ලෝකයට කැලැන්ඩරය උපන්නේ මෙහෙමයි


මිසර දින දර්ශනයේ ඡායාරූපයක්

වසරක් ගෙවී අවසන තවත් වසරකට මුලපිරුවේය. දොළොස් මසක් තිස්සේ මාස්පතා කැඩුණු කැලැන්ඩරයේ අවසන් කොළයද ඊයේ ගිලිහී ගියේය.

අලුත් සිතුවිලි අලුත් බලාපොරොත්තු ළං කරගෙන නැවුම් වූ නව වසරට පා තැබූ අපගේ පාඨකයින්ට කිරියෙන් පැණියෙන් කෙසේ වෙතත් කුසට ආහාර වේලක්, සතුටක්, සැනසුමක් පිරි නව වසරක් වේ යැයි මේ වසරේ අපේ ප්‍රාර්ථනයයි.


මේ ප්‍රාර්ථනයත් සමග හැම ගෙදරකම එල්ලෙන ලෝකයේ වසරක් ගෙවී වසරක් උදාවන විට ඉස්පාසුවක් නැති කැලැන්ඩරයේ අතීතය සොයා යන්න සිතුවෙමු. සෑම ගෙදරකම එල්ලෙන කැලැන්ඩරයේ සුල මුල කියන්නයි මේ සූදානම.


දින දර්ශනය වූ කලී ක්ෂණිකව බිහිවූවක් නොව, ක්‍රමික විකාශනයක ප්‍රතිඵලයකි. වර්ෂ, මාස, සති සහ දවස් යනුවෙන් අද අප අතර භාවිත වන කාලමාන සඳහා පාදක වී තිබෙන්නේ පෘථිවියේ සහ චන්ද්‍රයාගේ හැසිරීමයි. දවස, චන්ද්‍ර මාසය, සහ සූර්ය වර්ෂය මෙම හැසිරීම් අනුව බෙදාගෙන ඇති අතර, කාල ඒකක තුනකි. පෘථිවිය එක් වරක් ස්වකීය අක්ෂය වටා භ්‍රමණය වීමට ගන්නා කාලය දවස යනුවෙන් හැඳින්වේ. එය පැය 24කි. පුර පක්ෂයේ අලුත් සඳ දර්ශනය වීමේ සිට ඊළඟ පුර පක්ෂයේ අලුත් සඳ දර්ශනය වීම දක්වා වූ කාලසීමාව චන්ද්‍ර මාසය යනුවෙන් හැඳින්වේ. චන්ද්‍ර මාසය දළ වශයෙන් දවස් 29 1/2ක් දිගු වේ.


සූර්ය වර්ෂය යනු පෘථිවිය සූර්යයා වටා එක් වරක් යාමට ගන්නා කාලසීමාවයි. පෘථිවියේ මෙම ගමන සඳහා ගතවෙන කාලය දවස් 365, පැය 5, විනාඩි 48, තත්පර 46කි. එසේ නම් චන්ද්‍ර මාසය සහ සූර්ය වර්ෂය අතර පවත්නා නොගැළපීමත්, ඉහත කී කෙටි කාලමාන සහ දිගු කාලමාන අතර ඇති සම්බන්ධතාවත් නිසා ක්‍රමානුකූල කැලැන්ඩරයක් සැකසීමට සෑහෙන දිගු කාලයක් සහ විශාල පරිශ්‍රමයක් දරන්නට සිදුවී ඇත.
දින දර්ශනය බිහිවීමට පෙර දින මැන්නේ ඍතු වෙනස්වීමෙන්.


ගොවිතැන මුල් කරගෙන නිතර ස්වභාවධර්මය හා ගැටී ජීවත් වූ ආදි මිනිසා ඔවුන්ගේ සෑම කටයුත්තකදීම මූලික වූයේ ස්වභාවික පරිසරයේ විශේෂතාය. ආදි කල්පිත ගෝත්‍රික චන්ද්‍රයා පදනම්කරගෙනය. විශේෂයෙන් ගෝත්‍රිකයන්ට අනුව හඳ පෙනීමේ ස්වභාවය අනුව දින දර්ශනය සකස් විය. එකල ආදි මිනිස්සු කාලගුණය සහ ඍතු විපර්යාස ගැනද නිරන්තර අවධානයෙන් සිට ඉරහඳ තාරකා සාපේක්ෂව තබාගෙන කාලය නිර්ණය කිරීමට ඉගෙන ගත්හ.

 

ඈත අතීතයේදී වර්ෂයක් හා සැසඳෙන කාල පරිච්ඡේදයක දිග නිගමනය කර තිබෙන්නේ අනුපාතව අත්දකින්නට ලැබුණු විවිධ ඍතුවල දිග ප්‍රමාණය එක් කිරීමෙනි.


ගොවි යුගයේ විසූ අය වැපිරීමටත්, අස්වනු නෙළා ගැනීමටත් සුදුසු කාලවකවානුව දැනගෙන තිබෙන්නේ නියමිත කාලවලදී අහසේ දිස්වන තරුවක හෝ තරු කැරැල්ලක උපකාරයෙනි.


වර්ෂය සඳහා සෑහෙන තරම් නිවරැදි කාල සීමාවක් වෙන් කරගෙන තිබෙන්නේ පුරාණ ඊජිප්තුවරුන් විසින් ක්‍රිස්තු පූර්ව 420ක් තරම් ඈත කාලයේදීය. මේ සඳහා ඔවුනට මග පාදා දී ඇත්තේ එක්තරා නියමිත කාලයකදී පිටාර ගලා යන නයිල් නදියයි. නයිල් නදිය පිටාර ගොස් ඇත්තේ සූර්‌යෝදයට මදක් කලින් සිරියස් තාරකාව උදාවෙන අවස්ථාවේදීය. ඒ අනුව අවුරුදු පතා නයිල් ගඟේ වතුර පිටාර යෑමක් සිදුවන බව ද ඒ ගංවතුර බැස යාමත් මග ගොවිතැන් ආරම්භයට සුදුසු බව ද ඊජිප්තුවරුන් තේරුම් ගෙන ඇත.

 

ජූලියන් දින දර්ශනය


එහෙත් නයිල් ගංගාව පිටාර යෑම හා මේ කාලය අතර සුළු පරස්පර වෙනසක් මතු වූ නිසා ඊජිප්තු පූජකවරුන් තවත් යෝජනාවක් මේ සඳහා ඉදිරිපත් කර ඇත. එනම් පිටාර ගැලීම සිදුවන්නේ හිරු උදාව සිදුවනවාත් සමගම දීප්තිමත් තරුවක්ද දක්නට වූ දිනයක බවය. එය සිදුවන්නේ 365 ‘‘දිනකට’’ වරක් බව ඔවුහු තේරුම් ගත්හ. මෙම දවස් 365 දවස් 30 බැගින් වූ මාස 12කට බෙදා ගැනීම නිසා ඉතුරු වූ දින 5 අවසාන මාසයට එකතු කර ගැනීමට ඔවුනට සිදුවිය. මේ අනුව වර්ෂයකට එක සමාන දින ගණනක් ඇතුළත් වූ ප්‍රථම කැලැන්ඩරය සැකසීමේ ගෞරවය හිමි වන්නේ පුරාණ ඊජිප්තුවටය.


එහෙත් පසු කාලීනව චන්ද්‍ර මාස ක්‍රමයෙන් දින දර්ශනය තනා ගැනීමට වඩා සූර්යයා අනුව දින දර්ශනය තනා ගැනීමේ වැදගත්කමක් රෝමවරුන්ට පෙනිණ. මන්ද යත් දවසින් දවස අභිමතානුකූලව කාලය ගණනය කළ ක්‍රමය ඉතා ප්‍රාථමික මට්ටමේ ඒවා වූ අතර, ඒවායේ දෝෂ රැසක් පැවතීම හේතුවෙන් ගොවිතැන් කටයුතුවලදී වගා කිරීමේදී අස්වනු නෙළීම සඳහා නිවැරැදි කාලය ගණනය කරගැනීමට අවශ්‍ය විය. එහෙත් සූර්යයාගේ ගමන සැසඳීමේදී රෝමන් අවුරුද්ද දින 80ක ඌනතාවක් පෙන්නුම් කරන බව ක්‍රි.පූ. හතරවැනි දශකයේදී හෙළිවී ඇත. මිසරය ගැන හොඳ අවබෝධයක් තිබූ ජූලියස් සීසර් ක්‍රි.පූ. 102දී මිසර කැලැන්ඩරය අනුව රෝමන් කැලැන්ඩරය ගැළපුවේය. ඔහු එය සිදු කර ඇත්තේ අඩුපාඩුව පැවති දින 80 ක්‍රි.පූ. 46 වසරට එකතු කිරීමෙනි. මේ නිසා ක්‍රි.පූ . 46 වසර දින 445 වූ ඉතිහාසයේ දීර්ඝතම වසර බවට පත් විය.


ඒ අතරතුර ග්‍රීක ජාතිකයන් සකස් කළ දින දර්ශනය කාලයක් යනතුරුම පිළිනොගත් රෝම අධිරාජ්‍යයා වූ ජුලියස් සීසර් විසින් නැවතත් එම දින දර්ශනය සංශෝධනය කරනු ලැබීය.


සතියේ දින හත නම් වූ හැටි


දින දර්ශනය ආරම්භයේදී සතියකට වූයේ දින හතරකි. ප්‍රථමයෙන්ම දින හතේ සතිය ලොවට හඳුන්වා දී ඇත්තේ යුදෙව්වන් විසිනි. ක්‍රි.පූ. 6 වැනි සිවසෙහි බැබිලෝනියාවේ යුද- සිරකරුවන් බවට පත්වූ යුදෙව්වන් විසින් එම කාලය තුළදී දින හතේ සතිය ලොවට ඉදිරිපත් කර ඇත.


ග්‍රීකයින් විසින් කිතු දහමට අනුව සතියේ මුල් දිනය ලෙස හඳුන්වා ඇත්තේ ඉරිදා දිනය වන අතර, එය තාරකා විද්‍යාවට අනුව භාරවූයේ හිරුටය. ඉරු දිනය ලෙස හැඳින් වූ එය පසුව ඉරිදා ලෙස නම් විය.


දෙවැනි දිනය සඳුට භාර විය. එබැවින් සතියේ දෙවැනි දිනය සඳුදා ලෙස නම් වී ඇත. තෙවැනි දිනය බුද ග්‍රහයාට භාර වූ නිසා බුද දින බදාදා ලෙස නම් විය. පස්වැනි දිනය බ්‍රහස්පති ග්‍රහයාට භාර විය. එම දිනය බ්‍රහස්පතින්දා නම් විය. හය වැනි දිනය සිකුරු ග්‍රහයාට අයත් වූ නිසා සිකුරාදා ලෙස නම් තබා ඇත.


සතියේ අවසාන දිනය වන හත්වැනි දිනය ආගමික වැදගත්කමක් දුන් යුදෙව්වන් එම දිනය උතුම් දිනයක් වශයෙන් සලකා දෙවියන් සඳහා කැප කරන ලදී. ඒ අනුව සෙනසුරාදා දිනය සෑම වැඩකින්ම නිදහස් වූ විවේකී දිනයක් කොට සැලකීය. මෙම දිනය යුදෙව් බසින් ‘‘සබාන්’’ යනුවෙන් හඳුන්වන අතර සිංහල අර්ථය ‘‘විවේකයයි’’.


මෙලෙස දශක ගණනාවක සිට සතියේ ආරම්භක දිනය ඉරිදා ලෙස නම් වූ අතර, සතියේ ආරම්භක දිනය ඉරිදා වෙනුවට සඳුදා ලෙස දැක්වෙන පරිදි 1996 වසරේ දින දර්ශන හා ලිත් මුද්‍රණය කරන ලෙස ඒවා නිකුත් කරන ආයතනවලින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඉල්ලා තිබිණි.


ඒ අනුව සතියක ආරම්භක දිනය සඳුදා වශයෙන් අන්තර් ජාතික ප්‍රමිතියක් ප්‍රකාශයට පත් කොට තිබෙන අතර, එය අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රමයක් බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පෙන්වාදීමෙන් පසුව ශ්‍රී ලංකාවේ දින දර්ශනයට හා ලිත් මුද්‍රණ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ වූ බව ද සඳහන් වේ.


මාස දහය මාස 12 වූ හැටි


ක්‍රි.පූ. 3000 සිට 2000 දක්වා පාවිච්චි කළ දින දර්ශනය නිර්මාණය කළේ බැබිලෝනියන්වරුන් විසිනි. චන්ද්‍රයාගේ ගමන් මාර්ගය අනුව එය සකස් වූයේ මාස දහයකින් සමන්විත වර්ෂයක් ලෙසය. ඉන්පසුව චන්ද්‍රයාට වඩා සූර්යයා පෘථිවිය කෙරෙහි බලපාන වස්තුවක් ලෙස සැලකූ ග්‍රීක ජාතිකයෝ සූර්යයාගේ ගමන් මාර්ගය අනුව දින දර්ශනය සකස් කළහ. සූර්යයාගේ ගමන් මාර්ගය සම්පූර්ණ වීමට දින 360ක් ගත වන බව විශ්වාස කළ නිසා මාස දොළහකින් යුත් දින දර්ශනයක් මුලින්ම භාවිතා කර ඇත්තේ ග්‍රීකයන් විසිනි. යූර්යයා පෘථිවිය වටා ගමන් කිරීමට දින 365කුත් 1/4ක් ගත වන බව සොයාගත් නිසා වසර හතරකට පසුව දින 366කින් යුත් වර්ෂයක්ද යොදාගෙන දින දර්ශනය සකස් කළහ. පසුව ජූලියස් සීසර් ග්‍රීක තාරකා විද්‍යාඥයකු වූ සොසෙගිනස් ගේ සහය ඇතිව මාස දොළහකින් හා දින 365කින් යුත් වර්තමාන දින දර්හනය සකස් කළ පසුව එය මුළු ලෝකයම පිළිගත්තේය.


ඔහු විසින් සෑම වර්ෂ 4කටම පසුව එක් වර්ෂයකට දින 366 වන සේ ඉතිරි දින 1/4 එක් කරන ලද අතර, එය අධික අවුරුද්දක් ලෙස නම්කර තිබේ. මෙම වැඩිපුර දිනය දින 28ක් වූ අඩුම දින ගණනින් යුත් පෙබරවාරි මාසයට එක් කර ඇත. ඒ අනුව සෑම වසර හතරකට පසුව එළඹෙන අධික අවුරුද්දකදී පෙබරවාරි මාසයට දින 29ක් කරමින් වර්තමාන දින දර්ශනයේ මාස දොළහ නම් කර ඇත්තේ ද ග්‍රීක හා රෝමවරුන් ගේ විශ්වාසය මත බව ද ඉතිහාසගත ලේඛනවල සඳහන් වෙස්. ඒ අනුව ජූලියස් සීසර් විසින් සකස් කරන ලද මාස 12 දින දර්ශනය 18 වැනි සියවස වන තෙක්ම සමස්ත ලෝකයේම පැතිරෙන්නට විය.


දින දර්ශනය ආරම්භයේදී වසරකට වූයේ මාස දහයක් පමණි. එකල රෝමවරුන්ට අනුව මුල් මාසය වූයේ මාර්තු මාසයයි. සූර්යා පෘථිවියේ මධ්‍යයට එනම් සමකයට මුදුන් වන දිනය මාර්තු 21 වැනිදා බැවින් එදා වසරේ මුල් මාසය මාර්තු ලෙස ආරම්භ විය. කාලයක් ඇවෑමෙන් පොම්පිලන් රජ දවස ජනවාරි සහ පෙවරවාරි මස එක්වීමෙන් දින දර්ශනයේ මාස දොළහ සම්පූර්ණ විය.


අදටත් භාවිතා වන ග්‍රිගෝරියන් දින දර්ශනය:


පුරාණයේ සිංහලයන් විසින් ශ්‍රී ලංකාවේ භාවිත කළ දින දර්හනය හෝ ඔවුන් විසින් වැදගත් අවස්ථා හා සිද්ධීන් පිළිබඳ දිනයක් වාර්තාගත කර ඇති මූලාශ්‍ර ලෙස ගත හැක්කේ පුරාවිද්‍යාත්මක හෝ සාහිත්‍යමය මූලාශ්‍රයන් පමණි. ලංකාවේ අතීත දින දර්ශන පිළිබඳ සංරක්ෂණයක් මූලාශ්‍රයක් ප්‍රමාණවත් නැත.
කෙසේ නමුත් ඉතිහාසගත තොරතුරු අනුව ජූලියස් සීසර් විසින් ඉදිරිපත් කළ දින 365 කැලැන්ඩරය සීසර්ගේ අභාවයෙන් පසු ශත වර්ෂ ගණනාවක් ගිය පසු එහි දෝෂ ඇති බව පෙනී ගියේය. ඒ අනුව ග්‍රෙගරි පාප්තුමා වර්ෂ 1582 දී ජූලියස් දින දර්ශනය ප්‍රතිසංස්කරණය කරන්නට විය. ප්‍රායෝගික ගැටලු රැසක් නිසා ව්‍යාකූල තත්වයක පැවති රෝම දින දර්ශනය විධිමත් කිරීමට ඇලෙක්සැන්ඩ්‍රියාවේ ‘‘සොසිජිනස්’’ නමැති සුප්‍රසිද්ධ ගණිතඥයකුට පැවරුවේය.


දින 365 1/4 කාලපරිච්ඡේදය වර්ෂයක් ලෙස සලකා වසරේ ආරම්භක මාසය වූ මාර්තු මාසය වෙනුවට ජනවාරි මාසය අවුරුද්දේ ප්‍රථම මාසය ලෙස ලොව පුරා ව්‍යාප්ත කිරීමට ග්‍රිගොරියානු දින දර්ශනය සමත් විය. ඒ වනතුරුම ලොව බො​හෝ රටවල වසර ආරම්භ වූයේ දෙසැම්බර් 25 ​හෝ මාර්තු 1 වැනිදායිනි. එය ග්‍රිගෝරියානු දින දර්ශනය හරහා වෙනස් කරමින් වර්ෂයේ ප්‍රථම දිනය ජනවාරි 1 වැනිදා බවට රෝම අධිරාජ්‍යයා ප්‍රකාශයට පත් කොට ඇත. විටින් විට විවිධ වූ සංශෝධන සමග ශ්‍රී ලංකාවාසී අපද භාවිත කරන්නේ මෙම ‘‘ග්‍රිගෝරියන්’’ දින දර්ශනයයි. මේ අනුව අවුරුදු ගණන් ගනු ලබන්නේ ක්‍රිස්තු වර්ෂ පදනම් කරගෙනය. කෙසේ වෙතත් ශත වර්ෂ ක්‍රමය හා චන්ද්‍ර - සූර්ය මාස ක්‍රමය භාවිත කරගෙන කේන්ද්‍ර සාදන සාම්ප්‍රදායික දෛවඥයන්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ පළ කරන ලිත්වල ‘‘ග්‍රිගොරියන්’’ ක්‍රමය අනුව මාස දින දක්වා ඊට අනුශාංගික වශයෙන් චන්ද්‍ර සූර්ය මාස ක්‍රමය අනුව ද තොරතුරු ඇතුළත් කොට සකස් කරනු ලැබ ඇත.

 

 

 

සටහන
නදීෂා අතුකෝරළ