නොනවතින ධීවර අරගලය


ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්, මීගමුවේ ධීවර ජනතාව මේ මොහොතේ අරගලයකට අවතීර්ණ වී සිටිති. ධීවර කර්මාන්තයට ඍජුව සම්බන්ධ වී සිටින ධීවර පවුල් ලක්ෂ තුනක් පමණ මීගමුව ප්‍රදේශයේ සිටින බවත්, ඉන් වක්‍රව යැපෙන ලක්ෂ පහකට ආසන්න පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිටින බවත් පවසන්නේ සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තිය සංගමයේ ජාතික සංවිධායක ප්‍රසංග ප්‍රනාන්දු මහතාය.

සිය සංගමය ඇතුළු ධීවර සංගම් එක්ව මෙම අරගලය පවත්වන බවත්, ඉදිරි දින කිහිපය තුළ අතිශය තීරණාත්මක තීන්දු තීරණ රැසක් ගැනීමට සමස්ත ධීවර ප්‍රජාව වෙනුවෙන් සූදානම්ව සිටින බවත් ඔහු ආණ්ඩුවට රතු එළි නිකුත් කරමින් පවසයි.  


 කළපු ධීවරයන්, මුහුදු ධීවරයින්, සුළු පන්න සහ ගැඹුරු මුහුදේ මාළු‍ අල්ලන ධීවරයන් මෙන්ම මාළු‍ සිල්ලරට විකුණන, ලු‍ණු විකුණන, ධීවර ආම්පන්න සහ මාළු‍ ප්‍රවාහන කටයුතු කරන, කෑම විකුණන පිරිස් ද ඇතුළුව ලක්ෂ අටකට ආසන්න ඍජු හා වක්‍රව ඉන් යැපෙන පිරිසක් ධීවර කර්මාන්තයේ පවතින ගැටලු‍ නිසා බරපතළ පීඩාවකට පත්ව සිටින බව ද ඔහු පවසන්නේ එම ගැටලු‍ එකින් එක ඉදිරිපත් කරමිනි.   


 භූමිතෙල් මිල අධික ලෙස ඉහළ යාම, වැලි ගොඩ දැමීම නිසා පාරිසරික ගැටලු‍ ගණනාවක් මතුවීම, ධීවර ආම්පන්න මිල ඉහළ යාම, මුහුදු ඛාදනය වැනි ගැටලු‍ හේතුවෙන් ධීවර ප්‍රජාව මෙම කර්මාන්තයෙන් මේ වන විට ඈත්ව යන තත්ත්වයකට පත්ව සිටින බව ද ඔහු පෙන්වා දෙන කරුණු අතර වෙයි.   
 අදාළ ගැටලු‍වලට විසඳුම් ඉල්ලා පාරට බහින්නටත් සමස්ත ධීවර ප්‍රජාව වෙනුවෙන් අතිශය තීරණාත්මක තීන්දු තීරණ රැසක් ගැනීමටත් මේ අනුව එම ධීවර සංගම් තීරණය කර තිබේ. මේ මොහොතේ ගම්පහ, පුත්තලම, කල්පිටිය දක්වා වූ සියලු‍ම ධීවර සමිති සංවිධානය කරන අතර , කඩින් කඩ කරමින් පවතින ධීවර උද්ඝෝෂණ වෙනුවට දැඩි තීන්දුවක් ගැනීමටත් කටයුතු කරන අතර දැවන්ත පරිසර හානියක් කරමින් වැලි ගොඩදැමීමට යොදා ගන්නා නැවට එරෙහිව තහනම් නියෝගයක් ගැනීමට ද සූදානම්ව සිටින බව ද ඔහු මෙහිදී පෙන්වා දෙයි.  


 මේ මොහොතේ මීගමුවේ ධීවර ජනතාව මුහුණ දී සිටින ඒ සා විශාල ප්‍රශ්නය කුමක් දැයි අපි ඔහු විමසුවෙමු.   
 “පළමුවෙනි ප්‍රශ්නය තමයි භූමි තෙල් මිල අධික ලෙස ඉහළ යාම. රුපියල් 87 ට තිබුණු භූමි තෙල් ලීටරයක් දැන් වන විට රුපියල් 340 - 350 වගේ මිලකට ඉහළ ගිහින් තියෙනවා. භූමි තෙල් විතරක් නෙමෙයි එන්ජින් එකට දමන භූමිතෙල්වලට ඔයිල් ලීටරයක් දමන්න ඕනෑ. ඉස්සර රුපියල් 700 කට පමණ තිබූ ඔයිල් ලීටරයක් රුපියල් 2500-2800 විතර යනවා. සාමාන්‍යයෙන් අපේ පොඩි බෝට්ටුවක ධීවරයෙක් දවසකට තෙල් ලීටර් 50 -60 ක ප්‍රමාණයක් පාවිච්චි කරනවා. ටිකක් ගැඹුරු මුහුදේ මාළු‍ අල්ලන්න ගියාම. ඒ කාලයේ භූමිතෙල් මිල වැඩි වෙන්න කලින් තිබුණේ ලීටර් 50 යි ඔයිලු‍යි ගැහුවහම අපිට වෙන්නේ රුපියල් 4800 - 5000 ත් අතර මිලක් තමයි අපිට වියදම ලෙස වෙන්නේ. හැබැයි දැන් ඒ ලිටර් 50 යි ඔයිලු‍යි ගැහුවහම රුපියල් 20,000 කට ආසන්න ප්‍රමාණයකට වැඩි වෙලා තියෙනවා.   


 මාළු‍වලට මිලක් නොමැති වීමත් ධීවර ජනතාව මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක්. පහුගිය කාලයේ මිනිස්සු මුහුදු යන්නේ නැති නිසා, මාළු‍ මිල ඉහළ ගිහින් තිබුණා. ඒ දිනවල රුපියල් 3000-4000 ට තිබුණු තෝර කිලෝව අද යන්නේ රුපියල් 1800 -1500 - 900 ‍වගේ මිලකටයි. ඉඳහිටලා 2000 ට 2500 යන අවස්ථාත් තිබුණ. නමුත් රුපියල් 900 ටත් යන අවස්ථා තියෙනවා.   


 ඊළඟ කාරණය තමයි මුහුදේ වැලි ගන්න එක. මීගමුව ආශ්‍රිතව තුන්ගල්පිටිය, සෙත්තප්පාඩුව, කැපුම්ගොඩ අවට මුහුදෙන් තමයි නැවකින් වැලි ගන්නේ. ඉස්සෙල්ලාම ඔය නැවෙන් වැලි ගත්තා, හැදල පැත්තේ වැලි විකුණන්න ගත්තා. ඊට පස්සේ පෝර්ට් සිටිය ගොඩ කරන්න කියලා වැලි ගත්තා. ඊළඟට අධිවේගී මාර්ගය ගොඩ කරන්න වැලි ගත්තා. දැන් එල්එන්ජී ප්ලාන්ට් එකක් මුතුරාජවෙල හයිකරන්න යනවා. ඒකට කියලා දැන් වැලි ගන්නවා. එකම තැනින් ඒ කියන්නේ මීගමුව අවට ජනතාවගේ සුළු‍පන්න ධීවරයින්ගේ හදවත කියලා කියන තැනින් තමයි ඔය විදියට වැලි ගන්නේ. ඔය හරියට කියන්නේ තඹගල කියලා කියන හරියේ තමයි බොහෝම විශේෂයි. ඔය පැත්තෙන් තමයි කැලණි ගඟ බහින තැන. ඔය හරියේ නැව් එහෙම ගිලු‍ණු තැන් තියෙනවා. බත්තල් ලොකු බෝට්ටු වැනි දේවල්.   


 ඔතැන තව තියෙනවා විශාල ගල්. එකක් තඹගල, අනික දරත්ත කියලා විශාල ගලක්. ඔය ගල්වල තුන්සිය හැටපස් දවසෙම මාළු‍ අල්ලන්න පුළුවන්. පොඩි මාළු‍ ඉන්න වෙලාවට පොඩි මාළු‍ අල්ලනවා. ලොකු මාළු‍ ඉන්න වෙලාවට ලොකු මාළු‍ අල්ලනවා. මේ විදියට මුහුද යට තමයි මේ විශාල ගල් තියෙන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ අපට තියෙන සශ්‍රීකම පැත්තෙන් තමයි මේ නැව් වැලි ගන්නේ. මේ නැව වැලි ගනිද්දී ගොඩාක් වෙලාවට පොළවේ තියෙන ගල් ඒ වගේ සියල්ල කැඩෙනවා. සම්පූර්ණයෙන්ම වැලි ගත්තහම ලොකු දූවිලි ප්‍රමාණයක් මුහුදේ විහිදෙනවා. දියකඩට එහෙටත් යනවා මෙහෙටත් යනවා. සෑහෙන කාලයක් යනවා ඒ වැලි පොළව යටට බහින්න. ඒ දුවිල්ල ආවම මිනිස්සුන්ට මාළු‍ අල්ලන්න බැරිව යනවා. මේ වෙලාවේ මිනිස්සු රුපියල් 25,000 ක් විතර වියදම් කරගෙන ගියාම මාළු‍ නැහැ. ඒ වතුර බොරයි. මඩ වෙලා. දූවිල්ල නිසා මාළු‍ නැහැ. විවිධ පාරිසරික හේතූන් මේ වැඩේට බලපානවා. ඔය සංවර්ධන ව්‍යාපෘති නිසා ඍජුවම අගතියට ලක් වෙන්නේ සුලු‍පන්න ධීවරයෝයි. සුලු‍ පන්න ධීවරයෝ තමයි ලංකාවේ මත්ස්‍ය ප්‍රෝටින්වලින් සියයට 60 ක් ප්‍රෝටීන් සපයන්නේ. ලොකු බෝට්ටුවලින් කරන්නේ අල්ලන මාළු‍ අස්වනු ඔක්කොම එක්ස්පෝර්ට් කරන එකනේ. අඩි 18 පොඩි බෝට්ටුවකට එන්ජින් එකක් එළියෙන් දාගෙන ගිහිල්ල ඒ කරන රැකියාවෙන් තමයි සුළු‍පන්න ධීවර කර්මාන්තය කරන්නේ” ඔහු දීර්ඝ විස්තරයක් කරමින් කියා සිටියේ එසේ ය.   


 ආණ්ඩුව සහනාධාර ඇතුළු විවිධ දේ ගැන බොහෝ තැන්වල කතා කරන බවත්, එහෙත් ධීවරයින් ගැන සාධාරණ සොයා බැලීමක් නොකරන බවත් ඔහුගේ චෝදනාවකි. දින හතරක් මුහුදු ගොස්, මාළු අස්වනු නෙළා ගත නොහැකි වී නම්, එම ධීවර ජනතාව විශාල පාඩුවකට මුහුණ දීමට සිදුවන බව ද ඔහු පෙන්වා දෙයි.   
 “ඇත්තටම තෙල්වලට විතරක් රුපියල් ලක්ෂ එකහමාරකට වඩා ණය වෙනවා. මේ වන විට මිනිස්සු ධීවර කර්මාන්තය අත්හරිමින් තියෙනවා. ඕනෑ තරම් බෝට්ටු කළපුවේ නතර කරලා තියෙනවා. ෆෙස් බුක් එකට ගියොත් ඕනෑ තරම් පොඩි බෝට්ටු, මහ බෝට්ටු විකුණන්න දාලා තියෙනවා. දැන් මේ වන විට ලංකාවේ ප්‍රෝටීන්, කැලරි අඩු වෙලා තියෙනවා. මන්දපෝෂණ තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. ඊළඟට රට බාර ගන්න ඉන්න තරුණ පරම්පාරාව ප්‍රෝටීන් ඌණතාවයෙන් පෙළන එකක්. රජය හැම තිස්සෙම අපිට තියෙන අදහස තමයි මේ මුහුද බදු දෙන්න යන්නේ. එක්කෝ නැව්වලට හෝ වෙන කාට හෝ බදු දීලා මේ සුළුපන්න ධීවර කර්මාන්තය විනාශ කරන්න හදන්නේ. උදාහරණක් විදියට කිව්වොත් මීගමුවේ ඉඳලා ගල්කිස්ස පැත්තට යනකම්ම සම්පූර්ණ සංචාරක කලාපයක් කරන්න යන්නේ. එසේ සංචාරක කලාපයක් කරන එකේ ගැටලු‍වක් නැහැ. නමුත් මේ පාරම්පරික ධීවරයින්ගේ නිජබිම් තමයි මේ ගොල්ලන් මේ සඳහා භාවිතා කරන්නේ.  


 අපේ ඒරියා එක මේ පාරම්පරික ධීවර කර්මාන්තයේ යෙදෙන ධිවරයෝ ඉන්න ඉඩම් ටික සම්පූර්ණයෙන්ම නාගරික සංවර්ධන අධිකාරියට පවර ගෙන තියෙන්නේ. එසේ නාගරික සංවර්ධන අධිකාරියට පවර ගත්තහම ඕනෑ වෙලාවක අධිකරණයට යන්නේ නැතුව අපිව එළියට දාන්න පුළුවන්. ඒ ඇක්ට් එක තියෙන්නේ ඒ තරම්ම ප්‍රබල එකක්. උසාවි යන්නත් බෑ. දීර්ඝකාලීන ප්ලෑන් එකක් ඇතුළේ තමයි මේගොල්ලෝ මේ සියල්ල කරගෙන යන්නේ. පැහැදිලිවම මේ ආණ්ඩුව කරන සංවර්ධන ව්‍යාපෘතීන්වලින් සුළුපන්න ධීවර කර්මාන්තය විනාශ කරන එකත්, මේ මුහුද කාට හෝ බදු දෙන්න ප්ලෑන් එකක් තියෙනවා කියන එක තමයි අපිට දැනගන්න තියෙන්නේ. මේක මේ අද ඊයේ ආපු එකක් නෙමෙයි. මේක මේ රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂගේ නෙමෙයි. මේක මේ සෑහෙන කල් ඉඳලා තිබ්බ විශාල ප්ලෑන් එකක්.” ඔහු පවසයි.   


 භූමිතෙල් මිල ඉහළ යාම, මුහුදේ වැලි ගොඩ දැමීම, ඉවක් බවක් නොමැතිව කරන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් සුලු පන්න ධීවර කර්මාන්තය හිතාමතා නැති කිරීම, පාරිසරික ගැටලු‍, මෙන්ම මෙම සංවර්ධන ව්‍යාපෘතීන් නිසා වෙන්නප්පුව, මීගමුව, වැල්ලවීදිය, කුඩාපාදුව දැඩි ලෙස මුහුදු ඛාදනයට ලක්ව තිබෙන බවත්, මුහුදු ඛාදනය වීම වැළක්වීමට විටින්විට ගල් ගෙනැවිත් ගොඩ කරනු ලැබුවද එය කිසිසේත් සාර්ථක විසඳුමක් නොවන බවද ඔහු කියා සිටියි.   


 පවතින මෙම තත්ත්වය පිළිබඳව අප ධීවර අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් විමසූ විට ඔහු පවසා සිටියේ මෙය රජයේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් බවත්, මෙම ව්‍යාපෘතිය තුළ ධීවර ප්‍රජාවට ඔය කියන හානි සිදුවෙනවා නම්, ඒ පිළිබඳව අප දැඩි ලෙස සොයා බලා අදාළ පියවර ගන්නා බවය. පරිසර වාර්තා ගන්නවා. අදාළ ආයතන දෙපාර්තමේන්තු අමාත්‍යංශ මේ සියල්ල එකතු වෙලා තමයි අප කටයුතු කරන්නේ. මෙයින් ඔය කියන ආකාරයට ධීවර ප්‍රජාවට හානියක් සිදුවෙනවා නම්, ඒ පිළිබඳව සලකා බලා ඔවුන්ට අසාධාරණයක් නොවන ආකාරයෙන් කටයුතු කරනවා. ඒ පිළිබඳව සලකා බැලීම් දැනටමත් කෙරීගෙන යනවා. යම්කිසි පරිසර හානියක් නොවන ආකාරයට පරිසර අමාත්‍යංශය පැත්තෙන් තමයි බැලිය යුත්තේ. ඔවුන් ඒ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියෙන් වාර්තා සියල්ල අරගෙන තමයි මේවා කරන්නේ.’’ එම නිලධාරියා කීවේය.   
 ඔවුන්ට එම වාර්තා පිළිබඳව විශ්වසනීයත්වයක් නොමැති වීම යන කාරණය ගැනද අප විමසුවෙමු.  


 රටේ සංවර්ධන ව්‍යාපෘතියක් කරන විට ඒකට අවශ්‍ය කරන නීතිරීති රෙගුලාසි තියෙනවා. ඒවට අනුකූලව තමයි සියල්ල කරන්නේ. එහෙම නම් රටේ කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් නොකර ඉන්නයි වෙන්නේ. පරිසර වාර්තා විශ්වාස නැහැයි කියන එක සාධාරණ නැහැ. මධ්‍යම පරිසර අධිකාරියේ විද්‍යාඥයෝ තමයි මේ වාර්තා සකසන්නේ. නිලධාරීන් කියලා කියන්නේත් ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන අයනේ. සාමාන්‍ය ජනතාව නෙමෙයින.   


 ධීවර ආම්පන්න, භූමිතෙල් මිල වැඩිවීම පිළිබඳව රජය ගන්නා වූ පියවර පිළිබඳව ද අප විමසා සිටියදී ඔහු ප්‍රකාශ කර සිටියේ, රටේ පවතින ආර්ථික තත්ත්වයත් සමග අවශ්‍ය පියවර දැනටමත් ගෙන තිබෙන බව ය.   


 ඉස්සර කිව්වේ භූමිතෙල් නෑ. කීයට හෝ දෙන්න කියලයි. දැන් භූමිතෙල්, ඉන්ධන හිඟයක් නැහැ. ඉන්ධන ඇතුළු‍ පිටරටින් ගෙන්වන ඒවා තීරණය වෙන්නේ ලෝක වෙළෙඳපොළත් සමගයි. පුළු‍වන් තරම් සහනාධාර දීල තමයි රට මේ තත්ත්වයට පත් වුණේ.

 

 

 සටහන   
 පද්මිණී මාතරගේ