නොකළ වරදකට ජීවිතයෙන් වන්දි ගෙවූ තිස්මඩ සෝමලතා


‘තොපේ අප්පට ආයෙ තෝව දකින්න තියන්නෙ නෑ. උන්ගෙ හීනෙ තෝව ලොකු නෝන කෙනෙක් කරල ලොකු පවුලක් වෙන්නනේ. අපි එක්ක හැප්පිච්ච උන්ට අපිත් ඉන්ඩ තියෙන්නෙ නෑ.’ එහෙම කියමින් රිචඩ් ඉනේ රදවා සිටි සිහින් පිහියක් ඇද, සෝමලතාගේ බෙල්ල හරහා එහෙ මෙහෙ කළේය. ඇය අතින් පයින් දඟලන්නට ගත් උත්සාහයන් ද ජයවර්ධන හා ප්‍රේමදාස විසින් වළකන්නට උත්සාහ ගති. වැඩි වේලාවක් නොයාම සෝමලතා වන රොදක් අස්සේ සඳහටම දෙනෙත් පියා ගත්තාය.  

‘අප්පච්චි මම යනවෝ’ වෙනදා වගේම සෝමලතා හඬ ගා කීවාය. ලෙඩෙක් බලමින් සිටි අල්විස් වෙද මහතා ‘පරිස්සමින් මයෙ දුවේ...’ යි ප්‍රතිඋත්තර බඳින්නට වූයේය. අල්විස් වෙද මහත්තයා තිස්මඩ ගමේ කාගේත් ගෞරව ආදරයට පාත්‍රව සිටි අයෙකු විය. ඒ ගෞරවය තවත් වැඩිකළේ පවුලේ වැඩිමලා වූ සෝමලතා මුණසිංහයි.   

සෝමලතා යනු එන්සොහාමි මවටත්, අල්විස් වෙද මහත්තයාටත් දාව උපන් වැඩිමල් දියණියයි. දරුවන් අටදෙනෙක් සිටි පවුලේ ලොක්කියයි.   
ඇය මැණික්දිවෙල මහා විද්‍යාලයෙන් උගෙන, උසස් අධ්‍යාපනය සඳහා පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූවාය. එයින්ද නොනැවතී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරී පත්වීම සෝමලතා ලැබූ භාග්‍යයක් වූ අතරම මවුපියන්ගේ හීනවලට ද එය හයියක් විය.   


‘ආන්න.... සෝමලතා විශ්වවිද්‍යාලයට තේරිලා.’ තිස්මඩ ගමේ විතරක් නොව මැණික්දිවෙලත් ආරංචිය පැතිර ගියේය.   
 සෝමලතා විශ්වවිද්‍යාලයට තේරීම තිස්මඩ ගමට සුබ ආරංචියක් විය. එතෙක් කල් තිස්මඩ ගමෙන් විශ්වවිද්‍යාලයට ගියෙකු නොමැති විය.   
ගිරිදුර්ග, කැලෑවලින් වැසීගත් තිස්මඩ ගමෙන් බිහිවූ පළමු උපාධිධාරිනිය සෝමලතා මුණසිංහ තරුණියයි. ඇය ඉතා අමානුෂික අන්දමින් 1971 ජූනි 25 වැනිදා ඝාතනය විය.   
අඩි 30 - 40 ක් ගැඹුරු ප්‍රපාතයකින් හමුවූ සෝමලතාගේ ඝාතනයට පසුබිම වූ කතාව ‘ලක්දිව අපරාධ ඉතිහාසය සොයා යාම තුළින්’ අද දිග හරිමු.   
ඊර්ෂ්‍යාව, කුහකකම, පළිගැනීම පෙරටුකර ගත් ඝාතන ලාංකීය අපරාධ ගොන්නට අලුත් නැත. එදත් අදත් ඒවා අලුත් වෙනවා හෝ වැඩිවනවා මිස නැවතීමක් ද නැත. සෝමලතා මුණසිංහගේ ඝාතනය ගුලි වෙන්නේ ද එවැනි පසුබිමක් තුළහිය.   


ඇගේ ඝාතනය එකක් අම්මා අප්පලාගේ වචන දුර දිග යාමක ප්‍රතිඵලයකි. අනෙක රිදවිය හැකි උපරිමය රිදවීමක ප්‍රතිඵලයකි. ඊළඟට ඊර්ෂ්‍යාව මූලික කරගෙන අහිංසකාවියක නිහඬ කිරීමකි.   


හැත්තෑව දශකයේ ආන්දෝලනයක් ඇතිකළ සෝමලතා මුණසිංහගේ කතාවට ‘අනේ අපොයි’ නොකී අයකු නැත.   
 පාඩුවේ ජීවත් වී, පාඩුවේ උගත්කම හදාගත් ඇය අගක් මුලක් නොදත් කතාවක ඝාතනයකට මුහුණ දුන්නාය.   
හීන ගොන්නකට අයිතිකාරියක් වූ ඇයට මොකද වුණේ...?   


හැට - හැත්තෑව දශක වන විට තිස්මඩ ගම යනු කිසිම දියුණුවක් දකින්නට නොතිබුණු ඉතාම දුෂ්කර, දිළිඳු ගමක් විය. ඒ කාලේ තිස්මඩ ගමට කෙනෙක් යනවා නම් මැණික්දිවෙලට බසයෙන් පැමිණ එතැනින් තිස්මඩට යා යුතුය. මැණික්දිවෙල සිට තිස්මඩට යාමට බස් එකක් අල්ලා ගන්නට නොහැකි වුවොත් ඒ ගමන පයින්ම යා යුතුය. කැලෑ මාවත දිගේ ගිරිදුර්ග ඔස්සේ සීත සුළං අතරින් ඒ ගමන වැටී තිබිණි. එක පසෙකින් දැවැන්ත හෙළ විය. ඒ පාළු සුන්දරකම අතරෙහි සෝමලතාගේ කඳුළු කතාව ලියැවෙයි.   
‘අම්මේ... මම විශ්ව විද්‍යාලෙට පාස්....’ සෝමලතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සමත් වූ කතාව ඇය කෑ ගසාගෙන කියාගෙන ආවාය. ඒ වචන තුළ තිබුණේ සතුටු කඳුළු ගොන්නකි.   
‘දළදා හාමුදුරුවන්ගේ පිහිටයි දුවේ...’ එන්සොහාමි ඉහවහා ගිය ප්‍රීතිය වචනයට පත් කළාය.   
එතැනින් පසු අවුරුදු හතරක්ම සෝමලතා මුණසිංහ ගත කළේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේය. මෙය තමන්ගේ පමණක් නොව මුළු පවුලේම හැරවුම් ලක්ෂ්‍යයක් බව ඇය දැන උන්නාය.   


උපාධිය ලබා සෝමලතා ගෙදරට එන දවසට අල්විස් වෙදමහත්තයා කියා තිබුණේ ගෙදර කිරිබත්, කැවුම් පිස එය සැමරිය යුතු බවකි. ඇත්තටම ඒ දවස සෝමලතාගේ ගෙදරට මඟුල් ගෙදරක් වැනි විය. ගමේ ඈයෝත් ඇවිත්. ‘දුවේ... හරි ආඩම්බරයක් බං..’ කියමින් ඇයව වැළඳ ගත්හ.   
ඊට පසු කලෙක ඇයට රජයේ පත්වීමකට පුහුණුවක් ලැබිණි. එය තිබුණේ මහනුවර වැවිලි කටයුතු කාර්යාලයේය. එහි පුහුණුව ලබන ගමන් සෝමලතා රජයේ පරිපාලන විභාගයට ද පෙනී සිටියාය.   
ළා පාට සාරියකින් සැරසී වැවිලි කටයුතු කාර්යාලයේ පුහුණුවට ගොස් ඉදිරියෙන්ම වාඩි වෙන මේ අහිංසක රූමතියට බැල්ම හෙලූ දෙතුන් දෙනෙකු ද නොවුණා නොවේ.   
‘සෝමලතා කොහෙද?   
‘මම තිස්මඩ ගමේ’   


‘තිස්මඩ’ කී විට කාගෙත් හිත මැවුණේ ලස්සන නමුදු දුෂ්කර ගමකි.   
‘ෂා... ලස්සන පළාතක් නේද? ඒක තමා ඔයත් ඔය හැටි ලස්සන.’   
සෝමලතාට ආදර සීනු හැඬවෙන්නට විය. ගැටඹේ රජයේ වැවිලි කාර්යාලයේ පරිවර්තකයෙකු ලෙස වැඩ කළ ගාමිණී ජයසිංහ මහතා සෝමලතාගේ පෙම්වතා බවට පත් විය. ආදරය ටිකින් ටික දුරට යද්දී, සෝමලතා එය ගෙදරට රහසක් නොකළාය.   
සෝමලතාගේ ආදර කතාවට ගෙදරින්ද කැමැත්ත හිමිවිණි. ඒ අනුව වැඩි කලක් නොගොස් විවාහය සිදුවීම සුදුසු බවට අල්විස් වෙදමහතා ද දැනමුතුකම් දුන්නේය.   
‘පරිපාලන විභාගෙ ප්‍රතිඵලත් ලබන සතියේ එනවාලු අම්මේ...’   


ඝාතනය වීමට සතියකට පෙර සෝමලතා කී කතාව විය. එය ගැන ද ඇයට ලොකු විශ්වාසයක් තිබිණි.   
1971 ජූනි 25 වැනිදා දිනය උදා විය. වෙනදාට වඩා අහස කළුවර කර මහ වැස්සක පෙරනිමිති දල්වා තිබිණි.   
‘අද නම් වහී වගේ...’ සෝමලතා උදේම කීවාය.   
ළා රෝස පාට සාරියකින් සැරසී, බෑගයත්, කුඩයත් අතට ගත් සෝමලතා වෙනදා මෙන්ම පුහුණුවට පිටත් වූවාය. කීවා වගේ එදා දවසම මහා වැසි වැටෙන්නට විණ. අඳුරු ගතිය වගේම, පාළු මූසල ගතියක් ද, සීතල අස්සේ දවටාගෙන හැන්දෑ වරුව ද ගලා එමින් තිබිණ.   
නුවර බස් එකකින් මැණික්දිවෙලට පැමිණි සෝමලතා තිස්මඩ හන්දියෙන් බැස ගත්තාය. අඳුරු වළා තිබුණත් වේලාව හවස 4.00 ට පමණ ඇත.   
 ‘අද තිස්මඩ බස් එක නැද්ද’ ඇය හන්දියේ සිටියකුගෙන් විමසා උන්නාය.   
‘අද බස් එක නෑ.. නෝනෙ....’   


ඊළඟ තීරණය වූයේ මැණික්දිවෙල සිට ගමට පයින් යාමය.   
සෝමලතා ගමන ඉක්මන් කළාය. මේ පියවර තබන්නේ ජීවිතයේ අවසන් ගමනට බවට කිසිම ලකුණක් ඒ ගමන තුළ පෙනෙන්නට නොවිණ.   
තරමක් අඳුරද මැදින් පාළු පාර දිගේ සෑහෙන දුරක් සෝමලතා ආවාය. එන්න එන්නම පාළු ගතිය මෙන්ම වැස්ස නිසා පැමිණි දිය සීරාව පාළුව බිඳින මූසල හඬ පරිසරය වසා ගෙන තිබිණ.   
ඒ වන විටත් තිස්මඩ ගමේ රිචඩ්, ජයවර්ධන හා ප්‍රේමදාස සෝමලතාගේ ඝාතනය සැලසුම් කොට තිබිණි.   
‘අන්න එනවා...අරකි...’   
රිචඩ් කැලේ අතරේ සිට ඉඟියක් දුන්නේය. ඇය ළං වෙනවාත් සමගම ප්‍රේමදාස පාරට පැන සෝමලතාගේ කට වසා කැලයට ඇදගත්තේය.   
සාහසිකයෝ ඉක්මන් වූහ. ඇය කෑ ගසනවාට රෙදි කැබැල්ලක් කට අස්සට සිරකළහ. ඇය බිම දමා ගත් රිචඩ් යකෙක් මෙන් මොන මොනවදෝ මුමුණන්නට විය.   
‘තොපේ අප්පට ආයෙ තෝව දකින්න තියන්නෙ නෑ. උන්ගෙ හීනෙ තෝව ලොකු නෝන කෙනෙක් කරල ලොකු පවුලක් වෙන්නනේ. අපි එක්ක හැප්පිච්ච උන්ට අපිත් ඉන්ඩ තියෙන්නෙ නෑ.’   


එහෙම කියමින් රිචඩ් ඉනේ රඳවා සිටි සිහින් පිහියක් ඇද, සෝමලතාගේ බෙල්ල හරහා එහෙ මෙහෙ කළේය.   
ඇය අතින් පයින් දඟලන්නට ගත් උත්සාහයන් ද ජයවර්ධන හා ප්‍රේමදාස විසින් වළකන්නට උත්සාහ ගති.   
වැඩි වේලාවක් නොයාම සෝමලතා වන රොදක් අස්සේ සඳහටම දෙනෙත් පියා ගත්තාය.   
‘දැන් මෙතන ඉඳල බෑ... යමං...’ මේකිව පහළට දාමු....’   
එසේ කියද්දී ‘රිචඩ් අයියා.. අර කොස් ගහ උඩ...’ රිචඩ් එක මොහොතින් ජයවර්ධන පෙන්වූ කොස් ගහ දෙස බැලීය.   
‘බිරාන්ත වූ සේනපාල එදෙස බලා හිදී’   
‘බැහැපිය ගහෙන් බිමට....’ රිචඩ් පිහිය ඔසවා සේනපාල දෙසට දිව ගියේය.   
‘තෝ... මේක දැක්කට කමක් නෑ. කිවුවොත් කාට හරි තොටත් මේකම තමා.’ රිචඩ් ඒ වැඩේ ද බේරා ගත්තේය. බෙල්ල හරහා ලේ වැහැරෙන නිසල වූ රූමතියගේ සිරුර කැලේ මැදින් ගෙන ගොස් ප්‍රපාතයට තල්ලු කර රිචඩ් මදුවිතට එකතු වූහ.   
එදා රෑ බෝ වී අඳුර ගලා එන්නටත් විය. ගෙදර අය කළබල වූහ.   
‘කෙල්ල තාම නෑනෙ.’   


රිචඩ්ලාද අල්විස් වෙද මහතාගේ ගේ ළඟින් යන ගමන්   
‘වෙදමහත්තයා ගෙදරින් අඬන සද්දයක් ඇහුණා.’ මොකද? යි විමසා උන්හ.   
‘නෑ....නෑ.. මොකුත් නෑ...’   
රිචඩ්ලාට කාරණය කියන්නට වෙදමහත්තයා ඉක්මන් නොවිණ. ගමේ නෑයන් ද සමග එක්ව​ සෝමලතා ගැන හොයන්නට පිරිසක් මැණික්දිවෙලට ගියහ.   
‘ආ....ඒ නෝනා හවස 4.00 ට වගේනෙ බස් එකෙන් බැහැල ගියේ...’   
එතැන් පටන් සෝමලතාට කුමක් වී දැයි සොයන මෙහෙයුම ආරම්භ විය.   
මේ පිළිබඳ පැමිණිල්ල ඔස්සේ පොලිස් පරීක්ෂණ ඇරඹිණ. මහනුවර සහකාර පොලිස් අධිකාරිවරුන් වූ පීටර් ගුණවර්ධන හා එම්. ෂන්මුගම් මහත්වරු වහාම තිස්මඩට පැමිණියහ.   
ජූනි 26 දිනය උදා විය. එදත් කිසිම හෝඩුවාවක් නොමැති විය. ජූනි 27 වැනිදා වන විට හෙවත් දින දෙකකට පසු ගමේ තරුණ කණ්ඩායමකට සෝමලතාගේ දේහය හමුවිය.   
එන්සො හාමිගේත්, අල්විස් වෙද මහතාගේත්, පවුලේ දරුවන්ගේත් අඳෝනා හඬ තිස්මඩ ගමේ වාතලයට මුසු විය.   
‘අපොයි දෙයියන්නේ... මොන වරදක් කළාට ද? කවුද මේ අපරාදෙ කළේ...?   
පොලිස් පරීක්ෂණ ඔස්සේ එදා ගෙදරට ආ ගිය අය ගැනත් පවුලේ තරහකරුවන්ව සිටි අයත් කෙරේ අවධානය යොමු විය. ඒ අනුව මුලින්ම රිචඩ් අත්අඩංගුවට පත්විය.   
රිචඩ් අත්අඩංගුවට ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ සිද්ධිය වූ දින ඔහු ‘අඬන ශබ්දයක් ඇහුණා. මොකද’ යනුවෙන් ඇසීම හා ඒ වන විට එවැනි හැඬීමක් නිවසේ සිදු නොවීමය.  
ඊළඟට රිචඩ් හා අල්විස් වෙද මහත්තයා අතර වූ පරණ ආරාවුලද හේතු විය.  
රිචඩ්, අල්විස් වෙදමහතා සමග කාලයක පටන් ඉඩම් නඩුවක් පැවතිණි.  
මේ අතරේ අල්විස් වෙදමහතාට අයිති තුවක්කුවක් රිචඩ් විසින් සොරකම් කර තිබුණු අතර ඊට ද රිචඩ්ට නඩුවක් ද වැටිණි. මේ නිසා ඉඩම් අවුලේ තරහ තව තවත් දුරදිග ගැස්සිනි.  


කෙසේ වෙතත් සැකපිට රිචඩ් අත්අඩංගුවට පත්වීමෙන් පසු සේනපාල ඇත්ත කියන්නට තීරණය කළේය. ඇසින් දුටු සාක්ෂියක් ලෙස සේනපාල,  
‘සර්... මේ සිද්ධිය මම දැක්කා. මම ගමේ ලී ඉරන සේනපාල. එදා හවස 4.30 ට විතර මම නිළමේගේ වත්තට ගියා කොස් ගෙඩියක් කඩන්න. එතන ගහේ ඉද්දී මම දැක්කා රිචඩ්, ජයවර්ධන, ප්‍රේමදාස තුන් දෙනා ගෑනු කෙනෙක් බිම දාගෙන ඉන්නවා. පස්සේ ඒ සෝමලතා බව මම අඳුර ගත්තා. රිචඩ්ල එක්ක ඒ දැරිවි බේරෙන්න පොර බැදුවා. ඒ වෙලාවේ රිචඩ් අගල් 9 ක විතර පිහියක් ඉනෙන් ඇඳල අරන් සෝමලතාගෙ බෙල්ල කැපුවා. ජයවර්ධන සෝමලතාගෙ කරාබු සහ මාලය ගලව ගත්තා. මම ගහේ ඉන්නවා දැක්කට පස්සෙ රිචඩ් මා පස්සෙ පැන්නුවා. එයාට තියෙන බයටයි මම මේක නොකීවේ’. මේ ඇසින් දුටු සාක්ෂිය ඔස්සේ සෙසු අය ද අත්අඩංගුවට පත්විය.  
සෝමලතා මුණසිංහ තරුණියගේ අධිකරණ මරණ පරීක්ෂණය පැවැත්වූයේ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය මහාචාර්ය රණසිංහ සහ මහනුවර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි පාණ්ඩියන් මහත්වරුන් විසිනි.  


එහිදී ඇය සවස 4.30 - 5.00 අතර කාලය තුළ ගෙළ කපා ඝාතනයට ලක් වී ඇති බවත් ඇයට කිසිදු ලිංගික හානියක් සිදුවී නැති බවත් ප්‍රකාශ කෙරිණි. ඇය අතේ මිට මොළවා තිබූ ඝාතකයන්ගේ යැයි සැක කළ හැකි කෙස් රොද හා සිරීම නිසා ඇගේ නියපොතු අතර තිබූ සම් කොටස් ඔස්සේ ඉතා ඉක්මනින් රිචඩ් ඇතුළු පිරිස ඝාතනයට වගකිවයුත්තන් ලෙස හඳුනාගැනීමට හැකි විය.  
ඒ කාලය වන විට අද මෙන් ඩී.එන්.ඒ. පරීක්ෂණ පවා දුර්වල මට්ටමක පැවතියත් සාක්ෂි සාධක ඔස්සේ තමන්ට දැන් බේරීම උගහට බව රිචඩ්, ජයවර්ධන හා ප්‍රේමදාස තීරණය කළහ.  


‘සර්.... ඉඩම් නඩුව තියෙද්දි මට තව නඩුවක් වැටුණා. තුවක්කුව හොරකම් කළා කියලා. මම බැලුවෙ මේකට හොඳම පළිය ගන්න. සෝමලතා අපට වරදක් කරල නෑ. වෙද මහත්තයට සහ පවුලට පණ පිටින් රිද්දන්න නම් කරන්න ඕනෑ දේ සෝමලතා මැරීම කියල මම හිතුවා. මොකද ඒකි හින්දා මේ මිනිස්සු උඩ හිටියේ. ගමේ උගතා කියලා’ ඒකයි සෝමලතාව මැරුවේ.  
රිචඩ් සිද්ධිය වමාරන්නට වූයේය.  


තිස්මඩ ඝාතනය එකල මාධ්‍යය මහා ඉහළින් වාර්තා කළේය.  
සෝමලතාගේ ඝාතනය වෙනුවෙන් වූ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ ඩිසල් ගුණවර්ධන, නීතිඥ එම්.ඩී. ද සිල්වා හා නීතිඥ විල්කාසිම් මහත්වරු පෙනී සිටියහ.  
චූදිතයන් වෙනුවෙන් අධිනීතිඥ විජය වික්‍රමරත්න, අධිනීතිඥ ඒ.සී. ද සොයිසා යන මහත්වරු පෙනී සිටියහ.  
මේ නඩුව විශේෂ ජූරි සභාවක දී විභාගයට ගැනිණි. ජූරි සභාවේ ඒකමතික තීරණය වූයේ සිද්ධියට සම්බන්ධ චූදිතයන් මරණ දඬුවමට පත් කිරීමයි. මහාධිකරණ විනිසුරු ඩී.කිව්.එම්. සිරිමාන්න මහතා විසින් ඩබ්.ඩී. රිචඩ්, ටී.ඇම්.ජී. ජයවර්ධන, ඩබ්.ඩී. ප්‍රේමදාස චූදිතයන්ට මරණ දඬුවම නියම කෙරිණි. ඉන්පසු චූදිතයන් මරණ දඬුවමට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කළහ.  


1973 වසරේදී අගවිනිසුරු සභික එච්.එන්.ජී. ප්‍රනාන්දු, ඒ.සී. අලස්, වී. තමෝදරම් විනිසුරු මඩුල්ල මෙම අභියාචනාව සළකා බලන ලද අතර එහිදී ප්‍රේමදාස මරණ දඬුවමින් නිදහස් කිරීමේ තීන්දුව ලබා දෙන ලදී. ඔහුට මරණ දඬුවමින් නිදහස ලැබුණේ සේමලතා මැරීමට ප්‍රේමදාසට පොදු අරමුණක් තිබුණු බවට නඩු විභාගයේදී සාක්ෂි ඉදිරිපත් නොවීම මතය.  
අවසානයේ රිචඩ්ගේ සහ ජයවර්ධනගේ මරණය දඬුවම තවදුරටත් තහවුරු වූ බැවින් එම අපරාධකරුවන් දෙදෙනා එල්ලා මැරීම ස්ථීරත්වයට පත්විය.  
කෙසේ වෙතත් සේනපාලගේ ඇසින් දුටු ප්‍රකාශය මේ නඩුවේ හැරවුම් ලක්ෂ්‍යය වූ අතර ඇතැම් විට ඔහු නොවන්නට මේ ඝාතනය තවත් අභිරහසක් වීමේ ඉඩක් ද පැවතිණි.  
සේනපාලගේ සාක්ෂිය සේම අවසාන මොහොතේ සෝමලතා විසින් රිචඩ්ගේ ඔළුවෙන් ඇද අතින් මිට මොළවා ගත් කෙස් රොද සමස්ත ඝාතනයම හෙළිදරවු කිරීමට හේතු විය.  
 මේ කතාවේ අවසානයට 1975 නොවැම්බර් 22 වැනිදා රිචඩ් හා ජයවර්ධන චූදිතයන් මහනුවර බෝගම්බර හිරගෙදරදී එල්ලා මරා දමන ලදී.  
මෙරට අධිකරණ ඉතිහාසයට මේ මරණ දෙකද වැදගත්කමක් උසුලයි. එයට හේතුව ලංකාවේ සිරගෙදරක එල්ලා මැරූ අවසන් දෙදෙනා මොවුන්වීමය. එතැන් පසු මෙරට එල්ලුම් ගස ක්‍රියාත්මක වී නොමැත.  


ජීවිතේ හීන පොදි බැඳි ගමනක අතරමග නික්ම යන්නට සෝමලතා මුණසිංහ තරුණියට සිදුවිය.  
තමන්ගේ වරදක් නැතිව, වන්දි ගෙවූ ජීවිතයක සෝමලතා ද කොටස්කාරියක වී හමාරය. එදත් අදත් අනුන්ගේ කතාවලට වන්දි ගෙවූ සෝමලතා වැන්නවුන් මේ රටේ කොතෙක් ඇත්ද?  


ඒ සමහරක් හෙළිදරවු වූ කතාවන්ය. තවත්වා හෙළිදරවු නොවී කාලයට වැසීගිය කතාවන්ය. එය මෙරට අපරාධ ඉතිහාසයේ ස්වභාවයයි.  

 

සටහන
අසංක ආටිගල