වූයේ දැඩි ව්‍යාකූල බවකටය. ඒ වන විට ක්‍රියාන්විත හේතු මත එම ඒකකයේ කිසිවකු මිය යාමක් සිදුව නොතිබූ පසුබිමක් තුළ එලෙස ඒකක සාමාජිකයන් රොත්තක් එකවර මරණයට පත්වීම එහි කිසිවකුට අදහාගත නොහැකි විය. විශේෂයෙන්ම කොකාවිල් හි මියගිය බොහෝ සෙබළුන් නුවරඑළිය අවට පදිංචිකරුවන් බැවින් සිද්ධිය සමග සමස්ත නුවරඑළිය ප්‍රදේශයම එකම මළ ගෙයක ස්වභාවය ඉසිලීය. කන්දෙ ඇළ පදිංචි රියදුරු දිසානායකට ද එම සිදුවීම කන වැකෙනුයේ එවන් පසුබිමක් තුළය. කොකාවිල් ප්‍රහාරය ඔහු සමග සෘජුව ගැට ගැසෙනුයේ පෙරදිනක එම සිංහ රෙජිමේන්තු භට පිරිස් කොකාවිල් දක්වා රැගෙන ගිය ගමනේ බස් රථය පැදවූ රියදුරු ඔහු වූ බැවිනි. ලද ආරංචියෙන් රියදුරු දිසානායක කොතරම් කම්පනයට පත්වූවා ද යත් ඔහු සිය රාජකාරිය අතරතුරදීම බස් ඩිපෝවේ සිට 3 සිංහ රෙජිමේන්තුව කරා පැමිණෙන්නට වූයේ සිද්ධිය පිළිබඳ තවදුරටත් සැකහැර දැනගත යුතුවූ නිසාවෙන්මය. එහිදී, ලුතිනන් අලදෙණිය ඇතුළු සෙසු අය පිළිබඳ මතක වෙන වෙනම ඔහුගේ හදවතේ ඇඳෙන්නට විය. “ඔන්න සැන්ටි අයියේ උඹ අරගෙන ගිය කට්ටිය ඉවරයි” එහිදී එහි සිටි ඇතැමෙක් කියන අයුරු දිසානායකට හොඳින් ඇසුණි.


කොකාවිල් සිදුවීමෙන් ඉමහත් කම්පනයට පත් රියදුරු දිසානායකගේ සිහියට ආවේ සෙබළ නවරත්නය. එම ප්‍රහාරය හමුවේ නිසැකවම ඔහුද අතුරුදහන්ව ඇති බව දැනගනිද්දී මීපිලිමානේ පදිංචි ඔහුගේ අලුත විවාහ වූ බිරිඳ පිළිබඳව ද ඔහුගේ සිහියට නැගිණ. මෙම අවාසනාවන්ත තොරතුර කනවැකුණු සැනින් ඈ පත්වෙන තත්ත්වය පිළිබඳ දිසානායකට සිතාගත නොහැති තරම්ය. කෙසේ වුවද, ඔහු ඒ මොහොතේම මීපිලිමාන බලා පිටත්වූයේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ සෙබළ නවරත්නගේ බිරිඳ යම් තරමින් හෝ  අස්වසාලීමේ අටියෙනි. ඔහු එහි යනවිටද ගුවන්විදුලිය හරහා ඇය එම ප්‍රහාරය පිළිබඳ දැන උන්නාය. එහිදී, ඕ විලාප තබමින් දිසානායක හමුවේ තම ස්වාමියා පිළිබඳ තතු විමසන්නට වූයේ තොරතෝංචියක් නැතුවය. නමුත් එහිදී ඈව අස්වසාලීමට දිසානායකගේ එකදු වචනයක් හෝ ප්‍රමාණවත් වූ බවක් නොපෙනිණ. පෙරදින කොකාවිල් හිදී තම වැටුප් පාර්සලය ලබාදෙන මොහොතේ සෙබළ නවරත්නගේ බලාපොරොත්තු සහගත දෑස ඒ මොහොතේද රියදුරු දිසානායකගේ මනසෙහි සිතුවමක් සේ මැවී පෙනෙන්නට විය.
එදින සවස් වරුවේ යළි නුවරඑළිය ඩිපෝව වෙත පැමිණි දිසානායක, කෙළින්ම ගියේ එහි පසෙක නතරකොට තිබු බස්රථයක් වෙතය. ඒ අන්කිසිවක් නොව තමා පෙරදිනක කොකාවිල් දක්වා 37 දෙනකු නංවාගෙන ගිය 29 ශ්‍රී 3697 දරන බස් රථයයි. ඔහු හෙමින් සීරුවේ එහි පාපුවරුවට ගොඩවී ඇතුළට එබිණි. ලුතිනන් අලදෙණිය ඇතුළු සෙබළ පිරිසගේ උසුලු විසුළු සිනා හඬවල් තවමත් එහි රැව් පිළි රැව් දෙන්නාසේ ඔහුට දැනිණ. “මගේ බස් එකේ ගිය කව්රුවත් ආයිත් පණපිටින් දකින්න වෙන්නෙ නැහැ”. ඔහු ඔහුටම කියා ගත්තේය. ඒ වෙනවිට එම බස්රථයෙන්ම නුවරඑළිය-බදුල්ල දවසේ අවසන් ගමන්වාරයේ ධාවනය පැවරී තිබුණේ ද රියදුරු දිසානායකටමය. නමුත්, ඒ සඳහා ඔහුගේ සිත තුළ ඉස්පාසුවක් නොවීය. එදින එම කටයුත්ත වෙනත් රියදුරකු වෙත පැවරූ ඔහු සිය නිවෙස බලා පිටත්වූයේ යළි වැඩට එන දිනය පිළිබඳ නිශ්චිත අදහසකින් තොරවය.
යුද හමුදාවට සම්බන්ධ අයකු නොවුව ද, මෙහි කතානායකයා වන රියදුරු දිසානායක නොහොත් සැන්ටි අයියා ද කොකාවිල් සිදුවීමට සෘජු සම්බන්ධයක් පවතී. අහඹුවකින් ලද නිමිත්තක් ඔස්සේ ඔහු ගැන මෙම ගවේශනාත්මක සටහන නොලියවෙන්නට ගත වූ 33 වසර සේම ඉදිරි කාල සීමාව මුළුල්ලේම ද ඔහු පිළිබඳව සදාතනිකව වැළලී යාමට ඉඩ තිබුණි. කාලය ඉක්මවා ගොස් ඇත්තේ ඇසුරු සැණිනි. අද වෙනවිට කොකාවිල් සිදුවීමට වසර 33කි.  සැන්ටි අයියාගේ වයස අවුරුදු 66කි. ඔහු තවමත් යහතින් සිටී. නමුත්, 29 ශ්‍රී 3697 බස් රථය අද නුවරඑළිය ඩිපෝවේ නොමැත. එහෙත් එහි දිරා නොගිය තහඩු කැබලි තවමත් ඉතිරි වී ඇතුවාට සැක නැත. සෙබළ නවරත්නගේ බිරිඳද කොහේ හෝ තැනක සිටිනවා ඇතැයි සිතමි.


නිමි--