ලක්ෂ ගණනක් ගෙවා සුනඛ සුරතලුන් සමඟ ජර්මනියට යන යුවලක්


 

බොහෝ නිවෙස්වල සුරතලයට බල්ලන්, බළලු‍න්, හාවුන්, කුරුල්ලන් ආදී විවිධ සතුන් ඇති කරන අයුරු අප දැක ඇත. කල් ගත වෙද්දී මොවුහු නිවැසියන්ගේ ආදරයට පවා පාත්‍ර වෙති. ඒ බැඳියාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවංක, ලෙන්ගතු බැඳීමක් බව පෙන්වන නිදසුන් සමාජයේ බොහෝය.


හදිසි ආපදාවකදී වුව නිවැසියන් තම සුරතලු‍න්ගේ ජීවිත ආරක්ෂා කර ගන්නා අයුරු, සතුන්ගේ වියෝවීම් හමුවේ දරා ගන්නා සැටි අපට පසක් කර දෙන්නේ ඒ බැඳීමේ ප්‍රබලත්වයයි. එමෙන්ම සුරතලු‍න් පවා තම ස්වාමියාට, පවුල කෙරෙහි දක්වන ආදරයද එයාකාරමය. ගහකොළ, සතා සිවුපාවා පරිසරය ලස්සන කරනවා මෙන්ම මේ දේවල් මිනිසාට දක්වන ලැදියාවද හරිම අපූරුයි. මේ කතාවත් එහෙම හරි ආදරයකින් සිටි සුරතල් සුනඛයන් තිදෙනකු තම ස්වාමියා සමඟ තව නොබෝ දිනකින් විදේශගතවීමේ සිදුවීමක් මුල් කර ගෙනයි. මේ සටහන ඔවුන්ගේ ඒ අපූරු ගමන ගැනය.   


වෘත්තියෙන් ගුරුවරියක වන මනීෂා කාලිංග කියන්නේ මේ කතාවේ ප්‍රධානම චරිතයකි. එනම් සුනඛ සුරතලු‍න් තිදෙනාගේම භාරකාරත්වය දරනුයේ ඇයයි. ඇයගේ සැමියා ජර්මානු ජාතිකයකු වන ඩැනියෙල් ස්ටෝලර්ය. විවාහයත් සමඟ ඔවුහු කඩින් කඩ රටවල් දෙකේම විසූ අතර ලංකාවේ රැඳී සිටීමට වඩාත් ප්‍රිය කළෝය. ඔවුන් මේවනවිට දරුවන් දෙදෙනකුගේ දයාබර මවුපියන්ය. හදිසියේම ඔවුන් මෙරටට සමුදී ජර්මනිය බලා පිටත්ව යන්නේ ඩැනියෙල්ගේ මව රෝගාතුර වීම නිසයි. ඉතින් මේ පවුලේ බැලූ බැල්මට සාමාජිකයන් හතර දෙනකු සිටින බව පෙනුණට මනීෂා නම් කියන්නේ හත් දෙනකු සිටිනා බවයි. ඒ ‘කොකෝ, චාලි සහ තියඩෝ’ නම් සුනඛ සුරතලු‍න්ද සමගිනි. වීදි සුනඛයන්ට පවා දැඩි ආදරයක් දක්වන මේ පවුලේ කිසිවකු තම සුරතලු‍න් තිදෙනා තනිකොට ජර්මනිය බලා යාමට කැමති නැත. එබැවින් ඉතා පරිශ්‍රමයක් දරා සුරතලු‍න් තිදෙනාද ජර්මනිය කරා රැගෙන යාමට තීරණය කොට ඇත. ඒ අනුව රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වැය කොට අවසානයේදී සුරතලු‍න් තිදෙනාට ජර්මනියට යාමට අවැසි වීසා ලබාගන්නා ලදී.   


මේ සුරතලු‍න් තිදෙනා අතුරින් තියඩෝ යනු ශ්‍රී ලාංකික සුනඛයෙකි. මහමඟ දමා යන අසරණ බලු‍ පැටවුන්ට පවා පිහිට වන මේ පවුලට තියඩෝ එකතු වී ඇත්තෙත් හරි අහම්බයකිනි. තියඩෝගේ මව වීදි සුනඛයන් සමඟ ජීවත්ව සිට ඇති අතර ස්ථිර නිවහනක් තිබී නොමැත. ඇයගේ එක් පාදයක අස්ථියක පිළිකාවක් සෑදී රෝගාතුරව සිටි සතෙකි. එවිටද ගැබ්ගෙන සිටි මේ බැල්ල පැටවු 08ක් බිහි කළාය. ඒ අතුරින් තියඩෝ එක් පැටවෙකි. ඒ වනවිට පිළිකාවෙන් දැඩිව රෝගාතුරව සිටි බැල්ලගේ ජීවිතය බේරා ගැනීමට මනීෂා ඇතුළු පවුලේ සාමාජිකයන් දැඩි වෙහෙසක් ගත් බව නම් නොලියාම බැරිය. මේ වනවිට සැත්කම් 08කට පමණ මුහුණ දී සිටි අතර කීමෝ ප්‍රතිකාර ලබා දෙන අතරතුරේදී බැල්ල මියගියාය. අසරණවූ බලු‍ පැටවුන් 08 දෙනාටම තනියක් නොදැනෙන ලෙස මනීෂා ඔවුන්ව ආදරයෙන් බලා ගත්තාය. තියඩෝට දැන් වයස අවුරුදු දෙකකි. එසේම අනෙක් සුරතලු‍න් දෙදෙනාද පසුකලකදී පවුලට එකතු වී ඇත.   


රට ඇතුළත සුරතල් සතුන් ප්‍රවාහන නීතිරීති දැඩි නොවූවද රටකින් වෙනත් රටකට සතුන් ප්‍රවාහනයේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් පවතී. ඒ අනුව සතුන් ප්‍රවාහන ගුවන් යානා වෙනම ඇත. ඒ කාගෝ හෙවත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා වේ. සතුන් යානයට ඇතුළු කිරීමට පැය 05කට ප්‍රථම ආහාර ලබා දී අවසන් වී තිබිය යුතුය. සතුන්ට අදාළව විශේෂිත කූඩු ඇති අතර ඒවා මිලදී ලබාගෙන ඒ තුළට ස්වාමියා පරිහරණය කළ ඇඳුමක් වැනි දෙයක් සතුන්ට ඉව ඇල්ලීමට යොදනු ලැබේ. ප්‍රවාහනයට ප්‍රථම සතුන්ගේ වෛද්‍ය වාර්තාවක් ලබාගෙන තිබීමද අත්‍යවශ්‍ය වේ. ගමනාන්තය තෙක් සතුන්ට ආහාර (ඇට වර්ග), වතුර ලබා දේ. සතුන් භාර ගත් නිලධාරියා විසින් වරින් වර සතුන්ගේ ඡායාරූප, වීඩියෝ පට සතුන්ගේ භාරකරු වෙත එවනු ලැබේ.   


කිසියම් කෙනෙකුට තම සුරතල් සතුන්ව වෙනත් රටකට රැගෙන යාමට අවශ්‍ය නම් ඒ සඳහා හමු විය යුතු සහ උපදෙස් ලබා ගත හැකි ආයතන ඇත. ඒ ආයතන හා සම්බන්ධ වීමෙන් අපේ කාර්යය වඩා පහසුව, ආරක්ෂිතව මෙන්ම කාර්යක්ෂමව කර ගත හැකිය.   


මේ සුනඛ සුරතලු‍න් තිදෙනාට අමතරව ‘බබී, ඇල්වින් සහ හෝප්’ යනුවෙන් තවත් වීදි සුනඛයන් තිදෙනකු මනීෂාගේ සෙවණේ ආදරය ලබයි. ඔවුන් තිදෙනා ජර්මනිය බලා නොගියද තම පවුලේ ආදරණීයයන් එනතුරු මඟ බලා සිටින බව නම් නොඅනුමානයි. සතෙකුට කෑම වේලක් , වතුර උගුරක් නොදී එළවා ගන්නා නොමිනිසුන් සිටින සමාජයක මනුසත් ගුණෙන් යුත් අතළොස්සක් හෝ සිටිනු දැකීම සතුටට කරුණකි.

 

සටහන : 
මාධවී ධර්මරත්න