වසර දහඅටකට පෙර රටම හැඬවූ ’සුනාමිය ’


විහාර මහා දේවිය සමයේ මුහුද ගොඩ ගැලූ බව අසා ඇතිමුත් ශ්‍රීලාංකීය ජාතිය ඉන් අනතුරුව එවැනි අත්දැකීමකට මුහුණදී සිටියේ නැත. එහෙත් 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වැනිදා ඔවුන්ට ඒ නුහුරු නුපුරුදු භයංකර අත්දැකීමට මුහුණ පෑමට සිදුවූයේ මෙරට සිදුවු බිහිසුණුම ඛේදවාචකයේ තරම කියාපාමිනි. 


ශ්‍රී ලංකාවේ වටිනා මිනිස් ජීවිත 31225 කට වැඩි ප්‍රමාණයක්ද ඇතුළුව ලොවපුරා 225000කට වැඩි පිරිසකට ජීවිත තත්පර කිහිපයකදී අහිමි කළ ඒ මහා සුනාමි ඛේදවාචකයට හෙට (26) ට හරියටම වසර 18 ක් සපිරෙයි. 


එදා මෙදා තුර ලෝක ඉතිහාසයේ තවත් එවැනි මූසල දවසක් යළි කිසිදු දිනයක ඇති නොවේවායි සියලු‍ දෙනාගේ ප්‍රාර්ථනාව වේ. ඒ තරමටම සුනාමි ව්‍යසනය මිනිසුන්ට දුක, කඳුළ හා වේදනාව උරුම කර දුන් මහ විපතක් විය. තමන් මුළුමහත් ජීවිත කාලයේම වෙහෙස මහන්සිවී උපයාගත් සියලු‍ ධනය හා දේපොළ මිනිත්තු කිහිපයකින් නැත්තටම නැති වී ගියේය. එමෙන්ම තමන් පණ මෙන් ආදරය කළ සිය සමීපතමයන් සදහටම වෙන් කරලීය. 
සිත් පිත් නැති සුනාමි රළපහර මාතර දිස්ත්‍රික්කයේ මාතර, දෙවිනුවර, වැලිගම හා දික්වැල්ල යන වෙරළාසන්නයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ග්‍රාමනිලධාරී වසම් 72ක් එකම සොහොන් බිමක් බවට පත් කළේය. 


ඒවායේ ජීවත් වූ පවුල් 22768 ක් අවතැන්භාවයට පත් කළ අතර, ඔවුන් බොහෝ දෙනෙකුට ඉතිරි වූයේ ඇඳිවත පමණි. සමහරුන්ගේ ඇඳිවත පවා මුහුදු රළපහරට ගසාගෙන ගොස් තිබුණි. 


ඊට අමතරව මාතර දිස්ත්‍රික්කයේ නිවාස 8018 ක් බිමට සමතලා වූයේ ඒ ව්‍යසනයේ බරපතළකම මනාව පෙන්වමිනි. නැති වූ දේපොළ යළි කෙසේ හෝ සකසා ගත හැකි වුවත් සුනාමිය අහිමි කළ ජීවිතවලට නැවත පණ දිය නොහැකි විය. දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 1840කට තම ජීවිතය හැරදා යාමට සිදුවූයේ මිනිසෙකුට උරුම විය යුතු ගෞරවාන්විත මරණය ද නොමැතිව සතා සිවුපාවුන් මියයන ආකාරයට ය. 
ගාල්ල දිස්ත්‍රික්කයේ 4214 පමණ පිරිසකට ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ 4500 පමණ පිරිසකට ද සිය ජීවිත අහිමි විය. ඊට අමතරව පැරෑලිය දුම්රිය අනතුරින් 1270 කට වැඩි පිරිසකට සිය ජීවිත අහිමි වී තිබුණි. 


සමහරුන්ගේ මළ සිරුරු අදට ද හමුවී නැත. ඒවාට සිදුවූයේ කුමක් ද යන්න මේ වන තෙක් සිතාගත නොහැකි වී ඇත. විශේෂයෙන්ම මුහුදු රළට ඉතා ඉක්මණින් සිරුරු නරක්වී හඳුනාගත නොහැකි වී තිබීම එම තත්ත්වයට ප්‍රධාන හේතුව විය. අදට ද අතුරුදන්වූ ගණන 4098 කට වැඩි ය. එදා තුවාල ලැබූ පිරිස 21141 දෙනෙකුට වැඩිය. 
ජාතියක්, ආගමක්, කුලයක් හෝ වයසක් නොසලකා හැමෝටම එක හා සමානව සලකා විපාක ගෙන දුන් සුනාමිය අනාගතය භාර ගැනීමට සිටි මේ රටේ දරුවන් 3954 දෙනෙකුට තම ආදරණීය මව හෝ පියා අහිමි කළේය. එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ දරුවන් 385 දෙනෙකුට ජීවිත අහිමි කළේ ඔවුන්ගේ දෙමාපියන්ට සදාකාලීක වේදනාවක් උරුම කර දෙමිනි. ඊට අමතරව මාතර දිස්ත්‍රික්කයේ දරුවන් 52 දෙනෙකුගේ මව හා පියා යන දෙදෙනාගේම ජීවිත උදුරාගෙන එම මල් වැනි දරුවන් සදහටම තනි කර දැමුවේය. දරුවන් 199 දෙනෙකුට තම ආදරණීය මව්වරුන් ද දරුවන් 134 දෙනෙකුට තම සෙනෙහෙවන්ත පියවරුන් ද රුදුරු සුනාමිය අහිමි කළේය. 
කිසිදු ඥාතියෙකු හෝ භාරකරුවකු නොමැති දරුවන්ට උරුම වූයේ ළමා නිවාසයන්ය. අද වන විට එම දරුවන් යෞවන වයසේ පසුවන තරුණ තරුණියන්ය. එසේත් නැතිනම් ඔවුන් වැඩිහිටියන් ය. එහෙත් ඔවුන්ගේ සිත් තුළ තම දෙමාපියන් නොමැති අඩුව අදට ද තදින් කා වැදී තිබේ. 

 


සුනාමි ව්‍යසනය සිදුවූයේ මාතර ඉරිදා මහජන පොළ පැවති දවසකය. මේ නිසා වෙළෙඳුන් මෙන්ම එළවළු මිලදී ගැනීමට පැමිණි බොහෝ දෙනෙකුට ද සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු විය. තවත් පිරිසක් එහිදී දිවි බේරාගැනීමට ද සමත් වූහ. එවකට මාතර මහ දිසාපතිව සිටි ගාමිණී ජයසේකර මහතා පොළට පැමිණි අවස්ථාවේ සුනාමි රළපහරට හසු වී දිවි බේරාගත් රාජ්‍ය නිලධාරියෙකි. 
එපමණක් නොව ඔහු තම පුතු ගැන කිසිදු හෝඩුවාවක් නොමැතිව වුවද අසරණ ජනතාවට පිහිටවීම සඳහා මාතර බෝධීන් වහන්සේ අභියස තම දිසාපති ධූරයේ වැඩ පටන් ගෙන පවත්වාගෙන ගියේය. 


මහජන පොළේ දී සුනාමියට හසු වී දිවි බේරාගෙන අදට ද එහි වෙළෙදාම් සිදු කරන වෙළෙන්දෙකු වූ එන්.එල්. ඉන්දික නිශාන්ත (47) මහතා මෙසේ කීය. 
“මම පොළේ දෙහි විකුණමින් ඉඳලා උදේට කෑමට අසල කඩයකට ගියා. නැවත එන විට පොළේ 
වෙ​ෙළඳාම් කරන මාමා කෙනෙක් පපුව අල්ලාගෙන මා ඉදිරියට දුවගෙන ආවා. එවිට තවත් අයත් දුවන්න පටන් ගත්තා. ‘මුහුද ගොඩ ගලනවෝ’ කියමින් ඔවුන් කෑ ගසන්න පටන් ගත්තා. ටිකක් දුරක් දුවද්දී මහා වතුර පාරක් ගොඩබිමට ඇදී ගෙන ආවා. ඒ සමගම සියලු‍ දෙනා ගසාගෙන ගියා. වාහන, වෙළෙඳසැල් සෙල්ලම් බඩු මෙන් ගසාගෙන ගියා. කොහොම හරි මම රැල්ලත් සමග මාතර මහානාම පාලම ආසන්නයට ගියා. එවිට මාළු ලොරියක් ආවා. ඔවුන් මට අත දුන්නා. මම බොහොම අමාරුවෙන් ඒකට ගොඩ වුණා. ටිකක් දුරක් ගොස් මම ඉන් බැස බසයකට ගොඩ වුණා. බස් එකේ හිටි අය අඬනවා, වැළපෙනවා. ‘‘අපි ඔක්කොම දැන් ඉවරයි’’ කියලා. ඕන දෙයක් වෙච්චාවි කියලා මම ඇස් දෙක පියාගෙනම බසයේ වාඩිවෙලා හිටියා. කොහොම හරි ගෙදර ළඟට යද්දී දෙදාහක් විතර කන්දක් උඩට වෙලා ජීවිතය බේරා ගැනීම සඳහා රැඳී සිටියා. ගෙදර අය හිතාගෙන හිටියේ මමත් මුහුදට ගහගෙන ගිහින් කියලා. ඒත් මාව දැක්කට පස්සේ ඔවුන් සතුටට පත් වුණා. දින කිහිපයකට පසු මාතරට ඇවිත් බලද්දී පොළ තිබුණු තැන කිසි දෙයක් පේන්න තිබුණේ නැහැ. අදටත් ඒ සිදුවීම මතක් වෙද්දී ඇඟේ හිරිගඩු පිපෙනවා.” ඔහු කීවේය. 


සුනාමි දිනයදා එවකට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද මාතර පරෙවිදූව උපෝසථාගාරයේ බෝ පැළයක් රෝපණය කිරීමේ උත්සවයකට සහභාගිවීමට නියමිතව සිටියේය. එදින උදෑසන කාලයේ පැවැත්වීමට නියමිතව තිබූ එම උත්සවය ඊට කලින් දින රාත්‍රී අගමැතිවරයා විසින් හදිසියේ වෙනස් කර තිබුණේ දෛවෝපගත සිදුවීමක් ලෙසිනි. එය සවස් කාලයට කල් දැමුවද පරෙවිදූව පාලම මත සිටි එහි සංවිධායකයන් ඇතුළු පිරිසක් සුනාමි රළපහරට බිලි වූයේ පාලම ද කඩාගෙන යාමෙනි. 
මාතර පොල්හේනේ සංචාරක හෝටල්වල නැවතී සිටි විදේශිකයින් පවා සුනාමියට බිලි විය. එම නිසා වසර ගණනාවක් ගත වන තෙක්ම සංචාරක ව්‍යාපාරයට කණකොකා හඬන්නට පටන් ගත්තේය. 

 

රථවාහන විනාශයට පත්ව තිබූ අයුරු 

 


මාතර කොටුවේ පදිංචි ටී. එච්. ජයන්විපුල (53) මහතාගේ මුළු පවුලම සුනාමියට ගසා ගෙන ගියේ ඔහු පමණක් ඉතිරි කරවමිනි. ඔහුගේ මව, පියා, බිරිඳ මෙන්ම දරු දෙදෙනා ද සුනාමිය බිලිගත්තේ අනුකම්පා විරහිතව ය. 


ඒ පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා මෙසේ කීය. 


“මම අවුරුද්දක් වයසැති චූටි පුතා වඩාගෙන වෙරළට වී සිටින විට බිරිඳ කීවා සුප් එකක් හදන්න පොළට ගිහින් එළවළු අරගෙන එන්න කියලා. ඒ අනුව මා දරුවා බිරිඳට දී පොළට ගිහින් එළවළු මිලදී ගත්තා. සුළු වේලාවක දී එක්වරම මුහුදු රළ ගොඩට එන්න පටන් ගත්තා. අපි හැමෝම කෑ ගසමින් ගොඩබිම දෙසට දුවන්න පටන් ගත්තා. ඒ සමගම අඩි 30කට වඩා උස රැල්ලක් ඇවිත් මා ගසාගෙන ගියා. මීටර් 50ක් පමණ ඇදී ගොස් මම වැටුණේ කඩයක් ඇතුළටයි. එහි වහලේ සිටි අය සිවිලිම කඩා මාව වහල මතට නංවා ගත්තා. ටික වේලාවකට පසු වතුර කඳ බැස ගියාම ඉන් බිමට පැන බිරිඳ හා දරුවන් බලන්න ගෙදර තිබෙන තැනට ගියා. 
එවිට ගෙයක් තිබුණු තැනක් පේන්නවත් නෑ. අත්තිවාරම විතරයි. තැන තැන මළ මිනී ගොඩගැසී තිබුණා. පවුලේ අය හොයන්න මාතර මහ රෝහලට ගියා. තුවාලකරුවන් අතරත් ඔවුන් හිටියේ නෑ. මළ මිනී අතරත් නැහැ. ගොඩක් මළ මිනී නරක් වෙලයි තිබුණේ. පසුව මගේ චූටි පුතාගේ සිරුර යුද හමුදාව සොයාගෙන තිබුණා. මම එය හඳුනාගෙන දවසක්ම චූටි පුතාගේ සිරුර තුරුලු‍කර ගෙන ඇඬුවා. පසුව එය භූමිදානයකර අලංකාර සොහොනක් ද හදා හැමදාම පවුලේ අය සිහි කරනවා. අවුරුද්දක් විතර යනකම් මට මගේ හිත හදාගන්න බැරි වුණා. පසුව මා වෙනත් විවාහයක් සිදුකර ගෙන ජීවත්වෙනවා. නමුත් සෑම වසරකම මගේ පවුලේ නැතිවූ හැමෝම සිහිකර දානයක් දෙනවා. ඔවුන් සිහිකර පන්සලට බුදු මැදුරක් පවා තනා දී තිබෙනවා.” 


මාතර, කොටුවේගොඩ පදිංචි ආර්.ඒ. ආරියමාලා (65) මහත්මිය මෙසේ කීවාය. 


“උදේ 9.30 කිට්ටුවන්න ඇති. මම ඉඳිආප්ප තම්බමින් සිටියේ. එකපාරටම කට්ටිය “මුහුද ගොඩ ගලනවෝ” කියමින් දුවන්න පටන් ගත්තා. ඒ වෙද්දී දුව කාමරේ වහගෙන නිදාගෙනයි හිටියේ. ඉක්මණට කාමරේ දොර කඩලා දුව එළියට ගත්තා. අනිත් දරුවන් දෙදෙනාත් අතට ගත්තා. ලොකු පුතා ඒ වෙද්දී ගෙදරින් එළියෙයි හිටියේ. අපි ඔක්කොම වතුර පාර එනවාත් සමගම ගෙදර කොන්ක්‍රීට් තට්ටුව උඩට නැග ගත්තා. අඩි හතක් පමණ ගෙදර යටවුණා. ගෙදර තිබූ සියලු‍ම දේ ගහගෙන ගියා. අපිට ඉතිරි වුණේ ඇඳිවත විතරයි. කෑමක් උයන්න වළඳක්වත් ඉතිරි වුණේ නෑ. ඊට පසුව යුද හමුදාවෙන් ඇවිත් අපිව රාහුල විද්‍යාලයේ අවතැන් කඳවුර වෙත රැගෙන ගියා. අපි මිනී උඩින් තමයි පැන පැන ගියේ. ඒ තරමටම හරිම වේදනාවක් අදටත් ඒක මතක් වෙද්දී. අපිට රජයෙන් කියලා ලක්ෂ එකහමාරක වන්දියක් ලැබුණා. එච්චරයි. කන්න බොන්න රෙදිපිළි ආදිය විවිධ සංවිධාන ගෙනවිත් දුන්නා. අදටත් අපේ රන් ආභරණවලට මොකද වුණේ කවුද ගත්තේ කියලා දන්නේ නෑ. බොහොම අමාරුවෙන් තමයි තවමත් ජීවිතය ගෙන යන්නේ.” 
මාතර තුඩාවේ පදිංචි කේ. මහේෂන් (58) මහතා මෙසේ කීය. 


“මම මාතර මහ නගර සභාවේ කම්කරුවකු ලෙස රැකියාව කරනවා. මම එදා නිවාඩු දවසක්. ඒත් මගේ බිරිද කොටුව ඇතුළේ පිරිසිදු කිරිම්වල නිරත වුණා. ඇයත් නගර සභා සේවිකාවක්. මම මැද්දවත්ත ජනරජ මාවතේ ඉඳලා එන විටයි සුනාමියට මුහුණ දුන්නේ. කොහොම හරි මමත් මගේ බිරිඳත් ජීවිතය බේරාගන්න සමත්වුණා. ඒත් මාතර වෙරළ තීරයේ රොටී වෙළඳාම් කරමින් සිටි මගේ නංගී කෙනෙක් හා ඇගේ කුඩා දරුවන් තුන් දෙනාම සුනාමියට ගහගෙන ගියා. ඇගේ සැමියා විතරයි ඉතිරිවුණේ. ඒ දරුවන්ගේ සිරුරු නරක් වෙලා දින කිහිපයකට පස්සෙයි හමුවුණෙත්. ආයේ සසර වසනාතුරු මෙවැනි කරදරයක් ඇති නොවේවායි කියලයි අදටත් ප්‍රාර්ථනා කරන්නේ.” 
මාතර පදිංචි එම්.වයි. පාතිමා කරීමා (70) මහත්මිය මෙසේ කීවාය. 


“මම මහජන පොළට ඇවිත් මාළු කෑල්ලක් මිලදී ගනිමින් සිටියේ. ඒ වෙලාවේ හැමෝම මුහුද ගොඩ ගලනවා කියමින් දුවන්න පටන් ගත්තා. ඒ සමගම මමත් දුවන්න පටන් ගත්තා. සර්වේශස් පාර හරියෙදි කළු‍පාටට මහා ජලකඳක් ඈතින් එනවා දැක්කා. ඒ සමගම පැමිණි වතුර පාරට අහුවෙනවාත් සමගම තාප්පයක් උඩට නැගගන්න පුළුවන් වුණා. ඒ තාප්පය දිගේ මම මහගෙදරට ගියා. අතරමගදී වතුරට හසුවූ දරුවන් අටදෙනෙකුගේ ජීවිත මම බේරාගත්තා. මගෙත් බෙල්ල මට්ටමට වතුර තිබියදීයි මම ඒ අයගේ ජීවිත බේරාගත්තේ. අවසානයේ මට ඇඳිවත විතරයි ඉතිරිවුණේ. රජයෙන් කියලා රුපියල් ලක්ෂයක් වන්දි වශයෙන් ලැබුණා. එදා පන්ති ආපු ළමයින්ගේ මළමිනී අද වගේ මතකයි. ඒක මතක් වෙද්දී අදටත් ඇඟපත පණ නැතිවෙලා යනවා වගේ දැනෙනවා.” 


කෙසේ වෙතත් සුනාමි ව්‍යසනයේ අමිහිරි මතකය අද වන විට බොහෝ දෙනෙකුට අමතක වී ගොස් ඇත. ජීවිතයේ අනිත්‍ය බව මෙන්ම ජාති, ආගම් කුලභේද නොසලකා සියලු‍ දෙනා එක්ව උදවු උපකාර කරමින් ජීවත් විය යුතු බව ඒ මහා ඛේදවාචකය අපට පසක් කළේය. එහෙත් ඒ පරාර්ථකාමී ගුණාංග පවා අද බොහෝ දෙනෙකුගෙන් ඈතට ගොසිනි. එසේ වුවද තම ආදරණීයයන් අහිමිවී වසර 18 ක් ගෙවී ගිය ද ඔවුන්ගේ මතකයන් සමග ජීවත් වන අය අද ද මේ සමාජය තුළ සිටිති. ඔවුහු තවමත් තම සමීපතමයන් වෙනුවෙන් පිං දහම්වල නිරතව සිටිති. යළිත් කිසිදු දිනයක එවැනි විපතක් සිදුනොවේවායි සියලු‍ දෙනාගේ ප්‍රාර්ථනාව වේ 

 

 

 

ඡායාරූප හා සටහන - 
ක්‍රිෂාන් ජීවක ජයරුක්