ළමා මන්දපෝෂණය වළක්වන්න වෛද්‍යවරුන්ගේ විසඳුම


රටේ දරුවන් මන්දපෝෂණයෙන් මියයාමට, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමා කිසිසේත් ඉඩ නොතබන බව ප්‍රකාශ කර සිටින්නේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ය. 

දරුවන් 20,000 කට ආසන්න සංඛ්‍යාවක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බවට නිල වශයෙන් තහවුරු වි ඇති නමුත් ආර්ථික තත්ත්වය අනුව ඉදිරිය ගැන සිතා දරුවන් 40,000 ක් වෙනුවෙන් කැපකරු මව්පිය ක්‍රමය සූදානම් කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණ. 


අමාත්‍යවරයා එසේ සහතික කරනු ලැබුවද, පෝෂණය පිළිබද විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරුන් පවසන්නේ රටේ දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය බරපතළ බවය. එය මේ වන විට වැඩි වී තිබෙන බව ය. 


ඌව පළාතේ දරුවන් තුළ ප්‍රෝටීන හිඟකම දැඩි ලෙස බලපා ඇති බවත්, එමනිසා දරුවන්ගේ උස අඩුකම වැඩි වී තිබෙන අතර දරුවන්ගේ ප්‍රෝටීන අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිවීම නිසා මෙම තත්ත්වය මතුව තිබෙන බවත් එම පළාතේ විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති. 


බොහෝ දරුවන්ට බත්පතට බිත්තරයක් ලබාදුන්න ද මේ වන විට එයට ද අපහසුතාවයක් පවතින හෙයින් බිත්තර මිල අඩු කර දෙන ලෙසට ද එම පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය වන ජනිතා තෙන්නකෝන් මහත්මිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද මාධ්‍ය වාර්තා කර තිබිණ. 


ගාල්ල දිස්ත්‍රික්කයේ උසට සරිලන බර අනුව අවුරුදු පහට අඩු දරුවන් 7848 දෙනෙකු මන්දපෝෂණයෙන් පෙළෙන බවත්, මෙම දරුවන් අතරින් 1137 දෙනෙකු උග්‍ර මන්දපෝෂණයෙන් ද, 6711 දෙනෙකු මධ්‍ය මන්දපෝෂණයෙන් ද පෙළෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණේ දකුණු පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතාගේ ප්‍රකාශයක් මතු කරමිනි. කෙසේ වුව ද පවතින මෙම තත්ත්වය සරල කාරණයක් නොවන බව රටේ දසතින්ම නැගෙන, මතුවන, ඇසෙන කරුණු කාරණා හමුවේ පෙනෙයි. 


ශ්‍රී ලංකා විශේෂඥ පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා පෙන්වා දෙන අන්දමට රටේ සියලු‍ම මන්දපෝෂණ දර්ශක සියයට 10-18-20 ත් අතර ප්‍රමාණයක පවත්වාගෙන සිටිය ද පසුගිය අවුරුදු දෙකක කාලයකදී සිදුවූ සමාජ විපර්යාස සහ ආර්ථික ප්‍රශ්නත් සමග මේ වන විට සියයට 2 ක වැඩිවීමක් බොහෝ දර්ශකවලින් පෙනී ගොස් තිබෙන බව ය. මෙය කිසිසේත් නොසලකා සිටිය යුතු කාරණයක් නොවන බව ද ඔහු දැඩිව අවධාරණය කරන්නේ එහි ඇති වැදගත්කම ද පෙන්වා දෙමිනි. 


“අපේ රටේ කාලයක් තිස්සේ ළමා මන්දපෝෂණය සියයට 10-20 ත් අතර ප්‍රමාණයක් තිබිලා තියෙනවා, අපිට ඒකට නිසි විසඳුමක් ලබාදීමට නොහැකිව. මේ සියයට 10-20 ත් අතර සියලු‍ම මන්දපෝෂක දර්ශකවලට අපි ඒ අදාළ කාණ්ඩ හඳුනාගෙන ඔවුන්ට අනන්‍ය වූ විසඳුම් දෙන්න ඕනැ. එහෙම නැත්නම් අපිට මේක ගොඩක් පහළට ගේන්න බැහැ. හැබැයි පහුගිය කාලේ හැම දර්ශකයක්ම සියයට 2 කින් විතර වැඩිවීමක් පෙන්නුම් කරනවානේ. මේක හොඳ තත්ත්වයක් නෙමෙයි. මේ ගැටලු‍වට අපි ඉදිරියට නිසි ප්‍රතිකර්ම ලබා නොදුනහොත් මෙය වර්ධනයක් වෙනවා. මෙම වර්ධනය නතර කරන්න සහ මේ වැඩිවීම අඩු කරන්න අනිවාර්යයෙන්ම අපිට කාණ්ඩ හඳුනාගෙන, මොන කාණ්ඩවලද මේ වැඩිවීම වෙලා තියෙන්නේ කියලා බලලා, ඒ කාණ්ඩවලට අනිවාර්යයෙන්ම ආහාර සුරක්ෂිතතාව කියන එක ඇති කරන්න විසඳුම් ගන්න වෙනවා.” විශේෂඥ වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා පවසයි. 


ඔහු එයට අදාළව කළ යුතු ක්‍රියාමාර්ග රැසක් ද පෙන්වා දෙයි. එහිදී තෝරාගත් පවුල් සඳහා ආධාර ලබාදීම, ශක්ති ජනක ආහාරවල අඩුවක් තිබේ නම් ඒ සඳහා ඔවුන්ට ආර්ථික ශක්තියක් මගින් ආහාර වශයෙන් ලබාදීමට කටයුතු කිරීම, සලාක ක්‍රමයක් හඳුන්වාදීම වැනි කාරණා මේවා අතර වෙයි. 


රටේ පවතින ආර්ථික ප්‍රශ්නත් සමග ප්‍රෝටීන කියන ආහාර කාණ්ඩයේ මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. එහෙත් එම ප්‍රෝටීන අවශ්‍යතා ළමා වයසේ දී නිසි ලෙස ලබාදීමක් කළ යුතුව තිබේ. එසේ ලබාදීමට නොහැකි වුවහොත් එය දරුවන්ගේ උසට බලපානු ලබයි. නිසි උසක් ලබාගැනීමට නොහැකිවීම එය විශාල ප්‍රශ්නයකි. ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ඉදිරියට යාමේ දී නිසි උසක් ඇති ජාතියක් ලෙස ඊළඟ පරම්පරාව හදා ගැනීමට නොහැකි වුවහොත්. එය රටේ ශ්‍රම බළකායට ද බලපාන ගැටලු‍වක් වෙයි. ප්‍රෝටින අවශ්‍යතාව ලැබිය යුතු ළමා අවධියේ දී එය නොලැබ පසුව තරුණ තත්ත්වයට පත්වූ විට මුදල් සොයා ගෙන ප්‍රෝටීන ගනු ලැබුවද, නිසි ආහාර වේලක් ගනු ලැබුව ද මෙම තත්ත්වයට විසඳුම් නොලැබෙන බව ඔහු පෙන්වා දෙන කාරණයකි. 


“ශක්තිජනක ආහාරවල එක කාණ්ඩයක හෝ මිල පහත දමන්න අදාළ පාර්ශවයන් කටයුතු කිරීම වැදගත්. ඒ වගේම ප්‍රෝටීන කාණ්ඩවල අයත් සත්ව ආහාර සහ ශාක ආහාර ඒවට මොනවා හෝ එක ආහාර වර්ගයක් හෝ හඳුනා දෙන්න. බිත්තරවලට යම් සහනයක් එසේ නැතහොත් කුකුල් මස්වලට යම් සහනයක් ලෙස ඒ නිෂ්පාදකයන්ට යම් සහනයක් ලබා දී එය සුලබ කරන්න. එහෙම නැත්නම් වියළි ඇට වර්ගවලට බදු සහනයක් හෝ ලබා දී එක ආහාර කාණ්ඩයක් ඔක්කොම නෙමෙයි අදාළ සහන ලබාදීම. ශක්තිය ගත් විට අපි ශක්තිය ගන්නේ හාල්වලින් බත් විදියට තමයි ගන්නේ. අඩුම තරමින් එක හාල් වර්ගයක මිල අඩුකරන්න වෙනවා, මෙන්න ඒ අපේක්ෂිත ප්‍රතිඵල ගන්න. ඒ වගේ රජයක් වශයෙන්, බලධාරින් වශයෙන් සහ සියලු‍ම ස්වේච්ඡා සංවිධාන මේකට උදව් කරන්න ඕනැ. හඳුනගන්න ඕනැ කාණ්ඩ වශයෙන් ආහාර තෝර ගෙන මේ කාණ්ඩවල තමයි අපි උදව් කරන්න ඕනැ විසදුම් ලබාගන්න. අපිට ඒ කාණ්ඩවල මිල අඩු කරගත්තොත්, ඒ කාණ්ඩවල ආහාර සුලබතාවය වැඩි කර ගත්තොත් අර සියයට 2 ක වැඩිවීම, අඩු කර ගන්නවා වගේම අපි අර ගොඩාක් කල් මේක නැවතිලා තිබුණු සියයට 10-20 අතර සියලු‍ම ළමා පෝෂක දර්ශක නැවතිලා තිබුණු එක අඩුකර ගන්න පුළුවන්. ඒ ගමන්ම වැදගත්ම තවත් දෙයක් තමයි කාලයක් තිස්සේ මේ නැවතිලා තිබුණු සියයට 10-20 අතර සියලු‍ම පෝෂක කාණ්ඩවලට පෝෂණය ඒ හඳුනාගත් දරුවන්ට තෝරාගත් ප්‍රතිකර්මයක් මගින් අර හැමෝටම දෙන ප්‍රතිකර්ම නෙමෙයි සහන නෙමෙයි මේ තෝරාගත් දරුවන්ට ප්‍රතිකර්ම දීම මගින් තමයි මේක අඩු කරන්න පුළුවන් වෙන්නේ. 


මේ අතර ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් බොරැල්ල ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතාගෙන් ද අප විමසීමක් කර සිටියේ, එම රෝහලේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සිටින බවට කෙරෙන කතාබහ ද පදනම් කරගනිමිනි. 


දරුවන්ට අවශ්‍ය ප්‍රධාන පෝෂක ලැබීමේ අඩුවක් තිබෙන බව තමන් පිළිගන්නා නමුත් චිස්, බටර්, තෝරමාළු‍ වැනි දේවලට වඩා බිත්තර, හාල්මැස්සන්, බත්, මුරුංගා කොළ මැල්ලු‍මක්, කහපාට එළවළු මෙන්ම දඹල, කෙසෙල්, බඩඉරිඟු , මඤ්ඤොක්කා. අල, බතල වැනි දෑ දරුවන්ගේ ආහාරයට එක් කිරීමෙන් පෝෂ්‍යදායි ආහාර වේලක් ලැබෙන බව ඒ මහතා කියයි. 


“ළමා මන්දපෝෂණය තියෙන බව දැන් හැමෝම පිළිඅරන් තියෙනවා. ඒක ප්‍රධාන පෝෂක වෙන්න පුළුවන්, ක්ෂුද්‍ර පෝෂක වෙන්න පුළුවන්. ප්‍රධාන පෝෂක කියන්නේ කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන, ලිපිඩ. ක්ෂුද්‍ර පෝෂක කියන්නේ විටමින් සහ ඛනිජ ද්‍රව්‍ය. මේ අතරින් ප්‍රෝටින් මන්දපෝෂණය ටිකක් අපි දකිනවා. සමහර අය ආහාර ගැන නොදැනුවත්කම නිසාත්, සමහර අයට ආහාර මදිවීම නිසාත් අවශ්‍ය විදියට ප්‍රෝටීන ගන්න නොහැකි වෙනවා. තවමත් දැනුවත් නොවුණු සැලකිය යුතු පිරිසක් ඉන්නවා. සමහර අය කතා කරනවා තෝර මාළු‍ ගැන. ඇත්තටම තෝර මාළු නෙමෙයි හාල් මැස්සෝ දෙන්න, බිත්තර දෙන්න, ඇට ජාති, කොළ වර්ග මුරුංගා කොළ, බත් මේවා වල ප්‍රෝටීන තියෙනවා. කාබෝහයිඩ්රේට් විතරයි ගොඩක් දෙනා ආහාරයට එකතු කර ගන්නේ. පොල් තෙල් කෑමට දාන්න පුළුවන්නම් හොඳයි. කහපාට එළවළු ජාති මේවායේ විටමින් ඒ තියෙනවා. යකඩ අඩු බව සියයට 20- 30 ක් හැමදාමත් අපේ රටේ තියෙනවා. මේ රක්තහීනතාව නැති කරගන්න හාල්මැස්සෝ බිත්තර කහමද මුරුංගා කොළ, ඇට ජාති, කඩල, මුං ඇට, කව්පි මේවා තුළ තිබෙනවා. දෙහි ඇඹුල් දාල කනවා නම් හොඳයි. මන්දපෝෂණය තියෙනවා නම් ඊට ප්‍රතිකාර කරනවා වගේම මන්දපෝෂණය හැදෙන එක වළක්වා ගන්න අපි පියවර ගන්න ඕනැ. දැනුවත් කිරීම සහ ආහාර සුරක්ෂිතතාව නැති දරුවන් සොයා බලා ඒ දරුවන්ට ලබා දිය යුතුයි. අපි මේ ගැන කතා කළාට පසුව විශාල පියවර අරන් අදාළ ප්‍රතිකර්ම යොදනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන ඒ පියවර ගන්නවා. 


ඔහු පෙන්වා දෙන අන්දමට යුද්ධයෙන් පසු කාලයේදී ළමා මන්දපෝෂණය වැඩියෙන් තිබී ඇත. මේ සම්බන්ධව ජනතාව සහ අදාළ පාර්ශ්ව වෛද්‍යවරුන් ලෙස දැනුම්වත් කරමින් ගෙන ගිය ක්‍රියාමාර්ග නිසා බොහෝ ආකල්ප සහ ක්‍රියාමාර්ග ඔවුන් යහපත් දිශාවට වෙනස් කර තිබේ. 


“දරුවන්ට කෑම දෙද්දි බිත්තරයක්, හාල්මැස්සෝ වැනි අදාළ දේ තෝරලා ගන්න උත්සහ කරන බව පේනවා. අපිට මේ ගැන කියන්න තියෙන්නේ වෛද්‍යවරුන් විදියටයි. මේවායේ මිල ගණන් පිළිබඳව අපිට කියන්න දෙයක් නැහැ. ඒ ගැන තීන්දු තීරණ ගතයුත්තේ දේශපාලනඥයින් සහ අදාළ සෙසු පාර්ශ්ව විසිනුයි. මන්දපෝෂණය යම්කිසි ප්‍රමාණයකට වැඩිවන බව අපි දැක්කා. අපි අදාළ දැනුවත්කම් කිරීම කළා. එහි සාධනීය පියවර තියෙනවා. පෝෂණය පිළිබඳ ගැටලු‍ තියෙන දරුවන් සායනයට යොමු කරන්න කියලා මම ඉල්ලනවා . බී.පී. 100 කියලා විශේෂ බිස්කට් වර්ගයක් තියෙනවා. දරුවා පෝෂණ සායනවලට යොමු කරන්න එවිට ඔවුන්ට විශේෂ ප්‍රතිකර්ම අපිට කරන්න පුළුවන්. ඔහු පවසා සිටියේ එසේ ය. 

 

 

 

සටහන
පද්මිණි මාතරගේ