රාජසිංහ රජු පැන යද්දී දළඳා වහන්සේ සැඟවූ තැන්


දළදා වහන්සේ සඟවාතිබූ විහාරය

 

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත් වී 2023 පෙබරවාරි 18 වැනිදාට වසර 208 ක් සපිරේ. රජතුමා අල්ලා ගැනීම සම්බන්ධ බොහොමයක්​ තොරතුරු මේ වන විට එළිදැක්වී ඇත. එහෙත් ඉංග්‍රීසින්ට අසු නොවන ලෙස දළදා වහන්සේ සැඟවීම සම්බන්ධ තොරතුරු මේ දක්වා නිවැරදි ලෙසින් එළිදැක්වී නැත. 

කොළඹ ජාතික ලේඛනාගරයේ ඇති පුස්කොළ පොතක තිබී එම විස්තර සොයාගත හැකි විය. අකුරු කියවීමේ අසීරුතාවයත් පැරණි භාෂාව තේරුම් ගැනීමේ අසීරුතාවයත් නිසා කෙනෙකුට පුස්කොළ පොතේ ඇති දේ පහසුවෙන් තේරුම් ගැනීම අසීරුය. ශක වර්ෂවලින් කාලය දක්වා තිබේ. පුස්කොළ පොතේ ඇති තොරතුරුවලින් ඉතා වටිනා තොරතුරු පාඨකයින්ට පහසුවෙන් තේරුම් ගත හැකි ලෙසින් පෙළගස්වා මෙසේ ඉදිරිපත් කෙරේ. 


බඹරගල : 1815 පෙබරවාරි 5 බ්‍රහස්පතින්දා දළදා හාමුදුරුවන් බඹරගල විහාරෙට වඩමවා ඇත. පෙබරවාරි 6 සිකුරාදා රඹුක්වැල්ලේ උන්නාන්සේ නෑදෑ උපාසකවරු ලවා බුද්ධ පූජාව පවත්වා තිබේ. 


(බරඹගල රජ මහා විහාරය ලෙසින් වර්තමානයේ හඳුන්වයි) 


මැද මහනුවර : 1815 පෙබරවාරි 7 සෙනසුරාදා දළදා හාමුදුරුවන් මැදමහනුවර මාලිගාවට වඩමවා ඇත. එහිදී දන් මුළුතැන් පූජා කර තේවාව සිද්ධ කොට තිබේ. (වර්තමානයේ මහනුවර - මහියංගනය ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර් 32 ක දුරක් ගිය විට මැද මහනුවර මුණ ගැසේ. මැද මහනුවර රජමහා විහාරය ලෙසින් හඳුන්වයි.) 
තලගුනේ : 1815 පෙබරවාරි 8 ඉරිදා තලගුනේ විහාරෙට වඩමවා තිබේ. රඹුක්වැල්ලේ උන්නාන්සේ විසින් කරනු ලබන දළදා හාමුදුරුවන් ආරක්ෂා කිරීමේ කාර්යයට සහාය දැක්වීමට වටපුළුවේ නායක උන්වහන්සේ, හුලංගොමුවේ උන්වහන්සේ. හෙනගැහුවල උන්වහන්සේලා පැමිණ තිබේ. එයට අමතරව තව කීප දෙනෙක් ද පැමිණ ඇත. එම පිරිසට උපකාර කර ඇත්තේ රඹුක්වැල්ලේ උන්නාන්සේගේ නෑදෑ උපාසකවරුන්ය. 


1815 පෙබරවාරි 8 වෙනිදා සිට 1815 පෙබරවාරි 22 දක්වා දින 15 ක කාලයක් දළදා හාමුදුරුවන් වඩා හිඳුවා තිබී ඇත්තේ තලගුනේ විහාරයේය. 


ඉංග්‍රීසින් මහනුවර මාලිගාවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාත් අල්ලාගත්දී දළදා වහන්සේ තිබී ඇත්තේ තලගුනේ විහාරයේය. මහනුවර - මහියංගනය මාර්ගයේ කිලෝ මීටර් 45 ක් දුර ගිය විට උඩදුම්බර (මාඩුගොඩ) නගරය මුණ ගැසේ. උඩදුම්බර සිට කළුගල මාර්ගයේ කිලෝ මීටර් 3 ක් දුර ගිය විට තලගුනේ ගම්මානය හමුවේ තලගුනේ ගම්මානයේ ඇති ඛෙත්තාරාම විහාරස්ථානයට එකල දළදා වහන්සේ වඩම්මවා ඇත. හතුරන් දළදා හාමුදුරුවන් සොයන බවට ආරංචි රඹුක්වැල්ලේ උන්නාන්සේට ලැබී තිබේ. ඒ නිසා වඩාත් ආරක්ෂාකාරී ස්ථානයන්ට වැඩම කිරීමට තීරණය කර ති​ෙබ්. 


මැදිවක : 1815 පෙබරවාරි 23 වෙනිදා සිට පෙබරවාරි 27 දක්වා දින 5 ක කාලයක් මැදිවක විහාරෙට වඩමවා ආරක්ෂා කර තිබේ. 
ඉංග්‍රීසින් දළදා වහන්සේ සොයන බවට ආරංචි රඹුක්වැල්ලේ උන්නාන්සෙට නැවතත් දැනගන්නට ලැබී තිබේ. එහෙයින් ඉංග්‍රීසින්ට කෙසේවත් සොයාගත නොහැකි ස්ථානයකට වැඩම කිරීමට තීරණය කර තිබේ. 


තැම්මිටියාන කැලෑව : දළදා හාමුදුරුවන් තැම්මිටියාන කැලෑව මැදට වඩම්මවා ඇත. කැලෑව තුළ මාලිගාවක් තනවා ඒ තුළට වඩම්මවා ආරක්ෂා කර තිබේ. 
වටපුළුවේ නායක උන්වහන්සේද හුලංගොමුවේ උන්වහන්සේ ද හෙනගැහුවල උන්වහන්සේ ද වැඩ සිට ඇත. රඹුක්වැල්ලේ උන්නාන්සේගේ උපදෙස් මත රඹුක්වැල්ලේ උන්නාන්සේගේ නෑදෑයෝ උන්වහන්සේලාට දානේ ලබා දී උපස්ථාන කර ඇත. උන්වහන්සේලා සමඟ පැමිණි කිහිප දෙනාට ද ආහාරපාන ලබා දී උපකාර කර තිබේ. 
1815 පෙබරවාරි 28 වැනිදා සිට 1815 මාර්තු 30 දක්වා දින 31 ක කාලයක් තැම්මිටියාන කැලෑව මැද හිඳුවාගෙන ආරක්ෂාව කර තිබේ. 


මැදිවක : තැම්මිටියාන කැලෑවෙන් නැවතත් මැදිවක විහාරෙට වැඩම කර ඇත. 1815 අප්‍රේල් 1 වෙනිදා හිඳුවා තිබී ඇත්තේ මැදිවක විහාරයේය. 
මැදිවක විහාරය වාර්තමානයේ හැඳින්වෙන්නේ මැදිවක පල්ලේවෙල ශ්‍රී උපෝෂථාරාම විහාරය ලෙසින්ය.) 


වේඬරුව : මැදිවක විහාරයෙන් වේඬරුව විහාරයට වැඩම කර ඇත. වේඬරුව විහාරයට වැඩම කර ඇත්තේ 1815 අප්‍රේල් 2 වෙනිදාය. 
(වර්තමානයේ වේඬරුවේ කිරි විහාරය නමින් හැඳින්වේ) 


වේඬරුව විහාරයේ දින 7 ක පමණ කාලයක් හිඳුවා තබන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. 
කිතුල්පේ : දළදා වහන්සේ කිතුල්පේ විහාරෙට වඩම්මවා ඇත. (වර්තමානයේ කිතුල්පේ ශ්‍රී රන්පත්ගේ විහාරය) 
1815 අප්‍රේල් 8 පමණ කිතුල්පේ විහාරෙට වඩම්මවන්නට ඇතැයි සිතිය හැකිය. දින 7 ක පමණ කාලයක් කිතුල්පේ හිඳුවා තබන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.) 
පුසුල්පිටිය : කොත්මලේ පුසුල්පිටිය විහාරෙට වඩම්මවා ඇත. වඩම්මවා ඇත්තේ අති දුෂ්කරතා රැසක් විඳිමිනි. (පුසුල්පිටිය රජමහා විහාරය) 
1815 අප්‍රේල් 14 පමණ පුසුල්පිටිය විහාරෙට වඩම්මවන්නට ඇතැයි සිතිය හැකිය. දින 7 ක කාලයක් හිඳුවා තබන්නට ඇතැයි සිතිය හැකිය. 
හිඳගල : හිඳගල විහාරෙට වඩම්මවා ඇත. මල්වත්ත මහා විහාරයේ මහා නායක කොබ්බෑකඩුව හිමි හිඳගල විහාරෙට වැඩ දළදා වහන්සේ භාරගෙන ඇත. භාරගෙන ඇත්තේ 1815 අප්‍රේල් 23 වැනිදාය. 


1815 අප්‍රේල් 22, 23 දෙදින හිඳුවා තිබී ඇත්තේ හිඳගල විහාරයේය. 
කුමාරහපුවගාව : දළදා වහන්සේ හිඳගල විහාරේ සිට පෙරහැරෙන් මහනුවර කුමාරහපුවගාවට වඩම්මවා තිබේ. දළදා වහන්සේ හිඳුවා තිබූ කුමාරහපුවගාවට මහා සංඝයා රැස් වී ඇත. එසේම ගිහි පිරිසක් ද රැස් වී ඇත. 


1815 අප්‍රේල් 24 දවස පුරාම හෝ යම් කාලයක් කුමාරහපුවගාව හිඳුවා තබන්නට ඇත. 
දළදා මාලිගාව : දළදා වහන්සේ ඇතෙක් පිටට වඩම්මවා පෙරහරෙන් දළදා මාලිගාවට වඩම්මවා ඇත. 
1815 අප්‍රේල් 24 හෝ අප්‍රේල් 25 මාලිගාවට වඩම්මවන්නට ඇතැයි සිතිය හැකිය. 


පුස්කොළ පොතේ 5, 6 පිටුවල කොටසක් මෙසේය. ශ්‍රී සම්බුද්ධ රාජෝත්තමයන් වහන්සේගේ ශ්‍රී දළදා හාමුදුරුවො ඇතා පිටට වඩම්මවලා ශ්‍රී දර්ශන වූ දළදා මන්දිරයට වැඩමෙවුවාය. දළදා හාමුදුරුවන් වැඩ සිටි ඒ ඒ තැන්වලදී රඹුක්වැල්ලේ භික්ෂුව වන මා විසින් බොහෝ සේ දුක් විඳ වැඩ රාජකාරිය මුරජාම කරමින් රක්ෂා කරන ලදී. 

 

 

ඡායාරූප සහ සටහන : හුන්නස්ගිරියේ
පාලිත මඩුගල්ලේ