පාඨකයන් වැළඳගත් ජනප්‍රිය නවකතාව


 

සිංහල නවකතාවට ජනප්‍රිය මුහුණුවරක් දුන්නේ පියදාස සිරිසේන යැයි විචාරකයෝ කියති. 1906 සිට 1942 දක්වා කාලය පුරාවට සිය ජනප්‍රියත්වය රැකගෙන සිටි ඔහු බණ කතාවටත් ජනකතාවටත් හුරු වී සිටි පාඨකයා නවකතාව වෙත කැඳවාගෙන ගියේය. කොටින්ම ඔහු ඩබ්ලියු. ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ,  පවා ඉක්මවා අසීමිත ජනප්‍රියත්වයක් දිනාගත් බව කියති. ඔහුගේ ‘ජයතිස්ස සහ රොසලින්’ නවකතාව වසර දහයක් ඇතුළත පිටපත් 25000 ද ඉක්මවා අලෙවි වූ බව පැවසේ.


ජනප්‍රිය නවකතාව යනු ජීවිතය පිළිබඳ ගැඹුරු කියවීමකින් තොරව ප්‍රබල දේශපාලන හා සමාජ කියවීමකින් ද තොරව හුදු කතා රසයක් පමණක් දෙන ප්‍රබන්ධයක් බව පවතින අදහසයි.  මෙහිදී ආදර කතා, රහස් පරීක්ෂක කතා, විද්‍යා ප්‍රබන්ධ, ත්‍රාසජනක කතා යන සියලු ශානරයන් ජනප්‍රිය සාහිත්‍ය කුලකයට එක් කරන්නට බටහිර විචාරකයෝ පෙළඹුණහ. තව දුරටත් සවිස්තරව පවසන්නේ නම්, යුද්ධය, කිසියම් යුගයක්, චරිතයක අඳුරු හෝ සොඳුරු පැත්තක්, ඝාතන අබිරහසක් ආදී තේමාවන් පසුබිම් කරගෙන ලියන ප්‍රබන්ධ ජනප්‍රිය සාහිත්‍යය යටතට ගැනේ.


ලංකාවේ  පියදාස සිරිසේන ඇරඹූ ජනප්‍රිය නවකතාව ඉදිරියට රැගෙන ගියේ ඩීමන් ආනන්ද ය. පිටු සීයක දෙසීයක පමණ කුඩා ප්‍රමාණයේ පොත් ලියූ ඩීමන්ගේ කතා තේමාවන් වූයේ අපරාධ, රහස් පරීක්ෂණ ආදියයි. ඒ ඔස්සේ අසීමිත පාඨක පිරිසක් ග්‍රහණයට ගත් ඔහු ලියූ පොත් ගණන දහසද ඉක්මවී යැයි  කියති.  
මේ අතර ජනප්‍රිය නවකතාවේ තවත්  ශානරයක් ආරම්භ කළේ  කරුණාසේන ජයලත්ය. යොවුන් ආදරය තේමා කරගෙන එතෙක් ලංකාවේ කියවන්නට නොතිබූ අන්දමේ වෙනස්ම කියැවීමකට පාඨකයා හුරු පුරුදු කළේ  ජයලත්ය. එනිසාදෝ ජයලත් ලියූ ‘ගොළු හදවත’ නවකතාව 1962 වසරේ විශිෂ්ටතම නවකතාව ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පවා පිදුම් ලැබුවේය.


‘ගොළු හදවත’ අදටත් පාඨකයන් මහත් අභිරුචියෙන් කියවන අන්දමේ නවකතාවකි. නැත්නම් ජනප්‍රිය නවකතාවකි. එයද ඇතුළුව ජයලත් ලියූ අනෙකුත් නවකතා කිහිපයද දශක පහකට පමණ පසුවත්  තවමත් වෙළෙඳපොළෙන් සමුගෙන නැත. 


ජයලත් ආරම්භ කළ මේ ප්‍රේම කතා රැල්ලේ ඉනික්බිති බොහෝ ලේඛකයෝ ගසාගෙන ගියෝය.  කුමාර කරුණාරත්න, එඩ්වඩ් මල්ලවආරච්චි, උපාලි වනිගසූරිය, ජයකොඩි සෙනවිරත්න, නිව්ටන් ගුණසේකර, මිත්‍රසේන ජීරසිංහ, විමල් තිලකරත්න, තොම්සන් ඒ. වැන්දබෝනා, ලක්ෂ්මන් මල්ලවආරච්චි වැනි ප්‍රමුඛ ලේඛක පිරිසක් ඒ අතර සිටියේය. ගුණදාස ලියනගේ පවා මුළු හදින් මම ඇයට පෙම්කොට නවකතාව ලියමින් ජනප්‍රිය රැල්ලට එකතුවිය.


දයාවංශ ජයකොඩි සමාගම මෙන්ම පුබුදු ප්‍රකාශන ආයතනයද  එකල බොහෝ ප්‍රේමණීය නවකතා පළකළහ. ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම වැනි නළුවන් පවා එකල පුබුදු පොත් සමග පාඨක ලෝකයේ හපන්කම් දැක්වූහ.


සාමාන්‍යයෙන් එකල පළවූ පොතක පළමු මුද්‍රණය   පටන්ගන්නේම පිටපත් තුන්දහසකිනි. ඒ අනුව එක රැල්ලට පිටපත් දස දහසක්වත් අලෙවිවීම එකල සාමාන්‍ය තත්වයකි. 
පුවත්පත් පිටු අතරටද  නවකතාව එක්වන්නට පටන්ගත්තේ ඔය අතරය. විශේෂයෙන් කාන්තා පත්තරවලත් සති අන්ත ජාතික පත්තරවලත් කොටස් වශයෙන් පළවන නවකතාවක් විශේෂාංග අතර ප්‍රධාන අංගයක් බවට පත්විය.


සති අන්ත ජාතික පුවත්පතක පළමුවෙන්ම පළ වූයේ අනුල ද සිල්වා ලියූ ‘උන්මන්තකයෝ’ නමැති නවකතාව යැයි ඇය වරක් පැවසුවාය. කෙසේ වෙතත්  ආරම්භක යුගයේ සිටි පුවත්පත් නවකතාකරුවන් අතර වඩාත්ම ජනප්‍රියත්වයට පත්වූ ලේඛකයන් වූයේ කුමාර කරුණාරත්න, එඩ්වඩ් මල්ලවආරච්චි, නිව්ටන් ගුණසේකර සහ ජයකොඩි සෙනෙවිරත්නය. 


එකල පුවත්පතක අලෙවිය යම් තරමකින් අඩුවන්නට පටන්ගත් විගස කතුවරුන් කරන්නේ අලු‍ත් ජනප්‍රිය නවකතාවක් පටන්ගැනීමය. එහිදී බොහෝවිට අවධානය යොමුවූයේ පෙර කී ලේඛකයන්ටය. ඒ සමගම ඒ පත්තරයේ අලෙවිය වැඩිවන්නේ නොසිතූ විරූ ලෙසය. 
මුල් යුගයේ ලංකාවේ පැවතියේ සිළුමිණ රිවිරැස සහ ශ්‍රී ලංකාදීප යන ජාතික පුවත්පත් තුන පමණි. මේ පුවත්පත් තුනේම කොටස් වශයෙන් පළවන නවකතාව අනිවාර්ය අංගයක් වූයේ එබැවිනි.

 


ජයකොඩි සෙනෙවිරත්න රමණි නවකතාව ලිව්වේ සිළුමිණටය. එම නවකතාව පළවෙද්දී සිළුමිණේ අලෙවිය වැඩි වූ බව ඔහු සිය පන්හිඳක අස්වැන්න නම් කෘතියෙහිද සඳහන් කර ඇත. රතුරෝස, සහෝදරියෝ වැනි නවකතා පළවෙද්දී ද සිළුමිණේ අලෙවිය වැඩි වූ බව කුමාර කරුණාරත්න ද මා සමඟ  කියා ඇත. කරුණාදාස සපුතන්ත්‍රී  සිළුමිණට ගංගා නවකතාව ලියද්දීද පත්තරයේ අලෙවිය වැඩි වූ බව ගංගා පොතේ පෙරවදනේ සටහන්ව තිබූ බව මට මතකය. 
එසේම මේ ආදර කතා නිසා සමහර මව්වරුන් පියවරුන් ඒ පත්තර තම ගෙවල්වලට ගෙන නොඒමටද තීරණය කළ බවද කියති. හේතුව ඔවුන්ගේ තරුණ දූවරුන්ට එම ආදර කතා වැරදි ආදර්ශ සපයාවි යන බිය නිසාය. 
සුරූපි පාසල් යුවතියක බස් රියදුරකු සමග පෙම් සබඳතාවක් පවත්වන කතාවක් එක් පුවත්පතක පළවන කාලයේ බස් රියදුරන්ට පාසල් යුවතියන්ගේ ඇල්ම බැල්ම වැටුණු බවද මා අසා ඇත. 


එකල කාන්තා පත්තර රැසක්ද විය. තරුණි, වනිතා විත්ති,  සිරිකත ආදී වශයෙනි. පසුව බිරිඳ, රැජින, නවලිය ආදී වශයෙන් තවත් කාන්තා පත්තරද බිහිවූ අතර, මේවායේ ද කොටස් වශයෙන් පළවන නවකතාව අනිවාර්ය අංගයක් විය. ඇතැම් පත්තරයක නවකතා දෙකක් පළ වූ අවස්ථාද තිබිණි. සුමිත්‍රා රාහුබද්ධ, සෝමාදේවි පරණයාපා, ස්වර්ණලතා කිරිවත්තුඩුව, ශාන්ති දිසානායක, චන්ද්‍රා වීරසිංහ, චන්දි කොඩිකාර, සුගත් ශාන්ත මොරගහකුඹුර  යන නම් වැඩි වශයෙන්ම අපට හමු වූයේ කාන්තා පත්තර අතරිනි. 
ශ්‍රී සඟරාව ද නවකතා පළ කළ සඟරාවකි. එහි පළ වූ මහ දිග කතාව පාඨකයා බොහෝ සේ ආදරය කළ විශේෂාංගයකි. සුනේත්‍රා රාජකරුණානායක ලේඛිකාව බිහිවූයේ ඒ හරහා බව මගේ කල්පනාවයි.


හැත්තෑව දශකයේ ලංකාවේ පුවත්පත් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදුවිය.  සමතල මුද්‍රණය නැතහොත් ඕප්සෙට් මුද්‍රණ ක්‍රමය ප්‍රචලිතවීමත් සමග ඉතා අලංකාර ලෙස පුවත්පත් මුද්‍රණය කිරීමේ හැකියාව ලැබිණි. ඒ සමගම නානාප්‍රකාර පුවත්පත් පළවන්නට පටන්ගත්තේය. විවිධ නම් ගත් චිත්‍රකතා පත්තර සේම කොටස් වශයෙන් පළවූ නවකතා පමණක් පළ කළ පත්තරද බිහිවිය. යුවතියන් ඉලක්ක කරගත්  බොහෝ පුවත්පත් පළවීම ඇරඹුණේද මේ යුගයේය. කුමරි, යුවතියන් වෙනුවෙන් පළවූ පළමු පුවත්පත වූ අතර එහි   නවකතා කිහිපයක්ම පළ විය.   මේ නිසා අලු‍ත් ලේඛක පිරිසක් එම පුවත්පත හරහා බිහිවිය. ප්‍රණීත් අබේසුන්දර, ධර්මරත්න පෙරේරා, චන්ද්‍රා වීරසිංහ, කුමාර සිරිවර්ධන, ප්‍රදීප් කුමාර බාලසූරිය, උපුල් ශාන්ත සන්නස්ගල, පුෂ්පා රෝහිණී රාජගිරිය, මයිකල් ඇන්ජලෝ, ‘කුමරි’ සමග කරලියට ආ ප්‍රමුඛතම නවකතාකරුවන්ය. 
කුමරි පත්තරය ලද අසීමිත ජනප්‍රියත්වයත් සමග තව තවත් බාලිකා පත්තර බිහිවූ අතර යුවති, අරලිය, සුවඳ සඳරේණු, නිර්මල, පිවිතුරු, ඉන් සමහරකි. මේ පුවත්පත්වලින් තවත් අලු‍ත් ලේඛක ලේඛිකාවෝ රැසක්  බිහිවූහ. අර්නස්ට් වඩුගේ, චන්දි කොඩිකාර, චමිලා රුවන් කුමාරි. සුජීව ප්‍රසන්න ආරච්චි, ගාමිණී වාසලසූරිය, තරංගා දිසානායක, මොනිකා පුෂ්පකුමාරි, ලලිත් රෝහිත එදිරිසිංහ,  උපාලි බණ්ඩාර වීරසේකර, ගංගා ෂයිනි ගමගේ, මනෝරි සිලිකා වික්‍රමආරච්චි, නිමල්කා පෙරේරා, සුරේඛා නිල්මිණි ඉලංකෝන්.  ජයන්ත කළුපහන ඇතුළු ලේඛක ලේඛිකාවන්  රැසකගේ නම් ඒ අතර වේ. 


පසුව මේ පුවත්පත්වල පළවූ නවකතා, පොත් ලෙස මුද්‍රණය කර එළිදැක්වීමට මල්පියලි ආයතනය කටයුතු කළ බැවින්,  ජනප්‍රිය නවකතාකරුවෝ රැසක්ම ලේඛන ලෝකයට සම්ප්‍රාප්ත වූහ.  යෞවන සමින්ද  රත්නායක, ගයනා එස්. ලක්මාලි, රමණි බුලත්සිංහල, වත්සලා කරුණාරත්න,  පවනි උමයංගනා ඇතුළු ලේඛක ලේඛිකාවෝ  පිරිසක්ද පසුකාලීනව ජනප්‍රිය නවකතා ලියන්නට එක්වූහ.


මීට දශකයකට පමණ පෙර සිට  නවීනතම පහසුකම් සහිත ජංගම දුරකථන ප්‍රචලිතවීමත් සමඟ ලෝකයේ සිදුවූයේ දැවැන්ත විප්ලවයකි. එතෙක් ජනප්‍රිය අංගයක්ව පැවැති විවිධාකාර ටැබ්ලොයිඩ් පත්තර කෙමෙන් අභාවයට යන්නට පටන්ගත්තේය. ඒ වෙනුවට මුහුණුපොත නමැති ජනප්‍රිය අංගය දුරකථනයට පැමිණි අතර එදා පත්තරවලින් මිහිර සෙවූ උදවිය මුහුණුපොතේ සැරිසරන්නට පටන් ගත්හ. සමහරු නවකතා ලියා මුහුණු පොතට මුසු කළ අතර ඒ හරහා වෙනස්ම ලේඛක පිරිසක් ගොඩනැගුණි. නවකතා අරණ, අහස් වියන, සිතුවිලි නිම්නය  වැනි විවිධ නම්වලින් හැඳින්වෙන  ෆේස් බුක් පිටු රැසකි. ඒ හරහා බිහි වූ ලේඛිකාවන්ද රැසකි. 


මේ වන විට එලෙස බිහිවුණු ලේඛිකාවන්ගේ නවකතා ද පොත් වශයෙන් මුද්‍රණය වෙමින් පවතින නිසා නවකතා ලෝකයේ සිදුව ඇත්තේ දැවැන්ත විප්ලවයකි. කලින් ජනප්‍රිය සාහිත්‍යයට අරක් ගෙන සිටි ඇතැම් ප්‍රවීණ ලේඛකයන්ට නවකතා කලාවෙන් සමුගන්නට පවා සිදුවී තිබෙන්නේ මුහුණු පොතේ ලේඛිකාවෝ වෙනස්වන තරුණ සිතුම් පැතුම් අපූරුවට ගවේෂණය කරන නිසාය. මෙතෙක්  කලක් ලේඛකයන්ට අතපත ගාන්නට නොහැකි වූ විෂයයන් සහ තේමාවන්  ගැන මේ තරුණ ලේඛිකාවෝ අපූරුවට කතාකරති. 
මේ දවස්වල වැඩියෙන්ම ජනගත වන්නේද මෙකී ෆේස් බුක් ලේඛිකාවන්ගේ නවකතාය. ඔවුන්ගෙන් සමහරෙකුගේවත් නම් සඳහන් නොකළහොත් එය වරදකැයි සිතමි.   චිරංජි රණතුංග, චේතනා ද සිල්වා, ලයන්ති නානායක්කාර, දිල්රුක්ෂි ගමගේ, අරලියා පෙරේරා ඉන් සමහරෙකි. ඇතැමුන් ලියන්නේ නොහඳුනන්නී, අංකිත් අක්ෂර වැනි අන්වර්ථ නම් වලිනි.


මෙහි වැඩිවශයෙන් ලියැවුණේ ආදර කතා පිළිබඳවය. නමුත් ඇතැම් නවකතාවක ආදරය, ත්‍රාසය වැනි සියලු‍ හැඟීම් එකට කැටිකර තිබෙනු දැකිය හැකිය.
මේ අතර විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයටද අලු‍ත් කෘති එකතුවෙමින් තිබේ.


මේ අනුව බලනවිට අදත් ජනප්‍රිය  නවකතා ශානරය සිංහල සාහිත්‍යයේ  ඉහළින්ම සිටින බව පෙනේ.  ජංගම දුරකථනය නැතිනම් ඩිජිටල් ලෝකය ආක්‍රමණය කළත් ජනප්‍රිය නවකතාවට තිබූ තැන එහෙමමය.   එදා දුම්රියේ බස් රියේ  පොත් දිග ඇරගෙන කිය  වූ නවකතා අද කියවනු දකින්නේ ජංගම දුරකථනය හරහා ෆේස් බුක් පිටුවලිනි. 
කෙසේ වෙතත්  ජනප්‍රිය නවකතාවට සම්භාව්‍ය සාහිත්‍ය සමාජයෙන් නම් ඇගයීමක් ලැබෙන්නේ නැත. කිසිම සාහිත්‍ය උත්සවයක දී සම්මානයට පාත්‍ර නොවීම මෙන්ම නොසලකා හැරීම ද සිදුවේ. වෙන එකක් තියා සම්භාව්‍ය යැයි කියාගන්නා ලේඛක ලේඛිකාවන් අතරේ ජනප්‍රිය නවකතාවක් කියවන කෙනෙක් සොයාගන්නට ද නුපුළුවන.  එපමණක් නොව ඔවුන් මේ පිරිස තඹයකට තරම්වත් මායිම් කරන්නේද නැත.  පුවත්පත්වල පළවන සාහිත්‍ය පිටුවක සාකච්ඡාවකට පවා මේ ජනප්‍රිය රැල්ලේ ලේඛකයකුට ලේඛිකාවකට ඉඩක් නොලැබෙන තරම්ය.  නමුත් පිටරටවල නම් සම්භාව්‍ය සාහිත්‍යයට සමාන්තරවම ජනප්‍රිය සාහිත්‍යයටද පිළිගැනීමක් තිබේ. එසේ නොවීම ලංකාවේ අවාසනාවකි. මන්දයත් නව පරපුරක් කියවීමට යොමු කරන්නේ ජනප්‍රිය සාහිත්‍ය කෘතීන් වීම නිසාය.

 

 

ශකුවි