ලෝක මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ඉතිහාසයේ සිට මේ දක්වා


ස්වාභාවික විපත්, ලෝක වසංගත, ලෝක යුද්ධ, සිවිල් යුද්ධ යනු ලෝක ජනතාව මුහුණ දෙන ව්‍යසනයන්ය. ලෝකවාසී ජනතාවට මුහුණපෑමට සිදුවන භයානක ව්‍යසනයන් ඒවා යැයි ඔබ විශ්වාස කරාවි. නමුත් සියවස් කිහිපයක සිට ලෝකවාසී ජනතාව මුහුණ දෙන වඩාත් බිහිසුණු ව්‍යසනය වන්නේ, අන්තරායකර මත්ද්‍රව්‍ය නිසා මුහුණ දෙන ව්‍යසනයයි. මතුපිටින් මෙහි ඇති භයානකත්වය දක්නට නොලැබෙන්නේ, අන්තරායකර මත්ද්‍රව්‍ය නිපදවීම, බෙදාහැරීම සහ භාවිතයට නීතියෙන් අවසර නොමැති නිසාය. එසේ තිබියදී පවා සිදුවන හානිය, ව්‍යසනය සුළු පටු නොවේ.

යම් කිසි විදිහකින් නීතියෙන් ඊට ඉඩක් ලැබුණේ නම්, අද ලෝකය පවතින්නේ වඩාත් බිහිසුණු තත්ත්වයකය. නීතිය කෙතරම් බලවත් වුව ද ඒ නීති අණ පනත් සීමා නොතකා ජාවාරම්කරුවන් විසින් ලෝක මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පවත්වාගෙන යන බව කිව හැකිය. ලෝකයේ භයානකම ව්‍යසනය අන්තරායකර මත්ද්‍රව්‍ය වන අතර, එය ලෝකයේ බලවත්ම ව්‍යාපාරයක් බවට ද පත්ව තිබේ. එම නීති විරෝධී ව්‍යාපාරයේ ආධිපත්‍යය දරන්නේ බොහෝ විට පාතාල නායකයන්ය. ඔවුනට ද ඉහළින් තවත් බොහෝ පිරිස් සිටී. ඔබ අයිස්බර්ග්, නැතහොත් මහා සාගරයේ පාව යන අතිවිශාල අයිස් ස්කන්ධයක්, තට්ටුවක් ගැන අසා තිබෙනවා නේද? එම පාවෙන අයිස් කන්දක දිය මතුපිටින් පෙනෙන කොටසට වඩා සිය දහස් ගුණයකින් අභ්‍යන්තර හෙවත් දිය යට ඇති කොටස විශාල වේ. ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම හරියට එලෙසින් ක්‍රියාත්මක වන දෙයකි. මතුපිටින් පෙනී සිටින්නේ එක් අයකු හෝ දෙදෙනකු විය හැකිය. නමුදු එම නීති විරෝධී ජාලය පුරාවට රැඳී සිටින බොහෝදෙනා සිටින්නේ තිරය පිටුපසය.  


මත්ද්‍රව්‍ය ජාවාරමක් බවට පත්වූයේ සහ ඒවා විකාශය වූයේ කෙසේ ද කියා අපි බලමු. මත්ද්‍රව්‍ය යනු සැබැවින්ම ජාවාරම්කරුවන් විසින් සොයා ගන්නා ලද දෙයක් නොවේ. විවිධ යුගවලදී බලපුළුවන්කාර මිනිසුන්ගෙන් ව්‍යාප්ත වූ දෙයකි. 19 වැනි සියවස දෙස විපරම් කර බැලූ විට එකල මෙය මාෆියාවක්, නැතහොත් ජාවාරමක් බවට පත් කරවීමට කටයුතු යොදා ඇත්තේ යටත්විජිතවාදී බලවතුන් සහ බලපුළුවන්කාර චරිත විසිනි. එකල ඔවුන් ආසියාව පුරා ‘අබිං’ ව්‍යාප්ත කළ බව සඳහන් වේ.  


 මත්ද්‍රව්‍ය සඳහා නීති සැකසෙද්දී පාතාලයින් අතට බලය හුවමාරු වීම  


චීනය ප්‍රමුඛ බටහිර රටවල් එදා නීති විරෝධී ලෙස තහනම් මත්ද්‍රව්‍ය භාවිතය සහ ප්‍රවාහනය සඳහා නීති සම්පාදනය කළ ද ඉන් පසු මේ වැඩේට බැස්සේ දකුණු දිග චීනයේ පාතාල කල්ලි යැයි සඳහන් වේ. මේ වන විට අප්‍රිකානු කලාපයේ මෙන්ම දකුණු ඇමෙරිකානු කලාපයේ මෙක්සිකෝව ප්‍රමුඛ ලතින් ඇමෙරිකානු කලාපයේ ද තහනම් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ බල කේන්ද්‍ර බවට පත්ව තිබිණි. එහිදී බොහෝ විට සිදු වූයේ එකී රටවල පාතාල කල්ලි සහ බලසම්පන්න විවිධ සමාජ කල්ලි විසින් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ජාවාරමක් බවට පත් කරගැනීමය. තහනම් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මෙහෙයවන්නන්ගේ තොරතුරු සොයා යාමේදී ඒ ඒ රටවලට සාපේක්ෂව ඔවුන් පාතාලයේ ගෝඩ් ෆාදර්ස්ලාය. ඒ, තනිවම නම් නොවේ. සංවිධාන නැතහොත් බලසම්පන්න වූ කණ්ඩායමක් ලෙසිනි. මෙම කණ්ඩායමේ සමහර සාමාජිකයින් තමන්ගෙන් සිදුවන සේවය කුමක් ද කියා හෝ දන්නේ නැති තරම්ය. මක් නිසා ද යත්, ඔවුන් මුදල් වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පෙලඹ සිටින නිසාය.  


මෙක්සිකෝව යනු තහනම් මත්ද්‍රව්‍ය ලෝකයට බෙදාහරින බල කේන්ද්‍රය ලෙස හැඳින්විය හැකිය. සිනලෝවා කල්ලිය, මෙඩලින් කල්ලිය, ගල්ෆ් කල්ලිය, ලොස් සිටාස් ජුආරෝස් යනු මෙක්සිකෝවෙන් බිහි වූ ලෝක නම් දැරූ මත්ද්‍රව්‍ය බෙදාහරින සංවිධාන වේ. සමහර සංවිධාන අද මේ නම්වලින් නැතත්, කලින් කලට ගෝඩ් ෆාදර් වන පුද්ගලයාගේ නායකත්වයෙන් පවත්වාගෙන යයි. මෙම සංවිධාන කෙතරම් දුරට බලවත් ද යත්, ලෝකයේ සියලුම කලාපවලට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සිදු කරයි. එසේ ප්‍රවාහනය කිරීමේදී රථවාහන මිනිසුන්, පමණක් නොව, සතුන්ගේ සහාය පවා ලබා ගනී. ප්‍රවාහනයේදී මුහුදින් වේවා, ගොඩබිමින් වේවා, ගුවනින් හෝ අනෙකුත් ඕනෑම මාර්ගයක් ඔස්සේ ප්‍රවාහනය කිරීමට තරම් සූක්ෂම සහ සංවිධානාත්මක ජාලයක් මෙම සංවිධාන සතුය. මෙක්සිකෝව මත්ද්‍රව්‍ය බහුලව භාවිත කරන රට වුව ද ලෝකයේ මත්ද්‍රව්‍ය අගනුවර ලෙස සඳහන් වන්නේ ඇෆ්ගනිස්තානයයි.  


මෙක්සිකෝවේ මිෂෙල් ඒන්ජල් ෆීලික්ස් ගැලාර්ඩෝ හෙවත් එල් පදිනෝ හැඳින්වෙන්නේ තහනම් මත්ද්‍රව්‍ය ව්‍යාපාර ලෝකයේ අධිපතියා හෙවත් ගෝඩ් ෆාදර් ලෙසය. මෙම මහා ජාවාරම්කරුවා සිරගත කළ ද සිරගෙදර සිට තම ජාලය මෙහෙයවීම සිදු කළ අයෙකි. අද සිරගතව සිටින එල් පදිනෝ 76 වැනි වියේ පසු වෙයි.  
පැබ්ලෝ එස්කෝබාර් ගැමිරියා යනු කොලොම්බියාවෙන් බිහිව සිට මත් ලෝකය මෙහෙය වූ අධිපතියෙකි. ලෝකයටම කොකේන් බෙදාහැරීම සිදු කළ අපරාධකරුවකු ලෙස ඔහු හැඳින්වෙයි. 1989 දී ෆෝබ්ස් සඟරාව වාර්තා කළේ එස්කාබාර් ලෝකයේ ධනපතින් අතර හත්වැනි ස්ථානයේ පසුවන්නා ලෙසය. විවිධ අපරාධ කල්ලි හා සම්බන්ධ කටයුතු කළ ඔහු පායිසාහි රොබින්හුඩ් ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්විය. දුප්පතුන්ට බොහෝ සෙයින් ධනය බෙදා දීම ඊට හේතුවය. කෙසේ වෙතත් අපරාධ මොන විදිහට කළත්, අපරාධම වේ. ඔහු කොලොම්බියානු පොලීසිය විසින් වෙඩි තබා මරා දමනු ලැබුවේ 1993 දෙසැම්බර් 2 වැනිදාය.  
එදා මෙදා තුර තහනම් මත්ද්‍රව්‍ය ලෝකයේ මහා බලසම්පන්න චරිතය ලෙස හැඳින්වෙන්නේ, මෙක්සිකෝවේ එල් චාපෝ ය. ​ජෝකින් එල් චාපෝ ගුස්චැන් ඔහුගේ නමය. මුලින් ඔහු කටයුතු කළේ, එල් පදිනෝ යටතේය. එල් චාපෝ හට සාමාන්‍ය ජනතාවට වඩා බිය වූයේ පොලීසියේ සහ ආරක්ෂක අංශවල නිලධාරීන්ය. එහෙත් නීතිය මිසක අවිනීතියට සදාකාලික ඉඩක් නැත. ලෝක මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට නෞකාව පදවාගෙන යමින් සිටි ඔහු මෙක්සිකානු වෙරළාරක්ෂක බළකාය (නාවුක) විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ජීවිතාන්ත සිරදඬුවම් විඳිමින් සිටී. ඊට පෙර අවස්ථා තුනකදී ආරක්ෂක හමුදා ඔහුව අල්ලාගෙන සිරගත කරනු ලැබුව ද ඔහු ඒ සියලු අවස්ථා වෙතින් පැන ගිය අයෙකි.  


මෙලෙසින් තවත් විශාල පිරිසක් ලෝක මත්ද්‍රව්‍ය අධිරාජ්‍යය පාලනය කරන බව කිව හැකිය. එහිදී බොහෝ විට පාතාලයේ ගෝඩ් ෆාදර්වරුන් වූ පිරිමි චරිතවලට අමතරව ගෝඩ් මදර් ලෙස හැඳින්වූ කාන්තාවක ද සිටියාය. කොලොම්බියාවේ සිටි එම ජාවාරම්කාරියගේ නම ග්‍රිසෙල්ඩා බ්ලැන්කෝ ය. 1943 දී උපන් ඇය ජාවාරම්කාරියක වූ පසුව, එක්සත් ජනපදයේ සිට ක්‍රියාත්මක වෙමින් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටි තැනැත්තියක වූවාය. වරෙක වැරැදිකාරියක වූ නිසා එක්සත් ජනපද බන්ධනාගාරයක විසි වසරක් සිරගතව සිටියාය. පසු කලෙක නිදහස ලබා පැමිණ සිටි ඇය මෝටර් සයිකලයකින් පැමිණි වෙඩික්කරුවකු විසින් ඝාතනය කරන ලද්දේ 2012 දීය. මත්ලෝලීන් අතර ඇය හැඳින්වූයේ ‘කොකේන් දේව මාතාව’ ලෙසය. කෙසේ වෙතත් ඇය ඝාතනය වූයේ මස් කඩයකින් මස් රැගෙන එළියට එමින් සිටි අවස්ථාවකදීය.  


මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට තෝතැන්නක් වූ ඉන්දියානු සාගර කලාපය  


නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටින ජාවාරම්කරුවනට ඉන්දියානු සාගර කලාපය යනු තෝතැන්නකි. මෙම මුහුදු සීමාවේ සිට ලෝකයේ ඕනෑම කලාපයකට මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදු කිරීමට ඔවුනට පහසුවක් වී තිබෙන්නේ භූගෝලීය පිහිටීම නිසාය. ලෝකයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය අලෙවි කරන ජාලය කොතරම් නම් සූක්ෂම ද යත්, කොතරම් නම් බලසම්පන්න ද යත්, සබ්මැරීනවල පහසුකම් පවා ලබා ගැනීමට ඔවුනට පහසුකම් ඇතැයි අනුමාන කළ හැක්කේ මහා ධනස්කන්ධයක් ඔවුන් සතු වන බැවිනි. අප ශ්‍රී ලංකාව ගතහොත් රට වටේ වැටක් බැඳීමට පුළුවන්කමක් නැත. වෙරළාරක්ෂක සේවා සහ නාවුක හමුදාව සිටිය ද රට වටා පවුරක් මෙන් ආරක්ෂිත පද්ධතියක් ස්ථාපිත කළ නොහැකිය. එය එතරම්ම සංකීර්ණ මෙහෙයුමකි. මෙය ඉන්දියානු සාගර කලාපයේදී පමණක් නොව අනෙකුත් සියලු සාගර කලාපවලදී ආරක්ෂක අංශ මුහුණ දෙන සංකීර්ණ ගැටලුවකි.  


අද බොහෝ විට කතා වන්නේ ‘අයිස්’ නමැති මත්ද්‍රව්‍ය ගැනය. අබිං, කංසා හෙවත් ගංජා වැනි මත්ද්‍රව්‍ය ශාකවලින් ලබාගත් අනුසාරයන්ය. කොකේන් ද එලෙසිනි. එහෙත් අද ලෝකයේ ජාවාරම්කරුවන් විසින් බෙදාහරින සමහර මත්ද්‍රව්‍ය දිහා විපරම් කර බලද්දී අදහාගත නොහැකි තරමට වූ වෙනස් ඒවා ලෙස හැඳින්විය හැකිය. මත්පෙති, එන්නත්, ශක්තිජනක පාන ලෙස දියර ලෙස, ස්ටිකර ලෙස පමණක් නොව, ඊ-සිගරට් (ඉලෙක්ට්‍රොනික) ලෙස සහ පැන්සල් ලෙස ද තවත් විවිධාකාර නිෂ්පාදන ලෙස ද අද අලෙවි කෙරේ. සැබැවින්ම එය මහා සමාජ ව්‍යසනයකි.  


ජනගහණයට සාපේක්ෂව වාර්තාවලට අනුව මත්ද්‍රව්‍ය භාවිතය වැඩි ජනගහන ප්‍රතිශතයක් ඇත්තේ චීනයටය. දෙවැනිියට ඉන්දියාව පසු වේ. ඇමෙරිකාව, ඉන්දුනීසියාව, පාකිස්ථානය, නයිජීරියාව, බ්‍රසීලය, බංගලාදේශය, එලෙසින් ජනගහන ප්‍රතිශතයට අනුව බහුලව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සිටින රටවල් වේ. ලතින් ඇමෙරිකානු කලාපයේ කොලොම්බියාව, මෙක්සිකෝව ගැන අඩුවෙන් කිව යුතු නැත. ඕනෑම වූ මත්ද්‍රව්‍යයක් භාවිතය නිසා ලෝකයේ ජනතාව අතරින් සෑම තත්පර දහයකට වරක් මරණයක් සිදුවන බව වාර්තාවල සඳහන් වේ.  


ස්නායුගත රෝග, ඒඩ්ස් සහ සමාජ රෝගවලින් විඳවන පිරිස ද බො​හෝය. ඒ, වෙන කිසිවක් නිසා නොව මත්ද්‍රව්‍ය භාවිතය නිසාය. කොරෝනා ව්‍යසනයෙන් පසුව යුරෝපයේ බොහෝ දෙනා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇතැයි වාර්තාවල සඳහන් වේ. ඊට හේතුව ලෙස පෙන්වා දෙන්නේ මානසික ආතතියෙන් සිටීමය. ඒ මානසික ආතතියට හේතුව වසංගත තත්ත්වය හමුවේ රටවල් ලොක්ඩවුන් කර තිබීමය. ඇෆ්ගනිස්තානය මත් ව්‍යසනයේ මහා ගොදුරක් බවට පත්ව ඇත්තේ තලේබාන් ග්‍රහණයට හසු වී සිටීම නිසා, ඒ නිසා වූ මානසික අස්ථාවර බව යැයි සඳහන් වේ.  


මත්ද්‍රව්‍ය බිස්නස් එක යනු ලෝකයේ කළු සල්ලි සුදු කරන අංක එකේ ව්‍යාපාරය බවට අද පත්ව තිබේ. මෙලෙසින් කළු සල්ලි සුදු කරන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම නිසා ඉක්මනින් කෝටිපතියන් වන පිරිස නිසා සාධාරණව, යහගුණයෙන් මුදල් උපයන මිනිසුන් දිහා සමහරු බලන්නේ ද එම ආකල්පයෙනි. එය තවත් සමාජය පුපුරා යාමකි. මතක තබා ගන්න, ආයුධවලින් කෙරෙන තුන්වැනි ලෝක යුද්ධයක් යළි නොඑනු ඇත. රටක ශක්තිය හීන කිරීමට මත් ව්‍යසනයට හුරු කරවීම හොඳටෝම ප්‍රමාණවත්ය. අද සමාජ මාධ්‍ය යනු සූක්ෂම ලෙස තහනම් මත්ද්‍රව්‍ය වෙළෙඳපොළ සක්‍රීයව පවත්වාගෙන යාමට ඉතා හොඳ ප්‍රචාරක මාධ්‍යයකි. එනිසා ඒ සියලු දේ ගැන අවබෝධයෙන් කටයුතු කිරීම සහ පරිශීලනය කිරීම තාරුණ්‍යයේ මෙන්ම වැඩිහිටි සමාජයේ වගකීමකි. අන්තරායකර ඖෂධ සහ මත්ද්‍රව්‍ය වෙනුවෙන් ජාවාරම්කරුවන් විසින් සමාජය පෙලඹවීමට ලක් කරන්නේ ඉතාම සූක්ෂම අයුරිනි. එමෙන්ම නවීනතම තාක්ෂණ ක්‍රමවේදයන්ට අනුවය. දැඩි නීති රීති ඇති මැදපෙරදිග කලාපයේදී පවා මෙම නීති විරෝධී ව්‍යාපාරය සක්‍රීය වී තිබෙන්නේ එනිසාය. ඔබ නොදැන ඔබ ඊට ගොදුරු වීමේ අවකාශය වැඩිය. පෙර සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ඉන්දියන් සාගරයේ පැතිරී ගිය මුහුදු සීමාවකය. ජාවාරම්කරුවන්ට ශ්‍රී ලංකාව වට කොට ඇති මුහුදු සීමාව මත්ද්‍රව්‍ය බෙදාහැරීමට තෝතැන්නකි. මේ සම්බන්ධ විමර්ශනය කරන බොහෝ දෙනාගේ මතය වන්නේ ලෝකයට නීති විරෝධී මත්ද්‍රව්‍ය බෙදාහරින කේන්ද්‍රස්ථානය මෙම මුහුදු කලාපයේ පිහිටා ඇති බවය.  


රට ඇතුළට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුවන්නේ එහි අතුරු ඵලයක් ලෙසය. මොන විදිහකින් හෝ රට ඇතුළට එන මත්ද්‍රව්‍ය තොග වශයෙන් අල්ලා ගත්ත ද ඉන් පසුව ඒවාට සිදුවන දේ ගැන කවුරුත් දන්නේ නැත. මත් උවදුර ගැන අවධානය යොමු කරන බො​හෝ විමර්ශකයින්ගේ අදහස වන්නේ, මෙම තොග වශයෙන්, බෝට්ටු වශයෙන් අල්ලා ගන්නා මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීම ජනතාව දැනුවත් කර කළ යුතු බවය. එසේ නොමැතිව අල්ලා ගන්නා මත්ද්‍රව්‍ය තොගවලට වන්නේ කුමක් ද යන ප්‍රශ්නය තිබෙනතාක් මේ රටෙන් මේ මහා විනාශය තුරන් නොවනු ඇත.

 

 

සටහන
සඳුන්  ගමගේ