බදු බරෙන් තැලෙන මධ්‍යම පන්තිය


පවතින ආර්ථික අර්බුදය හමුවේ සියයට 40 ක් පමණ වන මධ්‍යම පාන්තිකයන්ගෙන් සියයට විස්සක පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන අය බවට පත්ව ඇතැයි මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පෙන්වා දෙයි. මේ ඒ සම්බන්ධයෙන් මහාචාර්යවරයා සමග කළ සාකච්ඡාවකින් සකස් කළ ලිපියකි. 

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙරට දරිද්‍රතාව පිළිබඳ තොරතුරු සපයනු ලබයි. නිල දරිද්‍රතා මායිම නම් වූ දර්ශකයක් එම ආයතනය ගණනය කරයි. එහි අගයෙන් පෙන්නුම් කරන්නේ එක් පුද්ගලයකුට මාසයක් ජීවත් වීම සඳහා අවශ්‍ය අවම මුදල් ප්‍රමාණයයි. එපරිදි මාසයක් ජීවත් වීමට අවැසි මුදල් ප්‍රමාණයට වඩා අඩු ආදායම් ලබන පුද්ගලයන් දරිද්‍රතාවෙන් පෙළෙන අය වශයෙන් හඳුනා ගැනේ. මෙම දත්ත සමග ආදායම් හා වියදම් කාණ්ඩ පිළිබඳ දත්ත ද ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ කරයි. එම දත්ත මත පදනම් වෙමින් පහළ, මැදි සහ ඉහළ ආදායම් ලබන කාණ්ඩ වශයෙන් ශ්‍රී ලාංකේය ජනතාව වර්ගීකරණය කිරීමට පිළිවන. 


එහිදී පහළ ආදායම් ලබන අය හැටියට හඳුනා ගැනෙන්නේ ඊට අදාළ ආදායම් කාණ්ඩයේ (අඩු ආදායම් කාණ්ඩයේ) පහළම ස්ථරයේ සිටින සියයට 30 ක ප්‍රමාණයයි. එසේම ඉහළම ආදායම් ලබන සියයට 30 ක ප්‍රතිශතය ඉහළ ආදායම් ලබන අය ලෙස හඳුනා ගැනේ. එම කාණ්ඩ දෙක අතර සිටින මැදි ආදායම් ලබන පිරිස මැදි ආදායම් කාණ්ඩය නොහොත් මධ්‍යම පාන්තිකයන් වශයෙන් විග්‍රහ කෙරේ. 2019 වන විට පහළ ආදායම් ලබන කාණ්ඩයේ සාමාන්‍ය ආදායම දැක්වුණේ රුපියල් 30800 ක් ලෙසය. එනම්, පවුලක මාසික ආදායමයි. එසේම ඉහළම ආදායම් ලබන සියයට 30 ක පිරිසගේ සාමාන්‍ය මාසික ආදායම සටහන් වූයේ 145000 ක් වශයෙනි. ඉහත සඳහන් කළ සියයට 40 ක් පමණ වන මැදි ආදායම් ලබන්නන්ගේ මාසික ආදායම දැක්වුණේ රුපියල් 59000 ක් වශයෙනි. 


මෙම කාණ්ඩත්‍රයේ එනම්, ඉහළ, පහළ සහ මැදි ආදායම් කාණ්ඩවලට අයත් පවුල් සහ පුද්ගලයන් කොපමණ ප්‍රමාණයක් සිටින්නේද යන්න ගැන තොරතුරුද ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකිය. ඒ අනුව, 2019 වන විට පහළ ආදායම් ලබන සියයට 30 ට පවුල් දාහත් ලක්ෂ දස දහසක (1710000) ප්‍රමාණයක් අයත් විය. එම පවුල්වල සිටි පුද්ගලයන් ප්‍රමාණය හැට තුන් ලක්ෂ විසි හත්දහසක් (6327000) පමණ විය. මීළඟට මැදි ආදායම් ලබන සියයට 40 ට පවුල් විසි දෙලක්ෂ අසූ දහසක් (2280000) අයත් විය. ඒවායෙහි සිටි පුද්ගලයන් ප්‍රමාණය අසූ හතර ලක්ෂ තිස් හතර දහසක් (8434000) පමණ විය. එසේම ඉහළ ආදායම් ලබන සියයට 20 ඇතුළත පවුල් දා හත් ලක්ෂ දස දහසක (1710000) ට ආසන්න ප්‍රමාණයක් නියෝජනය වූ අතර පුද්ගලයන් ප්‍රමාණය දැක්වුණේ හැට තුන් ලක්ෂ විසි හත් දහසක (6327000) ලෙසය. 


මැදි ආදායම් ලබන්නන් අතර වැඩි වශයෙන් සිටින්නේ රාජ්‍ය අංශයේ සේවකයන්, ස්වයං රැකියාවල නියුක්ත වන්නන් සහ පෞද්ගලික අංශයේ ස්ථිර රැකියාවල නිරත වන්නන්ය. පහළ ආදායම් ලබන කාණ්ඩයේ වැඩි වශයෙන් සිටින්නේ වතු අංශයේ සේවකයන්, දෛනික ආදායම් උපයන්නන් සහ ධීවර ප්‍රජාව යනාදී වශයෙන් අඩු ආදායම් උපයන පිරිස්ය. රාජ්‍ය හා පෞද්ගලික අංශවල ඉහළ නිලතල හොබවන්නන් සහ ඉහළ මට්ටමේ ආදායම් උපයන ව්‍යාපාරික ප්‍රජාව ඉහළ ආදායම් ලබන සියයට 30 ක පිරිසට අයත් වේ. 
2019 වන විට, අඩු ආදායම් ලබන කාණ්ඩයේ පවුලක මාසික වියදම දැක්වුණේ රුපියල් 23000 ක් වශයෙනි. එනම්, එක් පවුලක් මාසිකව වියදම් කළ ප්‍රමාණයයි. මැදි ආදායම් ලබන පවුල් වියදම් කළ මුදලෙහි සාමාන්‍ය රුපියල් 48300 ක් පමණ විය. ඉහළ ආදායම් ලබන කාණ්ඩයේ එක් පවුලක මාසික වියදම දැක්වුණේ රුපියල් 123000 ක් ලෙසය. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මෙම තොරතුරු අවසාන වශයෙන් ප්‍රසිද්ධ කර තිබුණේ 2019 වර්ෂයේදීය. එතැන් සිට මේ දක්වා කාලය ඇතුළත මෙම දත්ත වෙනස් වී ඇත්තේ කෙසේද යන්න විමසා බැලීම වැදගත්ය. ඉහළ උද්ධමනය, විවිධාකාරයේ බදු පැනවීම් සහ ජල, විදුලි, දුරකථන බිල්පත් ඉහළ යෑම් පසුගිය කාලයේදී දැකගන්නට ලැබිණි. එම සන්දර්භයේ මැදි ආදායම් ලබන පවුල්වලට සිදු වූ බලපෑම විමසීම වැදගත්ය. 


මෙරට නිල දරිද්‍රතා මායිම 2021 වන විට දැක්වුණේ රුපියල් 7913 ක් වශයෙනි. එයින් අදහස් වූයේ එක් පුද්ගලයකුට දරිද්‍රතාවෙන් පෙළෙන කාණ්ඩයට නොවැටී මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට එම මුදල අවශ්‍ය වූ බවය. යම් පුද්ගලයකුට එම මුදල මාසිකව වියදම් කළ නොහැකි නම්, ඔහු හෝ ඇය හෝ දරිද්‍රතාවෙන් පෙළෙන කෙනකු ලෙස සැලකිණි. එහෙත් 2022 සැප්තැම්බර් මාසය වන විට එම අගය රුපියල් 13772 දක්වා ඉහළ ගොස් තිබිණි. 2021 වන විට සාමාජිකයන් 4 දෙනකු සිටින පවුලකට මාසිකව ජීවත් වීම සඳහා රුපියල් 31652 ක මුදලක් අවශ්‍ය විය. එහෙත් එම අගය 2022 සැප්තැම්බර් මාසය වන විට රුපියල් 55088 ක් දක්වා වැඩි වී තිබේ. ඒ අනුව, නිල දරිද්‍රතා මායිම ගෙවුණු මාස නවයක කාලය ඇතුළත සියයට 74 න් ඉහළ ගොස් ඇති බව පැහැදිලිය. ඊට සමගාමීව සාමාජිකයන් 4 දෙනකුගෙන් යුත් පවුලකට ජීවත් වීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය ද රුපියල් 31652 සිට 55088 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම වර්ධනය හමුවේ මැදි ආදායම් ලබන කාණ්ඩයට අයත් පවුල් කොපමණ ප්‍රමාණයක් දරිද්‍රතාවෙන් පෙළෙන පවුල් බවට පත් විය හැකිද යන්න විමසා බැලිය හැකිය. එම පවුල්වල ආදායම් වැඩි නොවූවද වියදම් කිරීමේ අවශ්‍යතාව විශාල වශයෙන් වැඩි වූ නිසාය. 


මැදි ආදායම් ලබන කාණ්ඩයේ සිටින සියයට විස්සක පමණ ප්‍රතිශතයක් පසුගිය මාස නවයක කාලය ඇතුළත දරිද්‍රතාවෙන් පෙළෙන කාණ්ඩයට එකතු වී තිබේ. එනම්, පවුල් ලක්ෂ 11 ක ප්‍රමාණයක් අඩු ආදායම්ලාභී පවුල් බවට පත්ව ඇත. එම පවුල්වලට අයත් පුද්ගලයන් ප්‍රමාණය ලක්ෂ 21 කට අධිකය. 


මෙවැනි තත්ත්වයක් උද්ගතව තිබියදී රජය ඉහළ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළේය. ඉකුත් කාලයේදී වක්‍ර බදු අය කරන ප්‍රමාණය වැඩි කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ ගිය අතර පුද්ගලයන්ගේ මිලදී ගැනීමේ හැකියාව ද විශාල වශයෙන් පහළ යෑමක් දක්නට ලැබිණි. එසේවුවත් මැදි ආදායම් ලබන්නන්ගේ ආදායම් වැඩිවීමක් සිදු නොවුණි. ප්‍රවාහන වියදම්, ජල, විදුලි සහ දුරකථන ගාස්තු ඉහළ යෑම නිසා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ සිටි බහුතරයකගේ රැකියා අහිමි වූ අතර ස්වයං රැකියාවල නියුතු වූ විශාල පිරිසක් ඒවායෙන් ඉවත් වූහ. දිනෙන් දින ඉහළ යන උද්ධමනය සහ එහි අතුරු පිරිවැය, අමුද්‍රව්‍ය පිරිවැය යනාදී තත්ත්ව ඊට බලපෑවේය. එහි ප්‍රතිඵලයක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල රැකියාවල නියුතු වූ බොහෝ පිරිසකට ඔවුන්ගේ රැකියා ද අහිමි විය. 


පෞද්ගලික අංශයේ කර්මාන්ත පසුගිය කලයේදී ක්‍රියාත්මක වූයේ අසීරුතා මධ්‍යයේය. විශාල කර්මාන්තශාලා යම් මට්ටමකට ක්‍රියාත්මක වුවද සුළු කර්මාන්තශාලා බොහෝ ප්‍රමාණයක් වසා දැමිණි. එබැවින් ඒවායෙහි සේවය කළ විශාල පිරිසකට ද රැකියා අහිමි විය. එම සන්දර්භයේ එවැනි පවුල්වලට ඔවුන්ගේ එදිනෙදා වියදම් බොහෝ සෙයින් සීමා කිරීමට සිදු වන තත්ත්වයක් නිර්මාණය විය. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී නගරවල පාසල්වලට ඇතුළත් කෙරුණු ළමයින් විශාල පිරිසක් එම පාසල්වලින් ඉවත් කරවාගෙන යළි ග්‍රාමීය පාසල්වලට ඇතුළත් කරන තත්ත්වයක් ද උද්ගත විය. ඊට හේතු වූයේ එවැනි දරුවන් සඳහා දැරිය යුතු වියදම් දැරීමට ඔවුන්ගේ මවුපියන් අපොහොසත් වීම නිසාය. 
මෙවැනි තත්ත්වයක් ඇති වූයේ ප්‍රධාන කාරණා තුනක් නිසාය. උද්ධමනයෙහි සිදු වූ අඛණ්ඩ ඉහළ යෑම එකකි. 2022 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කොළඹ පාරිභෝගික මිල දර්ශකය හා ජාතික පාරිභෝගික මිල දර්ශකය මගින් පෙන්නුම් කළේ මෙරට භාණ්ඩ මිල ගණන්හි සිදුවූ අධි මිල ඉහළ යෑමයි. ආහාර කාණ්ඩයේ උද්ධමනය ශීඝ්‍ර ලෙස ඉහළ යෑම සිදු විය. එය ජනතාවට දැරිය නොහැකි මට්ටමක් කරා ගමන් කළේය. රුපියලේ අගය ද තවත් පිරිහුණි. දෙවැන්න වක්‍ර බදු අනුපාතය ඉහළ දැමීමය. ඒත් සමගම භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යෑම සිදු විය. එමගින් සිදු වූයේ ඉහළ, මැදි සහ පහළ ආදායම් ලබන සියලු දෙනා පීඩනයට ලක් වීමය. මෙම පසුබිමේ රජය ඍජු බදු සංශෝධනයකට සූදානම් වන බව පෙනෙන්නට තිබේ. ඊට අදාළ පනත් කෙටුම්පත් මේ වන විට සකස් කර ඇති අතර මේ වසරේ දෙසැම්බර් වන විට ඒවා ක්‍රියාත්මක කරන අදහසින් රජය කටයුතු කරන ආකාරයක් ද දැකිය හැකිය. මාසිකව රුපියල් ලක්ෂය ඉක්මවන දළ ආදායමක් ලබන අය බද්දකට යටත් කිරීම ද එහි එක් පියවරකි. එමගින් මධ්‍යම පාන්තිකයන්ට දැඩි බලපෑමක් එල්ල වන බව මගේ අදහසයි. රුපියල් ලක්ෂයක් වැය කර අද මිලට ගත හැක්කේ සීමා සහිත භාණ්ඩ ප්‍රමාණයකි. මා ඉහතදී සඳහන් කළේ මේ වන විට මධ්‍යම පන්තිය නියෝජනය කරන සියයට 40 ක පිරිසෙන් සියයට විස්සක් මේ වන විටත් අඩු ආදායම්ලාභීන් බවට පත්ව ඇති බවය. මේ සෘජු බදු සංශෝධන නිසා ඉතිරි සියයට විස්සක පිරිසට ද දැඩි බලපෑමක් එල්ල වනු ඇත. වෛද්‍ය, ඉංජිනේරු ආදී වෘත්තීන්වල නිරත ඉහළ ආදායම් ලබන්නන් රට හැර යන ප්‍රවණතාව ද තවත් වැඩි වනු ඇත. 


තුන්වැනුව ඉහළ පොලී අනුපාතිකයක් පැවතීමය. පසුගිය කාලයේදී මෙරට ඉහළ පොලී අනුපාතිකයක් ක්‍රියාත්මක විය. ආර්ථිකයේ සේවා අංශයේ ව්‍යාපාරවලට එයින් දැඩි බලපෑම් ඇති විය. පොලී අනුපාත ඉහළ දැමීම නිසා ණය අරමුදල් ලබා ගැනීම සම්බන්ධ ප්‍රශ්නවලට ඔවුහු මුහුණ දුන්හ. ඉහළ පොලී අනුපාතිකයක් යටතේ ගන්නා ණය ආයෝජනය කිරීමෙන් ලබන ලාභය පොලී අනුපාතිකයට වඩා වැඩි විය යුතුය. එහෙත් එවැනි ඉහළ ලාභ අනුපාත ලබා ගත හැකි වාතාවරණයක් මෙරට ආර්ථිකයේ නොමැත. අධි උද්ධමනය, ඍජු බදු ඉහළ නැංවීම සහ ඉහළ පොලී අනුපාතිකයක් ක්‍රියාත්මක වීම යන කාරණා තුන මත රටේ ආර්ථිකයත් සමාජයත් දැඩි පීඩනයකට ලක්ව ඇති ස්වරූපයක් පෙනෙන්නට තිබේ. 


මේ කාරණා ත්‍රිත්වය සැලකිල්ට ගෙන ඉදිරි වර්ෂය සැලසුම් කිරීම රජයේ ප්‍රධාන වගකීමකි. එහිදී ඉහළ යන උද්ධමනය පාලනය කිරීමත් බදු සංශෝධන සිදු කිරීමේදී වක්‍ර බදු අඩු කර හැකි පමණින් ජනතාවට සහන සැලසීමත් පොලී අනුපාතිකය අවම මට්ටමකට ගෙන එමින් රටේ ව්‍යාපාරික පරිසරය නිවැරදි දිශාවකට යොමු කිරීමත් වැදගත්ය. 

 

 

සටහන 
උපුල් වික්‍රමසිංහ