ශරීරයෙන් වෙන්ව විශ්වයේ සැරිසරා යළි සිරුරට ආ රාවණා


අර්ක ප්‍රකාශ: ශාඛවල ඇති සාරය පැසෙන්නට හැර ජලය හා මිශ්‍ර කර අනතුරුව එය උණුකර පැසවා ඇතිවන වාෂ්ප සිසිල් කර ගෙන අර්ක පෙරාගනු ලැබේ. උතුරු ඉන්දියාව වැනි ශාක නොවැඩෙන හා කොළ හැලී ඇති කෙටි ශීත ඍතුවක් ඇතිවිටදී මෙය අවශ්‍යය. ලංකාවට නම් අර්කයේ අවශ්‍යතාවයක් නැත. නමුත් අද ‘පෙරාපු බේත්’ ඉතා ජනප්‍රිය වී ඇත්තේ ඖෂධ පිළියෙළ කර ගැනීමට වත්මන් මුදල් සමාජය කම්මැලි නිසාය. අර්කය සිඳ ගන්න අයුරු හා ඊට අවශ්‍ය උදුන්, ශිල්ප ක්‍රම, බට, තඹ හැලි ආදිය සකසා ගතයුතු ආකාරයද අර්ක ප්‍රකාශවල සඳහනි. බ්‍රිතාන්‍යයන් අරක්කු හෝ වෙනත් මත්පැන් පෙරීමද මීට සමාන වීම ඊට හේතුවය. උතුරු ඉන්දියාවේ ශීත ඍතුව නිසාත් ලංකාවේ වියළි ප්‍රදේශවල නියං ඇතිවූ විටත් ප්‍රයෝජනයට ගැනීමට මෙසේ පෙරා ගබඩා කර ගත් අරිෂ්ට, ආසව හා ක්වාත ප්‍රයෝජනයට ගත හැක.  

 

මර්ම විඥාණ: ශරීරය තුළ නිල පිහිටීම හා ඒවා හැඳිනගෙන නිල ස්පර්ශ කිරීම, තෙරපීම හා පිරිමැදීම පිළිබඳ කරුණු මෙහි අඩංගුය. නිල ස්ථාන තෙරපීමෙන් පුද්ගලයකු බලගැන්වීමත්, දුර්වල කිරීමත්, සිහි මුර්ජා කිරීම හා මරණයට පත් කිරීමත් හැක. රෝගයන් සඳහා නිල තෙරපීම කළ යුතු දිනය, වේලාව, දිශාව හා නැකත ආදිය අනුව ප්‍රතිඵල ලැබේ. උඩ්ඩිසය මෙන්ම සටන්වලදී හා පොරබැදීම්වලදී ද ප්‍රතිවාදියා මෙල්ල කිරීම නිල තෙරපීම හා නිලවලට පහරදීම සිදු කෙරේ. අද ‘අකුපන්වර්’ නමැති චීන නාමය යටතේ උගන්වන’ විදුම් පිළිස්සුම්’ ක්‍රමද මර්මස්ථානවල සිදුකළ යුතුය. ලංකාවේ පැවති මෙම ප්‍රතිකාර ක්‍රමය ෆාහියන් නමැති චීන භික්ෂුව විසින් 5 සියවසේදී තමා චීනයට ගෙනගිය බව ෆාහියන් දේශාටන වාර්තාවේ සඳහන්ව ඇත. දේශීය වෙදකමේදී ශල්‍යකර්මයන් සඳහා නිර්වින්දනය කිරීමටද මෙහි අඩංගු ක්‍රම යොදාගෙන ඇත. බුද්ධදාස රජු එසේ කළ අයෙකි.   


විධි වෛදාක: වෙදකමෙහි අනුගමනය කළ යුතු විනයෙන් තොරව ප්‍රතිකාර කර සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැක. වෛද්‍යවරයාගේ පැවතුම් රටාවද සුවිශේෂී විය යුතුය. වෛද්‍ය කර්ම සිදු කරන ඍෂිවරයෙකුගේ හෝ තපස්වරයකුගේ හෝ ගෘහස්ත වෛද්‍යවරයකුගේ ගතිපැවතුම්, ආචාර ධර්ම, සිරිත් විරිත් කෙබඳු විය යුතුද යන්න මෙහි විස්තර වේ. ඉගැන්වීමේදී ගුරුවරයා විසින් තම වෛද්‍ය ශිෂ්‍යාව එම ගති පැවතුම්වලට ඇතුළු කිරීමද වෙදකම ඉගැන්වීමේ කොටසකි. විධි වෛදක පවසන්නේ මෙම අංශ දෙකම සම්පූර්ණ නොවී සාර්ථක වෛද්‍යවරයකු බිහිකළ නොහැකි බවය. ඉගැන්වීම වෛද්‍ය ශිල්පයෙන් හා එම පැවතුම්වලින් වෛද්‍ය ජීවිතයද හුරුවන බව කියැවේ. පසු කලෙක තමා විසින් තවදුරටත් මෙය දියුණු කරගත හැක්කේ ගුරුවරයා විසින් අඩිතාලම හොඳින් යොදා තිබුණොත් පමණි. මෙම පරිණත බව තුළින් ඔහුද අනාගතයේදී එබඳු ශිෂ්‍යයන් බිහි කරයි.   
වෛද්‍ය ශාස්ත්‍රය පොත්වල ලියවී නොතිබුණ අතර ඒ සියල්ල කටපාඩමින් ධාරණය කරගත යුතු බව කියවේ. මේ සඳහා පාවිච්චි කළ යුතු විශේෂ පැලෑටි වර්ගද ඇත.   


i සාමාන්‍ය ධාරණය සඳහා ‘සස්සක’ පැලෑටියේ සාරය   
ii සෙමෙන් ස්මරණය කර ධාරණයට ‘පලධාන’ පැලෑටියේ සාරය   
iii කෙනකුගේ අසා දැන ධාරණයට ‘සුබෝධන’ පැලෑටි සාරය   
iv ස්ව ශක්තියෙන් ධාරණය සඳහා ‘ඉක්ලීස’ පැලෑටි ඖෂධය   
v තර්කයෙන් ධාරණය සඳහා ‘කිරිවල්’ නම් පැලෑටියේ සාරය   


පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල හිමියන් මෙම පැරණි ඍෂි වෙදකම් හදාරා ඇති අතර එහි ප්‍රමුඛයා මහා රාවණ ලෙස දකී. උපතින් ලද ශරීරය තවදුරටත් ඉදිරියට ගෙන යාම උන්වහන්සේ දක්වා ඇත. I ශරීරය තවදුරටත් බල ගැන්වීම II ආයුෂ දීර්ඝ කර ගැනීම හා වයසට යාම ප්‍රමාද කිරීම III ශක්තිමත් බව හා ප්‍රඥාවන්ත බව බලවත් කර ගැනීම IV බොහෝ කාය ශක්තිය හා ඥාණ ශක්තිය ඇති දරුවන් ලබාගැනීම වෙදකම තුළින්ම සිදු කෙරිණි. මීට පෙර දක්වා ඇති ඍෂිවරුන් හා මුණිවරුන් ලවා කාන්තාවන් තමාට (ප්‍රභූ) උත්තම දරුවන් ලබා ගැනීම මේ යටත එයි.   

 


ශරීරය බලවත් කිරීමට වෙදකම, යෝග අභ්‍යාස, ජ්‍යොතිෂ්‍ය, ශාන්ති කර්ම, සමථ භාවනා, ශරීරය පිරිමැදීම ආදී සියල්ල අවශ්‍යය. රාවණ ඍෂි තැන ඒ සියල්ල පුහුණු කර තිබුණි. බුදු දහම විසින් අපට උගන්වා ඇති නැවැත්මේ දහමට අමතරව නැවැත්ම පැවැත්ම දෙකටම මිනිස් ශරීරය භාජනය කළ හැකි බව රාවණයන් විසින් උගන්වා ඇත. මිනිසා තුළ ඇති ශක්තිය හා ද්‍රව්‍යය යන දෙක එකින් එක වෙන් කර ද්‍රව්‍යමය ශරීරය පසෙක තබා විඤ්ඤාණයෙන් විශ්වයේ සැරිසරා නැවත ආපසු ද්‍රව්‍යමය ශරීරයට ඇතුළුවීමට මහා රාවණාට හැකියාව තිබුණි.   


හිස් දහයක් හා අත් විස්සක් සහිතව හින්දු දේවාලවල ඇඳ ඇති රාවණා රූපය (අප රට ජනමාධ්‍යයේද එ​සේය) යකෙකුගේ භීෂණ ස්වරූපයක් ගෙනහැර පායි. මේ මිත්‍යාවකි. එබඳු මිනිසුන් ලොව පහළවී නැත. දසිස් යනු දස ඥානයයි. මෙම රූපය නිසා යුරෝපීයන් විසින් රාවණ හඳුන්වන්නේ ‘ඩීමන් කිං’ (යක්ෂ හෝ අමනුෂ්‍ය රජෙකු) ලෙසටය. 

 

ආචාර්ය සූරිය ගුණසේකර