විසිහත් වසරකට පෙර කොළඹ මළ ගමක් කළ මහ බැංකු බෝම්බය


 

“එදා වෙඩි හඬ ඇසෙන විට මා සිටියේ බැංකු ගොඩනැගිල්ල තුළ ඉදිරියේය. කිසියම් පුද්ගලයන් දෙදෙනෙක් බැංකුව ඉදිරිපිට සිට අන් දෙසට වෙඩි තබන අයුරු මා දුටුවා. ලොරි රථයක් එක්වරම බැංකු පරිශ්‍රයට පැමිණ කීපවිටක්ම ඉදිරිපසටත් පසුපසටත් ගනිමින් බැංකුව ඇතුළට ගැනීමට උත්සාහ කළා. කීප විටක්ම එය සිදු කරමින් සිටියා. ක්ෂණයෙන් මහත් හඬක් නගමින් එය පුපුරා ගියා. ඒ සමඟම මගේ ඇස්වලට කිසියම් දෙයක් ඇතුළු වූ බවක් දැනුනා. ඒ සමගම මට පෙනීම නැතිව ගියා. ඊට පසුව මට අවට කිසිවක් දක්නට ලැබුණේ නෑ.

එදා 1996 ජනවාරි 31 වැනි සිකුරාදා ය. සිරිත් පරිදි මහ බැංකු සේවකයෝ සිය රාජකාරි අරඹා සිටියහ. මහ බැංකුවේ කටයුතුවලට පැමිණෙන මහජනතාවද විශාල පිරිසක් එහි මුදල් ගනුදෙනු අංශය වෙතද පැමිණ සිටියහ. කොළඹ කොටුව ප්‍රදේශය කඩිගුලක් සේ විවිධ රාජකාරි කටයුතු සඳහා මහජනතාවගෙන් පිරී පැවතිනි. සිරිත් පරිදි මහ බැංකු ආරක්ෂක නිලධාරීන් සහ එහි සේවය සඳහා සිටි පොලිස් කොස්තාපල්වරයෙක්ද බැංකු ගොඩනැගිල්ලේ ඉදිරිපස රැඳී සිටියහ. 

වේලාව උදේ 10.45 පමණ විය. එක්වරම රතිඤ්ඤා පුපුරණ හඬක් ඇසුණි. බැංකු ගොඩනැගිල්ල ඉදිරිපිට පාරේ සිට කිසියම් පුද්ගලයෙක් බැංකුව දෙසට වෙඩි තබනු ආරක්ෂක නිලධාරියෙක් දුටුවේය. ඒ සමගම බැංකු පරිශ්‍රයේ සිටි පොලිස් නිලධාරියාට වෙඩි පහරක් වැදුණි. වහාම ඉදිරිපස ගේට්ටුව වැසීමට එහි සිටි බැංකු ආරක්ෂක නිලධාරියකු ක්‍රියා කළේය.   


වෙඩි හඬින් බියපත් වූ බැංකු සේවකයෝ සිය සේවා ස්ථානවල සිට ගොඩනැගිල්ලේ කවුළු මගින් මාර්ගය දෙස බලන්නට වූහ. පළමු මහලේ පුස්තකාලයේ සේවය කළ නිලධාරීන් පිරිස ඉන් ඉවතට පැමිණ සෝපානය වෙතට පැමිණෙමින් සිටියහ. බැංකු පරිශ්‍රය වෙත පැමිණි ලොරි රථයක් බැංකු ගොඩනැගිල්ල තුළට එය ධාවනය කිරීමට උත්සාහ කරන අයුරු අවට ගොඩනැගිලිවල සිටි අයටද දක්නට ලැබිණි. ගතවූයේ තත්පර කීපයකි. මහා හෙණ හඬක් නිකුත් කරමින් ලොරි රථය පුපුරා ගියේය. බැංකුවේ පහත මාලය මුළුමනින්ම විනාශවීම නිසා එහි රැඳී සිටි පුස්තකාලයේ රාජකාරි සිදු කළ කාන්තාවන් සියලු දෙනාගේම සිරුරු කැඩී බිඳී ගොස් ඔවුන් මරුමුවට පත්වූහ. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 15 දෙනෙක් ඇතුළු විවිධ දෙපාර්තමේන්තුවල සේවය කළ නිලධාරීහු 41 දෙනෙක්ම මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් දිවියෙන් සමුගත්හ.   

 


මුදල් හුවමාරු අංශය ඇතුළු විවිධ කාර්යයන් සඳහා මහ බැංකුව වෙත පැමිණ සිටි පිටස්තර පුද්ගලයෝ රැසක් ද මෙම අනතුරින් මරුමුවට පත්වූහ. තවත් විශාල පිරිසක් දරුණු ලෙස ආබාධිත තත්ත්වයටද පත්වූහ. ඇතැමුන්ගේ සිරුරු හඳුනාගැනීමටද දුෂ්කර වූ තරමට රුධිරයෙන් වැසීගොස් තිබිණි. බෝම්බ ප්‍රහාරය නිසා සදාකාලිකව ආබාධිත වූවන් අතර දෙනෙත් අහිමි වූ පස්දෙනෙක් මහ බැංකු නිලධාරීන් අතර සිටිති. බෝම්බ කොටස් සිරුරට ඇතුල්වීම නිසා තවමත් ඒවායෙන් පීඩා විඳින පිරිසක්ද සිටිති.   
බෝම්බය පුපුරාගොස් විනාඩි කීපයක් ඇතුළත බැංකු ගොඩනැගිල්ලේ මහල් කීපයකට ගිනි ඇවිලිනි. ඒවායේ රැඳී සිටින පිරිස වහා ක්‍රියාත්මක වී තුවාල වී සිටි සහෝදර නිලධාරීන් පිරිසද ඉවතට ගැනීමට මහත් පරිශ්‍රමයක් ගත්තේය.   


හමුදා අංශය සහ පොලිස් නිලධාරීහු ද වහා ක්‍රියාත්මක වී තුවාලකරුවන් රෝහල් වෙත ගෙන යන්නට වූහ. කොටුව ප්‍රදේශයේ පිහිටි සෙලින්කෝ මන්දිරය ඇතුළු මහ බැංකු දෙපාර්තමේන්තු කීපයක් පිහිටා තිබූ ගොඩනැගිලි කීපයක සිටි විශාල පිරිසක්ද තුවාල ලැබූහ. එම ගොඩනැගිලි තුළ සිටි පිරිස වීදුරු ජනේල අසල සිටීම නිසා එම වීදුරු කැඩී සිරුරු තුවාල වීම් සිදුවිය. මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිස් වෙත ද වීදුරු කඩා වැටීමෙන් දරුණු ලෙස තුවාල සිදුවූ පිරිස් ද ඒ අතර සිටියහ. බෝම්බය පිපිරවීමට ප්‍රථම ත්‍රස්තවාදීන් තැබූ වෙඩි හඬට විමසිලිමත් වූ එම ගොඩනැගිලි අසල සිටි සාමාන්‍ය ජනතාවද විශාල පිරිසක් මෙම බෝම්බ ප්‍රහාරය නිසා තුවාලකරුවන් බවට පත්වූහ.   
මුළුමනින්ම දෙනෙත් අහිමි වූ පිරිස අතරින් එක් අයකු වූයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කළ පියදාස විජේසිංහ මහතාය. එදා ඔහු අනතුරට පත්වන විට ඔහු සිටියේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේය. තුවාල ලැබූ පියදාස මහතාගේ සිරුර රුධිරයෙන් නැහැවී ඔහු ඔසවාගෙන ගිය අයුරු දැක්වෙන ඡායාරූපයක් එදා මාධ්‍ය මගින් පළ කළේ දුටුවන් හද කම්පා කරමිනි.   


ඉන්දියාවේ රෝහල් දෙකකටම ඇතුළත්ව දෙනෙත් සඳහා ප්‍රතිකාර කරනු ලැබුවද ඔහුගේ දෙනෙත්වලින් යළි පෙනීම ලබාගැනීමට නොහැකි විය. එදා සිට ඔහු රැකබලා ගැනීම සිදු කරනු ලැබුවේ ඔහුගේ බිරිඳ විසිනි. සැමියාගේ දෙනෙත් අහිමිවීම පිළිබඳව ඇයද දැඩි ලෙස කම්පාවට පත්වූවාය. දෙනෙත් අහිමි වීම නිසා එදා ඔහුට ඇති වූ මානසික ගැටුම නිසා ඔහුට ජීවිතය පිළිබඳව මහත් කලකිරීමක් ඇති වූ බවත් නමුත් බිරිය ඔහු රැකබලා ගැනීමට ගනු ලබන උත්සාහය නිසා එම මානසික තත්ත්වයෙන් මිදී ජීවත්වීමට හැකි වූ බවත් ඔහු පැවසීය.   


දෙනෙත් අහිමි වූ සත් දෙනෙක් අතරින් තවත් නිලධාරියෙක් වූයේ ආර්.එම්. මොහොට්ටි මහතාය. බැංකු බෝම්බය පුපුරා යන අයුරු ගොඩනැගිල්ල තුළ සිට සියසින් දුටු ඔහු එම සිදුවීම අප සමග විස්තර කළේ මෙලෙසිනි.   


“එදා වෙඩි හඬ ඇසෙන විට මා සිටියේ බැංකු ගොඩනැගිල්ල තුළ ඉදිරියේය. කිසියම් පුද්ගලයන් දෙදෙනෙක් බැංකුව ඉදිරිපිට සිට අන් දෙසට වෙඩි තබන අයුරු මා දුටුවා. ලොරි රථයක් එක්වරම බැංකු පරිශ්‍රයට පැමිණ කීපවිටක්ම ඉදිරිපසටත් පසුපසටත් ගනිමින් බැංකුව ඇතුළට ගැනීමට උත්සාහ කළා. කීප විටක්ම එය සිදු කරමින් සිටියා. ක්ෂණයෙන් මහත් හඬක් නගමින් එය පුපුරා ගියා. ඒ සමඟම මගේ ඇස්වලට කිසියම් දෙයක් ඇතුළු වූ බවක් දැනුනා. ඒ සමගම මට පෙනීම නැතිව ගියා. ඊට පසුව මට අවට කිසිවක් දක්නට ලැබුණේ නෑ. පිරිස කෑගසන හඬ පමණයි මට ශ්‍රවණය වුණේ. මා රෝහලට ඇතුළත් කළ බව දැනුණා. වීදුරු කැබලි ඇස්වලට වැදීම නිසා එක් ඇසක් මුළුමනින්ම පෙනීම නැති වුණා. පසුව අනෙක් ඇසත් ඉතා දුර්වල වී නොපෙනී යන තත්ත්වයක් උදාවුණා.” යැයි ඔහු කීය.  


සිරුරට වැඩිම තුවාල සංඛ්‍යාවක් සිදුවූ මහ බැංකු නිලධාරිනියක් වූයේ සිරිමා චන්ද්‍රරත්න මහත්මියයි. එදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි ඇගේ සිරුරට බෝම්බ ප්‍රහාරය නිසා වීදුරු කටු ඇතුළු විවිධ කොටස් සිරුරේ සිය පොළකට පමණ වැදී තිබිණි. හිසටත් මුළු සිරුර පුරාමත් සිදුවූ තුවාල නිසා සිරුර ලේ ගඟක් බවට පත්විය. නාසයත් ඇස් කන් රුධිරයෙන් නැහැවීම නිසා ඇය හඳුනාගැනීමටද අති දුෂ්කර කාර්යයක් විය. ඇගේ සැමියාට ඇය සොයාගත හැකිවූයේ රෝහලට ගොස් දිනක් පුරාම රෝගීන් පරීක්ෂා කිරීමෙන් පසුවය. ඇගේ සිරුරට ඇතුළු වී ඇති විවිධ කොටස් මේ වන විටත් ගැටිති ලෙස පිටතට පැමිණෙන අවස්ථා ඇති බව කීප විටක්ම එවැනි කොටස් ඉවත් කිරීමට ශල්‍යකර්ම කීපයක්ම සිදු කළ බවත් ඇය පැවසුවාය.  


ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කළ උපාලි පෙරේරා ද තුවාල සිදුවීම නිසා රෝහල්ගත වූ අතර අමිහිරි අත්දැකීමක් ලද අයෙකි. එනම් ඔහු සමග රෝහල් ගත කිරීමට වෑන් රියකින් යමින් සිටියදී ඔහු විසින් වත්තම් කරගෙන ගිය නිලධාරිනියක් මරණයට පත්වීමය. එම සිදුවීම අදත් උපාලිට දැඩි කම්පනයක් ගෙන දෙන සිදුවීමක් බැව් උපාලි අප සමග පැවසීය.

 

 

සටහන
තිස්ස ජයවර්ධන