හැමතැනම කතාවෙන මොකද්ද මේ ’’බෝන් අගේන් ’’


ආගමික අන්තවාදය යනු ඉදිරියට යන සමාජයක් ආපස්සට අදින්නත්, සංවර්ධනය වන රටක් කඩා වට්ටන්නත් හැකි මානසික ව්‍යාධියක් බඳු සංකල්පයකි. කුමන ආගමකට අදාළව වුවද අන්තවාදී කණ්ඩායම් නිර්මාණය විය හැකිය. වැඩි වශයෙන්ම අන්තවාදී කණ්ඩායම් බිහිවීම දැක ගත හැකිවන්නේ ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම් කේන්ද්‍ර කර ගනිමිනි. අල්කයිඩා, අයිඑස්අයිඑස්, තලේබාන් යනු එවැනි ආගමික අන්තවාදී කීපයකි. කතෝලික ආගම කේන්ද්‍ර කරගනිමින්ද අන්තවාදී අදහස් දරණ නිකාය කීපයක් පවතී. එහෙත් වඩාත් බරපතළ ලෙස කිතු දහම පදනම් කරගෙන මේ වන විට සමාජයේ පැතිර යමින් පවතින ආගමික මතවාදයක් බවට ‘බෝන් අගේන්’ පත්ව තිබේ. 

ආගමික අන්තවාදයන් බොහොමයක් බිහි කරන්නේත් පෝෂණය කරන්නේත් අධිරාජ්‍යවාදීන් විසිනි. ඔවුන් ඒවා නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන්නේ තමන්ට යටත් කරගැනීමට හෝ තමන්ට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීමට සම්පත් ඇති රටවල්වල ප්‍රශ්න ඇති කිරීම සඳහාය. අරාබිකරයේ ඇතැම් රටවල්, සෝවියට් රුසියානු සමූහාණ්ඩුවට අයත්ව තිබී පසුව වෙන් වූ ඇතැම් රටවල්, අප්‍රිකානු රටවල් මෙන්ම විශේෂයෙන්ම ලතින් ඇමරිකානු රටවල් එලෙස ආගමික අන්තවාදය යොදා ගමිනින් බේදභින්න කර සිවිල් යුද තත්වයන් නිර්මාණය වන්නට ඉඩ හැර ඒවාට මැදිහත් වීමට ඇමරිකාව දැක්වූයේ විශේෂ හැකියාවකි. ඒ උගුලේ හසුනොවූ රටවල්ද තිබේ. කෙසේ වුවද ඒ උගුලේ පැටලුණ කිසිදු රටක් දියුණු වූයේ නැත. ඒවා අදත් පවතින්නේ අඳුරේය. 


බෝන් අගේන්ද එවැනිම අන්තවාදයකි. කථිකාචාර්ය විජිත් රෝහණ ප්‍රනාන්දු මහතාගේ ‘ලාංකීය කිතුණු දැක්ම’ කෘතියේ සඳහන් වන පරිදි එය ආරම්භ වන්නේද 1980දී ඇමරිකාවෙනි. ඒ සඳහා අනුග්‍රහාකත්වය දක්වනු ලබන්නේ එකල හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන් විසිනි. ඒ ඇමරිකානු ආධිපත්‍යය ලොව පුරා පැතිරවීමට යොදා ගැනීමේ අරමුණ ඇතිවය. කිතුණු සභාවට අයත් ජනතාව අතරින් තෝරාගත් කණ්ඩායම් මේ සඳහා බඳවාගෙන ආරම්භ කළ බෝන් අගේන් වෙත මේ වන විට වෙනත් ආගම්වලද දේව ඇදහිලිවලට යොමු වූ පිරිස් මෙන්ම සමාජයේ ආකර්ෂණයක් දිනාගත් සමාජයට බලපෑමක් කළ හැකි යහමින් මුදල් ඇති ඉහළ මධ්‍යම පංතිය නියෝජනය කරන ජන කොටස්ද එකතු වී සිටී. 

 

මෙරට ප්‍රකට ගායකයකුගේ නැතිවූ කටහඬ යළි ලබාදීමට තමන්ට හැකි බවට බෝන් අගේන් නිකායේ එක්තරා පාදිලිවරයෙක් ප්‍රසිද්ධියේ සඳහන් කර තිබුණි. ඒ අනුව ඔහු එම පාදිලිවරයා වෙත රැගෙන යාමට ඔහුගේ බිරිඳත් තවත් සුප්‍රසිද්ධ ගායිකාවකුත් සම්බන්ධ වී තිබිණ.


එය අද ලංකාව වෙලා ගනිමින් පවතී. මේ අන්තවාදී කල්ලිවලට මුදල් පොම්ප කරන්නේ දියුණු ධනපති රටවල් විසින් නිසා ඔවුන්ට ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වැය කරන්නට ඕනෑ තරම් මුදල් තිබේ. ලංකාවේ බෝන් අගේන් පතුරුවන්නට මැදිහත්ව සිටින කණ්ඩායම රටේ ප්‍රබල ක්ෂේත්‍ර ඉලක්ක කරගෙන ඒ ඒ ක්ෂේත්‍රවලින් කවුරුන් හෝ තමන් සමග සිටින බව පෙන්වීමට දැඩි වෙහෙසක් දරති. 


මෙරට ජනතා ගෞරවයටත් ආදරයටත් පාත්‍ර වූ ගායකයකු වූ බෝන් අගේන් පාදිලිවරයකු වෙත යොමු කෙරෙන්නේද ඒ ව්‍යාපෘතියේ එක පියවරක් ලෙසය. අද වන විට බෝන් අගේන් කල්ලියට වැඩියෙන්ම බඳවාගෙන තිබෙන්නේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රධාන චරිතය. එය අද ඊයේ හිටි ගමන් සිදුවූවක් නොවේ. වසර දෙකක පමණ කාලයක් තිස්සේ මෙම ක්‍රියාවලිය සිදුවෙමින් පවතී. එපමණක් නොව රටේ ප්‍රධාන පෙළේ නගරාධිපතිවරයෙක්ද මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටී. හිටපු ප්‍රබලම දේශපාලකයකුගේ පවුල වෙතද දැන් බෝන් අගේන් රිංගා අවසන්ය. ඒ ඔහුගේ පුත්‍රයකුගේ බිරිඳගේ පියා ද බෝන් අගේන් සාමාජිකයෙක් වීම නිසාය. 


මෙරට ප්‍රකට ගායකයකුගේ නැතිවූ කටහඬ යළි ලබාදීමට තමන්ට හැකි බවට බෝන් අගේන් නිකායේ එක්තරා පාදිලිවරයෙක් ප්‍රසිද්ධියේ සඳහන් කර තිබුණි. ඒ අනුව ඔහු එම පාදිලිවරයා වෙත රැගෙන යාමට ඔහුගේ බිරිඳත් තවත් සුප්‍රසිද්ධ ගායිකාවකුත් සම්බන්ධ වී තිබිණ. කෙසේ නමුත් ජනප්‍රිය ගායකයාට යළි කතා කරන්නට හැකිවිය. ඉන්පසු පෙර කී ගායිකාව ගීත ගායනයෙන් ඉවත් වී තමන් දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප වන බව සඳහන් කළාය. මෙම සිදුවීමත් සමග ලාංකීය සමාජය තුළ බෝන් අගේන් පිළිබඳ සාකච්ඡාව පුළුල් විය. එහෙත් ඉතා කෙටි කලකින් එම සාකච්ඡාව යට ගියේය. එහෙත් දැන් නැවතත් එම සාකච්ඡාව කරළියට පැමිණ තිබේ. 


ඒ හිටපු ක්‍රිකට් තරුවක් වූ කුමාර් සංගක්කාරගේ බිරිඳ වෙබ් නාලිකාවක් විසින් සිදුකළ වැඩසටහනකදී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිසාය. ඇය උපතින්ම කිතුණු පවුලක සාමාජිකාවකි. එහෙත් ඇය සඳහන් කරන පරිදි දැන් ඇය බෝන් අගේන් සමග සම්බන්ධ වී සිටී. ඇය පවසන්නේ සංගක්කාර ක්‍රිකට් ක්‍රීඩාවේදී පෙන්වූ දස්කම් සියල්ලේ ගෞරවය හිමි විය යුත්තේ ජේසුස් වහන්සේට බවය. තමන් ජේසුස් වහන්සේ ඉදිරිපිට දණගසාගෙන යාච්ඤා කරමින් ඉල්ලා සිටි සියල්ල ලැබුණු බවද සංගක්කාර සිටි ක්‍රීඩා තරග ජයග්‍රහණය කළේ ඒ නිසා බවද ඇය සඳහන් කරන්නීය. ඇගේ එම ප්‍රකාශ ඇතුළත් වීඩියෝව සමාජ මාධ්‍යයේ වේගයෙන් සංසරණය විය. 


ක්‍රිකට් ක්ෂේත්‍රයේ බෝන් අගේන් ගැන සාකච්ඡාව මතු වෙන්නේ සංගක්කාරගේ බිරිඳ නිසා නම් නොවේ. ඊට වඩා බොහෝ කලකට පෙර සිට ක්‍රිකට් ක්ෂේත්‍රයේ සැලකිය යුතු පිරිසක් බෝන් අගේන් හි සාමාජිකයන් බවට පත්ව සිටිති. ක්‍රිකට් පරිපාලනයේ සෑහෙන පිරිසක් බෝන් අගේන් වී හමාර බවද දැන ගන්නට තිබේ. 


වර්තමානයේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව අතරට මෙවැනි විශ්වාස රැගෙන යාම අපහසු නොවේ. ඒ නිසා මෙවැනි කාලවකවානුවක යළි යළිත් බෝන් අගේන් ගැන අවධානය යොමු වීම නොසලකා හැරිය නොහැකිය.

 

 සටහන :
මුදිතා දයානන්ද