පොඩි අක්කේ .. මගෙ ළඟට එන්නකො .. අයියා නැති හින්දා මට හරි පාළුයි ..


අලු‍ත් අවුරුද්දක් උදාවන්නේ හැම කෙනෙක් තුළම නැවුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඇති කරවමිනි. එය හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්කර ගන්නට හැම දෙනෙක්ම කැමතිය. අනාගතයේ පල නෙළා ගැනීමේ අරමුණින් පැළ සිටුවන අය ද, නරක පුරුද්දකින් අත්මිදෙන අය ද, අලු‍ත් කාර්යයන් ආරම්භ කරන අය ද සිටින්නේ එම නිසාය. එහෙත් දිනේෂිට නම් දැනුනේ ඊයේ මිය ගොස් අද ඉපදුනේ අලු‍ත් අවුරුද්දක් නොව පරණ අවුරුද්දම බවය.

මින්පසු එළඹෙන හැම අවුරුද්දක්ම ගත කරන්නට වෙන්නේ අම්මා සහ ලොකු මල්ලීත් ගෙදර නැතිව නොවේදැයි සිහිපත් වෙද්දී ඇගේ පපුව පිළිස්සෙන්නට පටන් ගත්තේය. දවසින් දවස ඔවුන්ගෙන් ඈත්වෙමින් තමන්ගේ ලෝකයක ජීවත් වෙන තාත්තාගේ රැකවරණය ද ඉදිරියට බලාපොරොත්තු විය නොහැකිය. සියල්ලටම වඩා ඇගේ සිත දවමින් තිබුණේ සකුණ අහිමි වෙනු ඇතැයි සාංකාවය. සඳසීලී නැන්දා සමඟ කළ කතාබහින් පසුව ඇගේ සිතින් පන්සල් යාමේ ආශාව පවා ගිලිහී ගියේය. අම්මා සමඟ හෝ කතාබහ කර සිත සැහැල්ලු‍ කර ගන්නා අටියෙන් ඇය පහන ළඟට ගොස් බොහෝ වේලාවක් වැඳගෙන සිටියාය. එහෙත් ඇය ආවේ නැත. දෑස් පියාගෙන මතකයේ ඇති සියලු‍ම ගාථා කියමින් සිටි දිනේෂි වරින්වර දෑස් හැර පිච්ච පඳුර දෙස බැලු‍වාය. එහි කොළයක් හෝ නොසෙල්විණි. 


“දිනූ පන්සල් යනවානම් අපිත් එක්ක යන්න පුළුවන්.. අපි රෑ දහයට විතර යනවා.” 
සඳසීලී නැන්දා වැට අද්දරට පැමිණ පැවසුවේ දිනේෂි දොම්නස පුරවා ගත් සිතින් යුතුව පහන ළඟින් මෑත් වෙද්දීය. ඇය හිස නඟා වහා බැලු‍වේ සකුණත් අහළ පහළ සිටින්නේදැයි දැන ගන්නටය. දිනය පුරාම ඔහුගේ සලකුණක්වත් දකින්නට ඇයට නොහැකි විණි. 


“පන්සල් යන්න තාත්තා එනකම් ඉන්න කිව්වා නැන්දා.” 
තාත්තාගේ පොරොන්දු ගැන වැඩි විශ්වාසයක් නැත්තේ වුවත් ඇය පැවසුවාය. 
“ආ.. එහෙමනම් කමක් නෑ... අපේ ඉලන්දාරියත් උදේ ගිය ගමන් තවම ගෙදර ආවෙ නෑ.. යාළුවෙකුගේ ගෙදර ගිහින් එහෙමම රෑ පන්සලට එනවා කිව්වා.” 
දිනේෂි නොඅසා සිතේ රඳවාගෙන උන් පැනයටත් පිළිතුරු දුන් සඳසීලී ආපසු හැරී ගියාය. යාළුවා නිත්‍යාදැයි අසන්නට සිතට දැනුණ පෙලඹවීම ඇය මැඩගත්තේ ආයාසයෙනි. එහෙත් සියුම් ඊර්ෂ්‍යාවක් මෙන්ම අසරණ බවක් ද සිතට පිවිසෙනු වළක්වා ගත නොහැකි වූයේය. 
“අනේ අක්කා.. මට නම් රෑ පන්සල් යන්න බෑ..” 
පන්සල් යන්නට ඇහැරී සිටින ලෙස කී විට නිසංක ඇඳට පැන ගත්තේ එසේ කියමිනි. ඔහු වළක්වන්නට දිනේෂිට හැකියාවක් නොවිණි. 
“පොඩි අක්කේ.. මගෙ ළඟට එන්නකො.. අයියා නැති හින්දා මට හරි පාළුයි..” ඊළඟට ඔහු කෑ ගසන්නට වූයේය. 


සිය පපුව ඇවිළීගෙන යනවා දිනේෂිට දැනිණි. ලොකු මල්ලී ගෙදර සිටින අවස්ථාවල කොයි මොහොතේ හෝ ඔහු සමඟ ගැටුමක් ඇති වෙනු ඇතැයි බිය මිසක් බාහිරින් එළඹෙන උවදුරු පිළිබඳ බියක් ඇයට තිබුණේ නැත. එහෙත් මේ අවස්ථාවේ ඇය සිටියේ අනාරක්ෂිත හැඟීමකින් පීඩා විඳිමිනි. 
“ඔව් අක්කෙ.. අද පන්සල් යන්න බෑ.. අපි හෙට උදේම යමු.. තාත්තා කීයට එයි ද කියලා දන්නෙත් නෑනෙ..” කියමින් අනුෂි ද ඇඳට ගියාය. 


දිනේෂි සෑහෙන වේලාවක් සාලයට වී සිටියාය. අසල්වැසියන් පන්සල් යන බැව් ඇසෙද්දී ඇගේ සිතට දැනෙන්නට වූ වේදනාවත්, තනිකමත් අසීමිතය. එම නිසාම ඇය ද ඇඳට ගොස් නංගීත්, මල්ලිත් අසළින් වැතිරුණාය. නිසංකට ඇගෙන් කතන්දරයක් අහගන්නට ද වුවමනා විණි. කතන්දරය කියමින් සිටියදී කුමන මොහොතක හෝ ඇයට නින්ද යන්නට ඇත. ඇය නැවත වරක් ඇහැරුණේ පරිසරය දෙදරවාගෙන, කනුත් රිදුවාගෙන ඇසෙන රතිඤ්ඤා හඬටය. ඇගේ සිත වේගයෙන් ගැහෙන්නට වූයේ ඒ හඬවල් එන්නේ කොතැනකින්දැයි හරි හැටි නිශ්චය කරගන්නට මඳ වේලාවක් ගත වූ නිසාය. අම්මාත්, තාත්තාත්, ලොකු මල්ලීත් තිදෙනාම නැති නිවසටත් අලු‍ත් අවුරුද්දක් උදාවී තිබෙන්නේ නොවේදැයි ඇයට සිතිණි. ඇය දිගු සුසුමක් හෙළා ඇඳෙන් නැගිට්ටාය. ගමේ සතර අතින්ම රතිඤ්ඤා පුපුරමින් තිබිණි. තමා ඇරෙන්නට සියල්ලන්ම අලු‍ත් අවුරුද්ද සතුටින් පිළිගන්නේ නොවේදැයි ඇය සිතුවාය. ඇගේ ඇස්වල කඳුළු පිරිණි. 
ගෙයි හැම තැනම විදුලි පහන් දැල්වෙමින් තිබුණේ ඇය ඇඳට ගියේ තාත්තා ආවාට පසු අවදිවීමේ බලාපොරොත්තුව ඇතිව නිසාය. මේ තරම් වේලාවක් නින්ද යාම පිළිබඳව ඇයට පසුතැවිල්ලක් දැනෙමින් තිබිණි. 


“මට කලින්ම නින්ද ගියානෙ.. තාත්තා ඇවිත් කතා කෙරුව ද දන්නෙත් නෑ..” 
මුමුණමින් ඇය ඉස්තෝප්පුවේ දොර විවර කළාය. එහෙත් තාත්තා පැමිණ සිටියේ නැත. දිනේෂිගේ සිත කඩාවැටිණි. සියලු‍ දෙනාම තමා තනිකර ඇතුවා නොවේදැයි ඇයට සිතිණි. ඇය සිරුර හිරි වට්ටන සීතල සුළඟ ගැන නොතකමින් මිදුලට බැස්සාය. ගමේ තැන්තැන්වලින් යවනු ලබන අහස් කූරු ඉහළ අහසේදී පුපුරා ගියේ තරු කඩා හැලෙන්නාක් බඳු දර්ශනයක් මවා පාමිනි. එහෙත් කුමක්දෝ දුකක් මිසක් ඇගේ සිතට චමත්කාරයක් දැනුණේ නැත. 


ඇය සකුණගේ නිවස දෙස බැලු‍වාය. එහි කිහිප දෙනෙකු කතා කරන හඬවල් හා සිනා හඬවල් ඇසෙමින් තිබිණි. පොඩි ළමයින් දෙදෙනෙක් මිදුලට බැස නිලා කූරු පත්තු කරන්නට වූයේ බොහෝ සතුටින් සිනාසෙමිනි. අහස් කූරු දෙකතුනක් ද එහි සිට අහසට නඟිනු ඇය දුටුවාය. සඳසීලී නැන්දලා පන්සලේ සිට එද්දී නෑදෑයන් හෝ මිතුරන් කිහිප දෙනෙකු ඔවුන් සමඟ එන්නට ඇත. ඒ අතර නිත්‍යා හා ඇගේ පවුලේ අයත් ඉන්නවා ඇද්ද..? රාත්‍රියේ තනිව මිදුලට නොබසින ලෙස අම්මා මෙන්ම සකුණත් අවවාද කර තිබූ බැව් අමතක කළ දිනේෂි සෙමින් වැට ආසන්නයට ගියේ ඒ බැව් සැක හැර දැන ගන්නටය. කවුදෝ යුවතියක් සමඟ කතාබහ කරමින් මිදුලට බට සකුණ දුටු විට දිනේෂිගේ සිත හෝස් ගා දැවී ගියේය. ඔහු ඇයට නිලා කූරක් ද පත්තු කර දී ගෙතුළට ගියේය. 


“හැමෝම සන්තෝසෙන්.. මම විතරයි දුකෙන්..” 
දිනේෂි ඇස්වලින් ගලා හැලෙන කඳුළු දෑතින්ම පිසලා ගනිමින් මුමුණා ගත්තාය. ඇයට යාන්තම් සහනයක් දැනුණේ ඒ නිත්‍යා නොවන බැව් පසක් කර ගත් විටය. එහෙත් අඳුරට වී එදෙසම බලා සිටියා මිස ගෙතුළට යන්නට ඇයට හිත දුන්නේ නැත. 
සකුණගේ නිවසේ පිටුපස විදුලි පහන නිවී ගියේය. එවිට වැට අද්දර පෙදෙස ද අඳුරු වූයෙන් මෙතෙක් නොවූ බියක් දිනේෂිගේ සිතට ඇතුළු වූයේය. ඇය වහා ආපසු හැරුණේ ආලෝකය ඇති පෙදෙසට යන්නටය. පිච්ච වැල සෙලවෙමින් ඊට ඉහළින් සුදු පැහැති වලාකුළක් බඳු ඡායාවක් පාවෙනු ඇය දුටුවේ එවිටය. ඇගේ සිත ගැස්සුණේ දරා ගත නොහැකි සොම්නස නිසාය. අම්මා.. ඇය පැමිණ ඇත්තේ වුවමනාම මොහොතේ නොවන්නේ ද..? දිනේෂි පිච්ච පඳුර ළඟට ගියා නොව ඉගිලු‍ණාය. 
“අම්මා.. ඔයා එයි කියලා මම හවසත් හුඟක් වෙලා බලාගෙන හිටියා.. ඇයි ඔයා හුඟක් දවසකින් ආවෙ නැත්තෙ..?” 


ඇය විමසුවේ නොඉවසිල්ලෙනි. 
“ලොකු දුව පහන ළඟට ගිහින් ඇස් පියාගන්න..” 


අම්මාගේ නොවන රළු කටහඬ ඇයට අණ කළේ ඇගේ පැනය නෑසුණාක් මෙනි. දිනේෂි වහා ඒ අණ ඉටු කළාය. සවස පූජා කරන ලද පිච්ච මල්වල සුවඳ පමණක් නොව වෙනත් සුවඳක් ද ඇගේ නාසය විනිවිද ගියේය. ඒ අම්මාගේ ආත්මයේ සුවඳ විය යුතු යයි ඇය අනුමාන කළාය. 
“ලොකු දුව මේ මහ රෑ මිදුලට බැස්සෙ මොනවටද..? මම කියලා තියෙනවා නේද රෑ තිස්සෙ තනියම එහෙ මෙහෙ යන්න එපා කියලා..?” අම්මා තදින් ඇසුවාය. 


දිනේෂි තදින් තොල සපා ගත්තේ වරදක් කළේයයි හැඟීම සිත පෙළන්නට වූ නිසාය. 


෴ ලබන සතියට ෴