මහීමාතාවට මේ බර උහුලන්න පුලුවන්ද?


රෑ මැදියම පසුවුණා පමණි. වේලාව සටහන් වූයේ අලු‍යම 1.29 ලෙසය. පිලිපීනයේ, මැනිලා අගනුවර, ටොන්ඩෝ පළාතේ, ඩෙල්පෑන් නුවර පිහිටි වෛද්‍ය හෝසේ ෆෙබෙල්ලා අනුස්මරණ රෝහලේ මාතෘ වාට්ටුවේ දකින්න ලැබුණේ වෙනදාටත් වඩා කලබලකාරි ස්වරූපයකි. සිඟිති දියණියක උපත ලබා සිටියාය. ඇගේ මව මේරි මාගරට් විලිරොන්ත් ය. විනිස් මබන්සාග් ලෙස බිලිඳියට නම් තැබුණි. උපත ලැබීමත් සමඟ, තමන් සුවිශේෂී තැනැත්තියක වූ බව පුංචි බිලිඳිය තවම දන්නේ නැත. එය දැනගන්නට හෝ වටහා ගන්නට හෝ ඇය තවමත් පුංචි වැඩිය. දිනෙක ඇයට එය දැනගන්න ලැබෙනු ඇත. විනිස් සහ ඇගේ මව මාගරට් ගැන පිලිපීන මාධ්‍ය පමණක් නොව ලෝක මාධ්‍ය ද පුවත් පළ කරන්න විය. මෙම සිඟිත්තිය සුවිශේෂී තැනැත්තියක බවට පත් වූයේ, ඇගේ උපත සමඟ ලෝක ජනගහනය බිලියන අටේ සීමාව පසු කිරීම නිසාය. 


නොවැම්බර් 15 වැනිදා වන විට ලෝක ජනගහනය බිලියන අටේ සීමාව ඉක්මවා යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළේ පසුගිය සති අන්තයේදීය. ඒ අනුව, 15 වැනිදාට එළිවෙද්දී සිදුවන දරු උපත් සම්බන්ධයෙන් මුළු ලොවම උනන්දුවෙන් පසුවිය. ලෝකයේ සෑම රටකම රෝහල් පද්ධති, එම රටවල සෞඛ්‍ය අමාත්‍යාංශ හරහා සම්බන්ධ වී සිටින අතර, දරු උපත් පිළිබඳ දත්ත සැණින් වාර්තා කෙරුණි. ඒ අනුව, ලෝක ජනගහනය බිලියන අටේ සීමාව පසු කරමින් සිදුවුණු ‘‘විනිස්’’ බිලිඳියගේ උපත නාමිකය, සංකේතාත්මකය. 


ලෝක ජනගහනය බිලියන අටේ සීමාව පසු කරමින් සිදුවුණු මෙම සිඟිත්තියගේ උපත පිළිබඳ විස්තර මාධ්‍ය හමුවේ වාර්තා කළේ පිලිපීන ජනගහන සංවර්ධන කොමිසමය. ඔවුන් සිය ෆෙස්බුක් ගිණුම හරහා බිලිඳියගේ සහ ඇගේ මවගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කළේය. ඒ, මවට සහ දියණියට සුබ පතමිනි. ‘ලෝකයේ බිලියන අටවැනි පුද්ගලයා සංකේතාත්මකව සනිටුහන් කිරීමට මැනිලාහි ටොන්ඩෝහි උපත ලද බිලිඳියක තෝරා ගැනීමත් සමඟ ලෝකය තවත් ජනගහන සන්ධිස්ථානයකට ළඟා වී තිබේ’ යනුවෙන් පිලිපීන ජනගහන සහ සංවර්ධන කොමිෂන් සභාව සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් ද තැබුවේය. 


ලෝක ජනගහනය බිලියන හතේ සීමාව පසු කළේ 2011 වසරේ දීය. තවත් බිලියනයක් එක් වී, ලෝක ජනගහනය බිලියන අටේ සීමාව පසු කිරීමට ගත වූයේ වසර 11 ක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ලෝක ජනගහනය, බිලියන අටේ සීමාව පසු කරද්දී, ලෝක ජනගහනයට මිලියන 177 ක් එක් කළේ අප අසල්වැසි ඉන්දියාවය. මෙතෙක් ලෝකයේ වැඩිම ජනගහනයක් වාර්තා කළේ චීනය වුවත්, අද ඉන්දියාව, චීනය පසු කරන්නට ඉදිරියට පැමිණෙමින් සිටී. 


ලෝක ජනගහනය, බිලියන අටේ සීමාව පසු කරද්දී, චීනය ලෝක ජනගහණයට එක් කර ඇත්තේ මිලියන 73 කි. ඒ අනුව, ඉදිරි 2023 වසරේ දී ඉන්දියාව, චීනය අභිබවා ලොව වැඩිම ජනගහනයක් පෙන්නුම් කරමින්, ලොව වැඩිම ජනගහනයක් ඇති රට බවට පත් වනු ඇතැයි ‘එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල’ පැහැදිලි කර ඇත. 


එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පෙන්වා දෙන ආකාරයට, 2037 වසර වෙද්දී වැඩිවන ලෝක ජනගහණයට දායක වන්නේ ආසියානු සහ අප්‍රිකානු රටවල්ය. ජනගහන වර්ධනයට යුරෝපා රටවලින් ලැබෙන දායකත්වය අවම වනු ඇත. ලෝක ජනගහනය බිලියන හතේ සිට අට තෙක් වර්ධනය වීමට වසර 11 ක කාලයක් ගත වී ඇති නමුත් ඉදිරියේ දී ගෝලීය ජනගහන වර්ධනයේ මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කරනු ඇති බැවින්, මීළඟ බිලියනය පසු කිරීම සඳහා වසර 14 හමාරක් ගත වනු ඇතැයි ‘එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල’ පුරෝකථනය කර තිබේ. 


එසේ නම්, ලෝක ජනගහනය බිලියන නවයේ සීමාව පසු කරනු ඇත්තේ වසර 2037 දීය. වසර 2080 වෙද්දී, ලෝක ජනගහනය බිලියන 10.4 ක උපරිමයකට ළඟා වනු ඇති බවත්, වසර 2100 දක්වා එම මට්ටම වෙනසක් නොවී පවතිනු ඇති බවත් ‘එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල’ අපේක්ෂා කෙරයි. ඉන්දියාවට අමතරව, 2050 වසර වෙද්දී, ගෝලීය ජනගහන වර්ධනයට සෘජුව දායකත්වය ලබාදෙන සෙසු රටවල් ලෙස ‘එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල’ හඳුනාගෙන ඇත්තේ කොංගෝව, ඊජිප්තුව, ඉතියෝපියාව, නයිජීරියාව, පාකිස්තානය, පිලිපීනය සහ ටැන්සානියාව ය. 


විදෙස් වාර්තා ඇසුරිනි.

 

 

සටහන ලු‍සිත ජයමාන්න