නවවැනි ශ්‍රේණියේදී උසස් පෙළ ලියා සරසවියට තේරුණු දෙවුම්


2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගියදා නිකුත්විණි. විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් 272,682 පෙනී සිටි අතර ඔවුන් අතරින් සිසු සිසුවියන් 171,497 කට විශ්ව විද්‍යාලීය ප්‍රවේශය ලබා ගැනීමට හැකිවිය.  

ඒ අතරින් දකුණු ආසියාවේ ළාබාලම විශ්වවිද්‍යාල වරම් ලැබූ හපනෙක් ගැන ද වාර්තා විය. ඒ කඩවත, මාවරමණ්ඩිය නැණමල් රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ 14 හැවිරිදි දෙවුම් සනහස් රණසිංහ නමැති පුංචි හපනා පිළිබඳවයි.  


පසුගිය 2020 වසරේ 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින අතරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමින් සිංහල භාෂාව, බුද්ධ ධර්මය. ඉංග්‍රීසි, සෞඛ්‍ය, නාට්‍ය හා රංගකලාව, ඉතිහාසය විෂයන් 06 ට ‘A’ සාමර්ථයන්ද, ගණිතය හා විද්‍යාව විෂයන් සඳහා ‘B’ සාමාර්ථයන් ද වාණිජ විෂයට ‘C’ සාමාර්ථයක් ද ඇතිව සාමාන්‍ය පෙළ විභාගය ඉතා විශිෂ්ට ලෙස සමත් වන්නට ද ඔහුට හැකියාව ලැබිණි. ඉන් අනතුරුව 2021 වසරේදී 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී වාණිජ විෂය ධාරාවෙන් උසස්පෙළ විභාගයට පෙනී සිටිමින් ගණකාධිකරණය, ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයනය යන විෂයන් තුනට ‘B’ සාමාර්ථ තුනක් ලබා විශිෂ්ට ලෙස සමත් වී ඇත. ඒ අනුව මේ සිසුවා මෙවර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණය උපාධිය හැදෑරීම සඳහා තේරී පත්ව තිබේ.  


?
ඔහු ලබාගත් මෙම විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි


“ගොඩක් සතුටුයි අඩු වයසින් මෙවැනි ජයග්‍රහණයක් ලබාගැනීමට හැකිවීම ගැන. ඒ වගේම ලංකාවෙ පළමු වතාවට තමයි මෙවැන්නක් සිදුවුණේ. ඉතින් අද වෙද්දි මගේ මේ ජයග්‍රහණය ගැන බොහෝ දෙනෙක් කතා බහ කරනවා. අතිවිශාල විදියේ ප්‍රතිචාර ලැබෙනවා. ඒ සුබපැතුම් ආශිර්වාදයත් එක්ක තමයි මේ කාලය ගතවෙන්නේ” දෙවුම් කීවේය.  
මේ වැඩකටයුත්තට දෙවුම් මුලපුරලා තියෙන්නෙ කොරෝනා වසංගත කාලයේදීය. ඔහුගේ පියා ගණිත ගුරුවරයෙකි. ඔහු Online තාක්ෂණය ඔස්සේ O/L සිසුන්ට ගණිත විෂය ඉගැන්වීමේදී ඒ දෙස බලා සිටි දෙවුම්ටත් ඒ සම්බන්ධව වැඩිදුර ඉගෙනීමට ආසාවක් ඇතිවූ බවයි පවසන්නේ.  


පසුව ඒ සම්බන්ධව සිය පියා සමඟ කතාබහ කළ විට ඔහුගෙනුත් ඒ සඳහා අනුමැතිය ලැබී තිබේ.  


කොරෝනා වසංගත කාලයේ නිකරුණේ කාලය කා දමන්නේ නැතිව O/L ගණිතය විෂය ඔහු හදාරන්නට ගන්නේ සිය පියා සමඟිනි.  


ඒ සම්බන්ධව වැඩිදුර හැදෑරීමත් සමඟින් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට දෙවුම්ට අවශ්‍ය වන්නේ සිය හැකියාවන් පිළිබඳ විශ්වාසයක් දැඩිව තිබූ නිසාවෙනි.  



?සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීම සඳහා පාසලෙන් කොයි විදියේ සහයෝගයක් ද ලැබුණේ?


පාසලේ ගුරුවරුන් බොහෝ දෙනෙක් මට මේ වෙනුවෙන් උදව් කළා. මොකද ඒ වෙද්දි මම 8 වසරේ හිටපු නිසා ලොකු විෂය නිර්දේශයක් ආවරණය කරන්න සිද්ධ වුණා. ඒ වෙනුවෙන් විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන්, ශිෂ්‍යයන් සියලුම දෙනාගෙන් ලොකු සහයෝගයක් මට ලැබුණා. ඒ වගේම මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරුන් නිසා ඒ දෙන්නගෙ සහයෝගයත් ශක්තියත් මට තිබුණා. ඒ හැමදේම එක්ක තමයි O/L විභාගය සමත්වෙන්න මට හැකියාව ලැබුණෙ.  



?O/L වලින් පසුව A/L වලට මුහුණ දුන්නෙ කොහොමද?  


උසස්පෙළට මුහුණ දෙද්දි මම 9 වසරේ හිටියේ. A/L වලට අමතර පන්ති ගියේත් මගේ පාසලේ ගුරුවරුන් ළඟටම තමයි. ඒ හැමදෙනාම උපරිම විදියට මහන්සි වුණා මම වෙනුවෙන්. මාස 6 ක් වගේ කෙටි කාලයක් තුළ තමයි මේ ජයග්‍රහණයට එන්න අවස්ථාව ලැබුණෙ.  



?මේ වෙද්දි දෙවුම් විශ්වවිද්‍යාල වරම් ලබලා තියෙනවනේ? ඒ වරම් ලැබුණෙ 9 වසරෙදි. එතකොට දෙව්ම්ට 10, 11, 12 වසර මඟ ඇරෙනවානෙ. යාළුවොත් එක්ක ගත කරන්න තිබුණ ඒ කාලය ගැන දුකක් නැද්ද?  


මට එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද මම ඉස්කෝලෙ ගියාම මගේ ඒ යාළුවො හැමෝම එක්ක එකතුවෙලා සෙල්ලම් කරනවා. මම පාසල් ජීවිතයට සමුදීලා නැහැ. මොකද මම අධ්‍යාපනය එක්ක ක්‍රීඩාවත් කරනවා. මගේ ලොකුම අරමුණ තමයි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වීම. ඒ අරමුණට යන්න තමයි මම උපරිමව වැඩ කරන්නෙ.  
ඉතින් මට ක්‍රිකට් සෙල්ලම් කරන්න තියෙන නිසා තව අවුරුදු 4 ක් පාසල් යනවා. 19 න් පහළ ක්‍රිකට් සෙල්ලම් කරන්න තියෙනවානෙ. ඒ දේත් කරගෙන තමයි මම විශ්වවිද්‍යාලයට යන්නෙ.  



?ඒ කියන්නෙ ලොකුම අරමුණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වීම?  


අනිවාර්යයෙන්ම. මම ක්‍රිකට්වලට සම්බන්ධ වුණේ 8 වසරෙ මුල්වාරයේ වගේ. විශේෂයෙන්ම මම O/L, A/L විභාග ඉක්මනින්ම අවසන් කරගන්න හේතුවත් ක්‍රිකට්වලට තියෙන කැමැත්තම තමයි. මොකද සමහර විට ක්‍රීඩාවෙන් ඉහළට යද්දි අධ්‍යාපනය මඟඇරෙන අවස්ථා තියෙනවනෙ. නමුත් මට ඕනැ වුණේ අධ්‍යාපනය සහ ක්‍රීඩාව දෙකම කරගෙන යන්න. ක්‍රීඩාව තුළින් ඉදිරියට යන්න ඕනැ නිසාමයි මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණ උපාධිය හදාරන්නෙත්. මම මුලින්ම ගම්පහ දිස්ත්‍රික් අවුරුදු 15 පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා. ලංකාවෙ ඉහළම මට්ටම ක්‍රීඩාව තුළින් ඉදිරියට යන්න තමයි මගේ කැමැත්ත. ඒ අතර නීතිඥ උපාධිය හදාරන්නත් බලාපොරොත්තු වෙනවා. කොහොමත් අවුරුදු 20 වෙද්දි මගේ සියලුම උපාධි අවසන් කරන්න තමයි හිතාගෙන ඉන්නෙ. අධ්‍යාපනය කරන්නේ ජීවිතේට වටිනාම දේ නිසා. නමුත් මගේ අරමුණ ක්‍රිකට්.  

 



?දරුවෙකුගේ ජයග්‍රහණයක් වෙනුවෙන් මෙලොව වැඩිම සතුටක් ලබන්නේ තම මව්පියන්. ඉතින් මේ ජයග්‍රහණයේ සතුට ගැන දෙව්ම්ගේ පියා විස්තර කළේ මෙලෙසින්.  


‘ඇත්තටම ගොඩක් සතුටුයි. පුතා ලොකු අභියෝගයක් භාරගෙන ඒ තුළින් ජයග්‍රහණය කළේ. පුතා වෙනුවෙන් මමත් බිරිඳත් ලොකු කැපකිරීමක් කළා. අපේ කිසිම අනුබලයක් බලකිරීමක් ඔවුන්ගේ අධ්‍යාපනයට සිදුකරලා නැහැ. පාඩම් කරන්න කියලවත් බල කරලා නැහැ. පුතාට ලොකු අරමුණක් තිබුණා. ඒ අරමුණට යාම තමයි එකම බලාපොරොත්තුව වුණේ.  



?පුංචි කාලේ ඉඳන්ම අධ්‍යාපනයට දක්ෂතා තිබුණ ද දෙවුම්ගේ?


මුල් කාලයේදි නම් ලොකු දක්ෂතාවක් තිබුණෙ නැහැ. පන්තියේ 26 වෙනියා වගේ වුණේ. නමුත් පුතා 5 වසරෙදි යම් සිදුවීමක් වුණා. ඒ මගේ බිරිඳගේ යෙහෙළියක් තමයි පුතාගේ පන්ති භාර ගුරුතුමිය වුණේ. ඇය කියලා තිබුණා බිරිඳත් එක්ක ‘කොල්ලා නම් ශිෂ්‍යත්වය ගොඩදාගන්න එකක් නැහැ’ කියලා. ඒ කතාව පුතාට ටිකක් තදින්ම වැදුණා. එතැනින් පසුව තමයි වැඩ කරන්න පටන් ගත්තෙ. පුතා කැලණිය ගුරුකුල විද්‍යාලයට තමයි පාසල් ගියේ. ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 173 ක් ලබාගෙන පාසලේ 3 වැනි ස්ථානයට වැඩිම ලකුණු ගත්තා.  



?මේ විදියට විභාගවලට සම්බන්ධ වෙන්නත් විශ්වවිද්‍යාල වරම් ලබන්නත් ගැටලුවක් වුණේ නැද්ද දෙවුම්ගේ වයසත් එක්ක.  


ඒ සම්බන්ධව අපි හොයලා බැලුවා, මුලින්ම විභාග කොමසාරිස්වරයාගෙන්. විභාග ලියන්න ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ වගේම විශ්වවිද්‍යාලයට ප්‍රවේශය ලබන්නත් ගැටලුවක් වුණේ නැහැ. ලංකාවෙ දැනට වයස ප්‍රශ්නය තියෙන්නේ නීති ක්ෂේත්‍රයට සම්බන්ධ වීමේදී විතරයි. විශ්විද්‍යාලයට ඇතුළත් වෙන්න වයසෙ ගැටලුවක් නැහැ.  

 

 

 

සටහන
ධනු විජේරත්න