සිරිපා අඩවියේ හාස්කම් කියැවෙන ජනප්‍රවාද


 

  • කඳු මුදුනට නැග ගත් නිමේෂයකින් මා දුටු දර්ශනය මගේ ජීවිත කාලය තුළම මා හැර නොයනු නොඅනුමානය. එවන් චිත්තාකර්ෂණීය දර්ශනයක් දැක ගැනීමට අප ගත් වෙහෙස අපතේ ගොස් නොතිබුණි. එක් පසෙකින් දිස් වූයේ මහා වන ප්‍රවාහයකින් වැසී ගිය කඳු වැටියයි. එය තුරුලතාවලින් පිරුණු මහා සාගරයක් යැයි කිව හැකිය. අනෙක් පසින් පහත සිට ඉහළ නගින මීදුම කපාගෙන නැගී සිටි කඳු වැටියයි. ඉන් ඈත නිල් වන් අඳුර මැදින් දිස්වූයේ මහනූවර නගරය මුවා කළ මධ්‍යම කඳුකරයේ කඳු වැටිවල අඳුරු ඡායාවයි.

 

සිරිපා වන්දනා සමයේ උත්කර්ෂවත් අවස්ථාව උදා​ෙවන්නේ මැදින් පුර පසළොස්වක දිනයේ දීය. මෙදින ශ්‍රී පාදස්ථානයේ සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වෙන අතර බොහෝ රූපවාහිනි නාලිකා මැදින් පෝය වැඩසටහන් මෙහෙවන්නේද ශ්‍රී පාදස්ථානයේ සිටය. 

 
සිරිපා වන්දනා ගමන පාදක කරගෙන දෙස් විදෙස් සංචාරකයන් කළ නොයෙකුත් විස්තර ජනප්‍රවාද බවට පත්ව තිබේ. විදේශිකයන්ගේ සිරිපා ගමන් ගැන මෙයට වසර 200කට පමණ පෙර මෙරට භික්ෂූන් වැඩි කැමැත්තක් දක්වා නැත. විශේෂයෙන් එකල සිරිපා ගමනේ නවාතැන් ස්ථානයක් වූ පලාබද්දල විහාරස්ථානයේ හිමිවරු එවැනි විදේශිකයන්ගේ ගමන් අධෛර්යමත් කිරීමටද උත්සාහ කොට ඇති බවටද සාධක තිබේ. බෞද්ධයන් එවැනි අයගේ ගමන්වලදී මුහුණපෑමට වූ කරදර සිරිපා ගමනේදී ඔවුන්ගේ හැසිරීමේ සිදුවූ අඩුපාඩු නිසා ලැබුණ දඬුම් ලෙස දක්වා තිබේ. 


එවැනි එක් පුවතක් මෙසේය. ඉංග්‍රීසීන් ලංකාව පාලනයට ගත් මුල්ම අවධියේ එනම් 1815 අප්‍රේල් 26 දින ඉංග්‍රීසීන්ගේ පළවෙනි ලංකා රයිෆල් රෙජිමේන්තුවේ ලුතිනන් මැල්කම් තවත් හමුදා භටයන් හතරදෙනෙකු සමඟ සිරිපා තරණය කිරීම ඇරැඹීය. ඔවුන් ගමන් ගත්තේ රත්නපුර පලාබද්දල මාර්ගයෙන්ය. ඔවුන්ගේ ගමන් මළුවලට අමතරව රයිෆල් හතරක්ද විය. 


පිරිස පලාබද්දල රජමහා විහාරය අසලින් ගමන් කරද්දී විහාරයේ වැඩ සිටි හිමි නමක් ලුතිනන් මැල්කම් ඇතුළු පිරිසට කාරුණිකව පවසා සිටියේ ගිනිඅවි රැගෙන සිරිපා අඩවියට පැමිණීම සුදුසු නොවන බවයි. එම අවවාදය ගැන බිඳක්වත් නොතැකූ මැල්කම් ඇතුළු පිරිස රයිෆල් රැගෙනම සිරිපා මළුවට පිවිසුනහ. 


ඉතා දුෂ්කර ගමනකින් පසු සමනල මුදුනට නැගගත් මෙම විදේශිකයන් පිරිස තම ගමනේ ප්‍රීතිය භුක්ති වින්දේ අමුතු ක්‍රමයකටය. එනම් සිරිපා ලාංඡනය අසල සිට අත වූ රයිපල්වලින් හතර අතට වෙඩි තැබීමෙනි. 
එදින දවස පුරා කඳු මුදුනේ ගතකොට සවස නැවත රත්නපුරයට යාම සඳහා ගමන් ආරම්භ කළහ. පිරිසට පල්ලම් බැසීමට හැකි වූයේ ටික දුරකි. කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වී මහා වැසි වසින්නට පටන් ගත්තේය. ගංගා ඇළ දොළ පිරී දෙගොඩ තලා යාමට විය. ලුතිනන් මැල්කම් ඇතුළු පිරිස මහ වන මැද අතරමං වූයේ එකිනෙකාට එකිනෙකා සොයාගත නොහැකි පරිද්දෙනි. ඉබාගාතේ ගිය මොවුන් යළි හමුවූයේ එයට දින තුනකට පසුව පලාබද්දල විහාර භූමියේ දීය. 


මෙයින් මහත් විස්මයට පත් වූ මැල්කම් ඇතුළු පිරිස තමන් සමනල කන්ද මුදුනට අවි ගෙනයාම හා උඩ මළුවේ වෙඩි තැබීම ගැන මහත් සේ කනගාටුවට පත් වූහ. එපමණක් නොව පලාබද්දල විහාරයේ හිමිවරුන්ගෙන් සමාව අයැද සිටි මැල්කම් ඇතුළු පිරිස තමා සන්තකව පැවැති බ්‍රිතාන්‍ය ධජයද පලාබද්දල විහාරයට පූජා කළේය. මෑතක් වන තුරු එම ධජය පලාබද්දල විහාරයේ පැවැති බව සඳහන් වේ. 
මෙම ලුතිනන් මැල්කම්ගේ චාරිකාව පිළිබඳ විස්තරයක් විලියම් ස්කීන් 1860 දී ලියූ ශ්‍රී පාද - සමනල නමැති ග්‍රන්ථයේ දක්වන්නේ මෙසේය. ඔහු එය මැල්කම්ගේ බසින්ම විස්තර කොට ඇත. 


1815 අප්‍රේල් 26 වැනි දින මම සාජන්ට්වරයෙකු සහ මැලේ ජාතික සහායකයින් සිව් දෙනෙකු සමඟ රත්නපුර බටුගෙදර සිට කන්ද තරණය කිරීම ආරම්භ කෙළෙමි. බටුගෙදර ගම්මුලාදැනි දුලීප් නිලමේ ගිලීමලේ සිට අපට මග පෙන්වන්නෙකුගේ සහාය ලබා දීමට කටයුතු යොදා තිබුණේය. මා ගෙන ගිය ආම්පන්න වූයේ පොරෝන කීපයක්, උස මැනුම් යන්ත්‍රයක්, දුර මැනීමේ දම්වැලක් සහ අප කණ්ඩායමට දින තුනකට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය පමණි. 


මාර්ගය වැටී තිබුණේ කළු ගඟ හෙවත් කළුතර ගඟ ඔස්සේය. බටුගෙදර සිට සැතැපුම් දෙකක් පමණ ගියවිට අපට මෙම මාර්ගයේ පළමු වැනි බාධකය හමුවිණි. එය චේන් දෙකක් පමණ පළලින් යුතුව (අඩි 120) ගලා ගිය මූගල්ලේ ඔයයි. මූගල්ලේ ඔය සිට ගිලීමලයට සැතැපුම් තුන හමාරකි. අප වෙනුවෙන් ගිලීමලේ නවාතැන් පොළේ රැඳී සිටි මග පෙන්වන්නන් දෙදෙනාද සමග ගමන් ආරම්භ කළ අප කණ්ඩායම මල්මැලේ ඔයද පසුකොට සැතැපුම් භාගයකට පමණ ඔබ්බෙන් වූ මස්කෙළිය ඔය ඉවුරට පැමිණියෙමු. එහි දෙපස වූයේ ඉද්ද ගැසුවාක් මෙන් අඩි 50-70 පමණ උසින් වැඩුණු මහා වනයකි. මෙම රූස්ස ගස් ගොන්න අපගේ ගිමන් නිවා සිත් පුබුදුවාලන්නට තරම් සමත් විය. අප කණ්ඩායම පලාබද්දලට පැමිණෙන විට සවස 4ට පමණ විය. බටුගෙදර සිට ගෙවා තිබූ දුර සැතැපුම් 10කුත් දම්වැල් 8කි. පලාබද්දල වූ සැලකිය යුතු තරම් දියුණු විහාරස්ථානය හා විශාල ලැගුම්හල්වලින් පෙනීගියේ මෙම ස්ථානය සමනළ කඳු ගමනේ වැදගත් ස්ථානයක් බවට පත්වී ඇති බවයි. වන්දනාකරුවන්ද කන්ද නැගීමට පෙර ගිමන් හැරීමටත් ලක ලෑස්ති වීමටත් මෙම ස්ථානය උපයෝගී කර ගන්නා බව පෙනිණි. 


විහාරස්ථානය බාර උන්නාන්සේ මාවෙත දැඩි සැලකිල්ලක් දක්වමින් කිසිදු සුදු ජාතිකයෙකු මෙතෙක් කන්ද නැග ගමන සාර්ථක කරගෙන ආපසු ඒමට අපොහොසත් වූ බව පවසමින් මගේ ගමන අධෛර්යවත් කිරීමේ උත්සාහයක යෙදුණි. සුදු ජාතිකයෙකු වූ මම එවැනි ගුප්ත බලවේග ගැන කිසිදු තැකීමක් නැති බව මෙම කරුණාවන්තව උන්නාන්සේට පැහැදිලි කර දී රාත්‍රී 11ට පමණ ගමන ආරම්භ කෙළෙමි..... අප ඉදිරියේ වූයේ කෙමෙන් කෙමෙන් අප දැඩිසේ වෙහෙසට පත්කරනු ලබන තද නැග්මකි. මෙම නැග්මේ ආරම්භයට පැමිණෙන විට අපට පෙර පලාබද්දලින් ගමන ආරම්භ කළ වන්දනා නඩයක් හරි කෙලින් අතට වූ දුෂ්කර නැග්මක් එහි ගල් පර්වතයේ සවිකර තිබූ යකඩ දම්වැල්වල ආධාරයෙන් නගිමින් සිටිනු දැකගත හැකි විය. සුදුසු මග පෙන්වන්නෙකු ලබා ගැනීමට අපහසු වීම නිසා කලක් තිස්සේ ප්‍රමාද වෙමින් තිබූ මගේ ආශාව ඉටුකර ගනිමින් අප්‍රේල් 27දා පෙ.ව 8.00 පමණ වන විට මම කඳු මුදුනේ පා තැබීමට සමත් වීමි. 


කඳු මුදුනට නැග ගත් නිමේෂයකින් මා දුටු දර්ශනය මගේ ජීවිත කාලය තුළම මා හැර නොයනු නොඅනුමානය. එවන් චිත්තාකර්ෂණීය දර්ශනයක් දැක ගැනීමට අප ගත් වෙහෙස අපතේ ගොස් නොතිබුණි. එක් පසෙකින් දිස් වූයේ මහා වන ප්‍රවාහයකින් වැසී ගිය කඳු වැටියයි. එය තුරුලතාවලින් පිරුණු මහා සාගරයක් යැයි කිව හැකිය. අනෙක් පසින් පහත සිට ඉහළ නගින මීදුම කපාගෙන නැගී සිටි කඳු වැටියයි. ඉන් ඈත නිල් වන් අඳුර මැදින් දිස්වූයේ මහනුවර නගරය මුවා කළ මධ්‍යම කඳුකරයේ කඳු වැටිවල අඳුරු ඡායාවයි.
මීදුම කෙමෙන් වැසීගිය විට මම මගේ ගමනේ එක් පරමාර්ථයක් වූ කඳු මුදුන මැන බැලීමි. එය අඩි 72ක දිගින් හා අඩි 54ක පළලින් යුක්ත විය. කලකින් අලුත්වැඩියා කර නොතිබුණු භූමිය වටා වූ අඩි 5ක් පමණ උස් වූ ගලින් බැඳි තාප්පයේ නැගෙනහිර දෙසින් කොටස කඩාවැටී තිබිණ.
සිංහලයන් ශ්‍රී පාද නමින් හැඳින්වෙන චිර ප්‍රසිද්ධ පාද ලාංඡනය සටහන් වී ඇත්තේ කබොක් හෙවත් යකඩ ගල් නමින් හැඳින්වූ පර්වත මුදුන මධ්‍යයේය. මෙම වන්දනීය පාද සටහන ශක්තිමත් දැව කණු මත ගොඩ නැංවූ උළු සෙවිලි කළ කුඩා ගොඩනැගිල්ලකින් ආවරණය කර තිබුණි. 


අවාසනාවකට මෙන් මෙම ගමනේදී අපගේ බ්‍රිතාන්‍ය ධජයක් ගෙන ඒමට නොහැකි විය. කෙසේ වුවද ගුප්ත බලවෙග විසින් අවි ආවුද සහිත සුදු මිනිසුන්ට මෙම පූජනීය කන්ද නැගීම වළක්වනු බවට පලාබද්දල උන්නාන්සේ විසින් පළ කරන ලද අනාවැකිය බොරු කරමින් අප කන්ද තරණය කළ බැව් ප්‍රකාශ කිරීම සඳහා අහසට එල්ල කොට වෙඩි මුර තුනක් තැබුවෙමි. එහි සිටි වන්දනාකරුවෝ ඉන් විස්මයට පත් වූවෝය. අපට බාධා කළ හැකි මහ වැසි ගැන පලාබද්දල උන්නාන්සේ කළ අවවාදය පිළිගෙන ඊට සූදානම්ව පැමිණි හෙයින් වැස්සෙන් වැඩි උපද්‍රවයක් නැති බවට විශ්වාසයෙන් යුතුව අපි පල්ලම් බැසීම ආරම්භ කෙළෙමු. මෙහිදී සඳහන් කළ යුත්තේ කන්ද නැගීමට වඩා පල්ලම් බැසීම අතිශය දුෂ්කර බවය. 

 

අප ආපසු ඒමේදී ඇදහැලුණු ධාරානිපාත වැස්ස අප මහත් දුෂ්කරතාවයට පත් කළේය. මහ ගංගාවක් මෙන් පහතට ගලා ආ දිය කඳ මැදින් අප පා මාරු කළේ ඉමහත් ආයාසයෙනි. ඇතැම් තැන්හි ගමන පහසු කිරීම සඳහා යොදා තිබුණු මළ කෑ දම්වැල් දෑතින් ලිස්සා යාමෙන් වළකාගනු ලැබුවේ දැඩි අපහසුවෙනි. මෙම ආයාසකර ගමන නිමවෙමින් අප පලාබද්දලට පැමිණෙන විට සවස 4 ඉක්මවා ගොස් තිබුණි. 
මෙම විස්තරයේදී ලුතිනන් මැල්කම් ගමන නිමවා යහතින් පලාබද්දට පැමිණි බව දක්වයි. එසේම ඔහුට බ්‍රිතාන්‍ය කොඩියක් ගෙන යාමට නොහැකි වූ බවද සඳහන් කරයි. ජනප්‍රවාදයේ දැක්වෙන්නේ වැස්සට අසුව අතරමං වූ පිරිස දින තුනකට පසුව පලාබද්දලදී හමුවූ බවයි. එසේම එම විස්තරය අනුව ඔවුන් ගෙන ගිය බ්‍රිතාන්‍ය කොඩිය පලාබද්දට පංසලට දුන් බවත් සඳහන් වේ. ගමන නිමවී වසර 55 කට පමණ පසුව ලියන විස්තරයේ විශේෂයෙන් කොඩිය ගැන සඳහන් කොට ඇත්තේ ජනප්‍රවාදයේ එන විස්තරය දැනගෙන විය නොහැකිද? මේ නිසා නිවැරැදි ප්‍රවෘත්තිය කුමක් දැයි අධ්‍යයනයක් කළ යුතුය. 

 

 

විජේරත්න අතුරුපාන