නොර්වේ ලාංකිකයාගේ කෝටි 12ක් වංචා කල අක්කා -නගෝ


පොලිස් පොතෙන් 

අපේ රටේ දිනෙන් දින වාර්තා​ෙවන මහා පරිමාණයේ වංචා දූෂණ නොයෙක් ස්වරූපවලින් සිදුවෙයි. ඒ සදහා ස්ත්‍රී පුරුෂ භේදයක් නැත. මේ හොරකම්වලට විවිධාකාර හේතු ප්‍රත්‍යයන් සොයාගැනීමට ද මේ වංචාකාරයන් සමත්ය. එවැනි මහා පරිමාණ වංචාවක් පිළිබදව පසුගියදා වාර්තා වූයේ යාපනය, නාවන්තුරේ ප්‍රදේශයෙනි. 

ව්‍යාජ බැංකු ලේඛන සකස් කර ඒවාට ව්‍යාජ අත්සන් යොදා ගනිමින් රුපියල් කෝටි 12කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගන්නේ ඉකුත් 17 වැනිදාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් අනතුරුව යාපනය ප්‍රදේශයට යන්නේ මේ කියන ‘අක්කා  - නගෝ’ දෙදෙනා සොයාගෙනය. එකම පවුලේ සහෝදරියන් ​ෙවන මොවුන් දෙදෙනා අවුරුදු 30 සහ 34 වියේ පසුවන අය වූහ. 


මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ නෝර්වේ රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයකු විසිනි. මෙම පැමිණිලිකාර තරුණයා මීට වසර 25කට පමණ පෙර නෝර්වේ රාජ්‍යයේ රැකියාවක් සඳහා පිටත්ව ගොස් ඇති අයෙකි. 


“මේ දෙන්නා මගේ ගමේ. ඒ කියන්නේ යාපනේ. අපි අඳුන ගත්තේ ෆේස් බුක් එකෙන්. 2021 ඉඳලා තමයි මම මෙයාට කතා කළේ. නංගි තමයි මගේ යාළුවා. එයාලගේ තාත්තා බිස්නස් කරපු කෙනෙක්. එයා මැරිලා ගොඩක් කල්. තාත්තගේ නමින් යාපනේ ප්‍රයිවෙට් බෑන්ක් එකක රුපියල් කෝටි 100කට වැඩිය සල්ලියි රත්රන් බඩුයි තියෙනවා ඒවා ගන්න ගොඩාක් ඩොකියුමන්ට්ස් හදන්න ඕනැ. ඒවාට සල්ලි නැහැ. ඒ ටික නිදහස් කරගත්තාට පස්සේ ඔයාට සල්ලි රිටන් කරන්නම් කියලා තමයි මෙයා මගෙන් උදව්වක් ඉල්ලුවේ.” 
පැමිණිලිකාර ශ්‍රී ලාංකික තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ එලෙසිනි. දැන හැඳින ගැනීම මත 2001 වසරේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය තෙක් පැමිණිලිකරු සැකකාරියන් දෙදෙනාට වරින් වර බැංකු ගිණුම් 23කට මෙම මුදල් ලංකාවට එවා ඇති බවට රහස් පොලීසිය විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබිණි. 

 


“මුලින් ලක්ෂ 10ක් දැම්මා. ඊට පස්සේ ලක්ෂ 20ක් 30ක් ඔය වගේ මම මේ සල්ලි දුන්නේ. ඒ ගොල්ලෝ මට බැංකු ගිණුම් එක එක ඒවා දුන්නා. එක එක අවශ්‍යතා කිය කියා තමයි ඒ එකවුන්ට් නම්බර්ස් දුන්නේ. මාස හයක් විතර ගියත් ආපහු ඒ සල්ලි මට දෙන පාටක් පෙනුණේ නැහැ. බොරු දේවල් කියලා මග හැරියා. අන්තිමට ෆෝන් එකට ආන්සර් කරන එකත් නැති වුණා.’’ 

 

“සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගන්න ඒ අයගේ ගෙවල්වලට ගියාම තමයි විමර්ශන නිලධාරීන්ට ඒ ගෙදරක තිබිලා ව්‍යාජ ලියකියවිලි රාශියක් හමුවෙලා තියෙන්නේ. මේ සැකකාරියන් දෙන්නා වංචාවට උපයෝගී කරගත්තු යාපනය ප්‍රදේශයේ අධිකරණ විනිසුරුවන්ගේ, බැංකු කළමනාකරුවන්, නිතීඥවරුන්, ග්‍රාම නිලධාරින් ඇතුළු විවිධ තනතුරු දරන රජයේ ආයතනවල නිලධාරීන්ගේ අත්සන්, නිල මුද්‍රා සහ ලිපි ශීර්ෂ යොදාගෙන සකස් කළ ලේඛන රාශියක් සොයාගන්න පුළුවන් වෙලා තියෙනවා.


පැමිණිලිකාර තරුණයා මාස හයක කාලයක් තිස්සේ රුපියල් කෝටි 12කට අධික මුදලක් මෙම සැකකාර තරුණියන් දෙදෙනාට ලබා දී ඇත්තේ ඔවුන්ගේ රැවටිලිකාර වදන්වලට මුලාවීමෙන් බවත් පසුව කරුණු සොයා බැලීමේදී තමන් වංචාවකට හසුවූ බව තේරුම් යෑම නිසා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවසීය. 


“සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගන්න ඒ අයගේ ගෙවල්වලට ගියාම තමයි විමර්ශන නිලධාරීන්ට ඒ ගෙදරක තිබිලා ව්‍යාජ ලියකියවිලි රාශියක් හමුවෙලා තියෙන්නේ. මේ සැකකාරියන් දෙන්නා වංචාවට උපයෝගී කරගත්තු යාපනය ප්‍රදේශයේ අධිකරණ විනිසුරුවන්ගේ, බැංකු කළමනාකරුවන්, නීතීඥවරුන්, ග්‍රාම නිලධාරින් ඇතුළු විවිධ තනතුරු දරන රජයේ ආයතනවල නිලධාරීන්ගේ අත්සන්, නිල මුද්‍රා සහ ලිපි ශීර්ෂ යොදාගෙන සකස් කළ ලේඛන රාශියක් සොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම මේ වංචාවට යොදාගත් බැංකු පොත්, බැංකු රිසිට් පත් වගේ දේවල් විශාල ප්‍රමාණයක් ද නිලධාරීන්ට සොයා ගැනීමට හැකිවෙලා” එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 


මෙම සැකකාරියන් දෙදෙනා ජාලගත අපරාධයක කොටස්කරුවන් ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන බවත් සැකකාරියන් සන්තකයේ තිබී සොයා ගන්නා ලද ලේඛන අනුව මොවුන් ගෙන්වා ගන්නා ලද මුදල් තවත් පුද්ගලයන් කිහිප දෙනකුගේ බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. 


ඒ අනුව, මෙම සැකකාරියන් වංචා කළ මුදලින් කොටසක් තවත් කිහිප දෙනකු අතර බෙදී ගොස් ඇති බවට හෙළිවූ කරුණු මත එම පුද්ගලයන් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරියේදී එම සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 


මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 18 වැනිදාය. ඒ අනුව යාපනය මහේත්‍රාත්වරයා සැකකාරියන් දෙදෙනා දෙසැම්බර් 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබිණි.

 

 

 සටහන :
නිමන්ති රණසිංහ