දැන් ඉතින් අම්මා නැතුව ජීවත් වෙන්න අපි හුරු වෙන්න ඕනෑ තාත්තෙ


 

“තාත්තෙ.. අදවත් බොන්නෙ නැතුව ගෙදර එන්න.. රෑට පන්සල් යන්නත් තියෙනවනෙ..” තාත්තා නිවසින් පිට වෙන්නට සූදානම් වෙද්දී ඔහු වෙත ගිය දිනේෂි බැගෑපත් ස්වරයෙන් පැවසුවාය. වෙනදාට නම් ඇය එවන් ඉල්ලීමක් කරන්නේ තාත්තාගේ ගෙල බදාගෙන, මුහුණට මුහුණ තබාගෙන හෝ උකුළේ වාඩිවීගෙනය.

එහෙත් දැන් ඇයට ඔහු දැනෙන්නේ අමුත්තෙකු ලෙසය. එම නිසාම ඇය තේ කෝප්පයක් කනප්පුව මත වසා තබනවා මිස ඔහුගේ අත මානයටවත් යන්නේ නැත. යෙදෙමින් තිබුණේ ඔවුනතර ඇති දුරස්තර බව දිනෙන් දිනම වර්ධනය වෙන්නට කරුණුකාරණාය. ඒවා තමා තුළ මොන තරම් වේදනාවක් ජනිත කළේදැයි දැන සිටියේ දිනේෂි පමණකි. ඇය ඒවා ගැන සකුණ හෝ සේනානි සමඟවත් කතා කළේ නැත. ඇය බලා සිටියේ නිදහසේ අම්මා සමඟ කතා කරන්නට දිනක් එළඹෙන තුරුය. සවසට පවතින අධික වැස්ස නිසාත්, ලොකු මල්ලී ගේ උදහසට ලක්වීමට ඇති බිය නිසාත් දිනේෂි වැඩි වේලාවක් පහන් පැල ළඟ රැඳුණේ නැත. අම්මා සිහිනයක් දිගේ හෝ ළඟට එනු ඇතැයි ඇය බලාපොරොත්තු වූ දවස් බොහොමයක් තිබුණත් ඒවා ගෙවී ගියේ ඇය තුළ දොම්නස පමණක් ඉතිරි කරමිනි.


දෙසැම්බර් තිස් එක් වෙනිදා රෑට ගමේ සියල්ලෝම පන්සලට එක්රැස් වෙති. රාත්‍රී දොළහට පිරිත් ශ්‍රවණය කර, හාමුදුරුවන් ලවා පිරිත් නූල් බඳවාගෙන, එකිනෙකාට සුබ පතාගෙන එළඹෙන අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් පේවෙති. ගමේ ගෙවල්වලින් රැගෙන එන කිරිබත්, කැවුම්, කෙසෙල් ගෙඩි කා තේ පානය කර විසිර යන්නේ සැහැල්ලු‍, සතුටු සිත් ඇතිවය. පෝයට වඩා වෙනසක් ඇති හෙයින් තිස් එක් වෙනිදා රෑ පන්සල් යන්නට දිනේෂි ප්‍රිය කළාය. එහෙත් මෙවර නම් ඇයට යන්නට වුවමනා වූයේ ඒ වෙනස අත්දකින්නට නොව තාත්තා වෙනස් කර ගන්නටය. 


“තාත්තා එනවා නේද..?” ඇය නැවතත් විමසුවේ එහෙයිනි. 
යන්නට ගිය ගමන නවතා ඇඳේ වාඩි වූ කිත්සිරි බිම බලාගෙන දෑතින් හිස පිරිමැද ගත්තේය. මඳ වේලාවකට පසුව ඔහු නැවත හිස ඔසවා ලොකු දියණිය දෙස බැලු‍වේ බැගෑපත් ලෙසය. සෑහෙන කලකට පසු තාත්තාත් දුවත් ඍජුව මොහොතක් එකිනෙකා දෙස බලා සිටියහ. ඔහුගේ මුහුණේ වැහැරුණ ස්වභාවය ඇයට දරා ගන්නට නොහැකි වූයේය. පරණ පුරුදු තාත්තා අම්මාත් සමඟම මිය ගොස් ඇත්තේ නොවේදැයි ඇය කල්පනා කළාය. 
“ජිනා නැති වුණායින් පස්සෙ එන පළවෙනි ජනේරුව..” 
කිත්සිරි තොල මතුරා ගත්තේය. දිනේෂිට නොරිස්සුමක් දැනුණේ තාත්තා අතීතයේ පමණක්ම ජීවත් වෙන බැවිනි. 
“දැන් ඉතින් අම්මා නැතුව ජීවත් වෙන්න අපි හුරු වෙන්න ඕනැ තාත්තෙ.. ඔයා ඔහොම බීලා එනකොට අපිට අම්මා විතරක් නෙමෙයි තාත්තත් නැති වෙනවා කියලා දන්නෙ නැද්ද..?” 
බොහෝ දිනකට උඩදී කියන්නට වුවමනා වුවත් තාත්තා පියවි සිහියෙන් නොසිටි නිසා නොකියූ දෙය නිරායාසයෙන්ම ඇගේ මුවින් පිට වූයේය. සුසුමක් හෙලූ කිත්සිරි නැවතත් බිම බලා ගත්තේය. 


“මම ඒක නොදන්නවා නෙමෙයි ලොකු දුව.. මම හැමදාම උදේට ගෙදරින් යන්නෙ ආයෙනම් බීලා එන්නෙ නෑ කියලා හිතාගෙන.. ඒත් ජිනා නැති මේ ගෙදෙට්ට සිහියෙන් එන්න හිත හදා ගන්න මට බෑ.. මට සමා වෙන්න පුතේ..” 
“හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ කියලා අපිට කියලා දුන්නෙ තාත්තමනෙ.. අද රෑ පන්සල් ගියාට පස්සෙ ඔය ජරා පුරුද්දෙන් මිදෙනවා කියලා බුදු හාමුදුරුවන්ට පොරොන්දු වෙලා එමු තාත්තෙ..” 


ඇය ඕනෑකමින් කීවාය. 
දෑතේ ඇඟිලි එකිනෙක පටලා ගනිමින් සෑහෙන වේලාවක් කල්පනා කරමින් සිටි කිත්සිරි අලු‍ත් අදිටනකින් මෙන් හිස ඔසවා බැලු‍වේය. ඔහුගේ දෙතොලේ සිනාවක් ද, දෑසේ අලු‍ත් එළියක් ද තිබිණි. දිනේෂිගේ මුහුණට ද ඒ ආලෝකය වැටිණි. 


“ඔව් පුතේ.. එහෙම කරමු.. මම අද ඉක්මනට එන්නම්.. අම්මා හිටිය කාලෙ වාගෙම අපි පන්සල් යමු..” 
කියමින් කිත්සිරි නැඟී සිටියේ දිනේෂිගේ සිත සතුටින් පුරවාලමිනි. ජීවිතය අලු‍තින්ම අරඹන්නට හැකි වෙනවා ඇතැයි ඇය උදක්ම බලාපොරොත්තු වූවාය. 
 ගෙදරින් පිට වී යන හැම මොහොතකම තාත්තාට වඳින්නට දරුවන් පුරුදුව සිටියත් එම පුරුද්ද ගිලිහී ගියේ ඔහු බීමතින් පැමිණෙන්නට පටන් ගත් පසුවය. නැවත වරක් එය ඇති කර ගත යුතුයයි අදිටන් කර ගනිමින් දිනේෂි දණ ගසා ඔහුට වැන්දාය. කාලාන්තරයකට පසු ඔහු ලොකු දුව තුරුළු කරගෙන හිස සිප ගත්තේය. එහෙත් ඒ වැඳුම තුළවත්, සිප ගැන්ම තුළවත් අතීතයේ වූ සෙනෙහස නොතිබුණ බැව් දෙදෙනාටම දැනිණි. 


තාත්තා වංගුවෙන් හැරී නොපෙනී යන තුරුම මිදුලට වී බලා සිටි දිනේෂි සුසුමක් හෙළමින් ඉදල අතට ගත්තාය. තවමත් නිවාඩු කාලය බැවින් නංගීත් පොඩි මල්ලීත් අවදි වී සිටියේ නැත. ඇය අතු ගාන්නට වූයේ සකුණලාගේ නිවස දෙස බලාගෙනමය. නිවාඩු දිනවල පන්ති නොයන්නේ නම් වැට අද්දරට පැමිණ ඇය හා කතාබහ කිරීමට ඔහු පුරුදුව සිටියේය. සැබැවින්ම ඇයට එදිනෙදා ජීවිතයට මුහුණ දෙන්නට ශක්තිය ලැබුණේ ඒ කතාබහ තුළිනි. 


සකුණගේ කාමරයේ ජනේලය වසා තිබුණේ ඔහු පන්ති ගිය බවට සලකුණක් ලෙසිනි. ඒ දුටුවාට පසුව ඇය තුළ මිදුල අතු ගෑවේ පටන් ගත් කාර්යය අවසන් කළ යුතු නිසා මිස උනන්දුවකින් නොවේ. ඇය තුළ උද්යෝගය මෙන්ම ධෛර්යය ද ඇති වෙන්නේ සකුණ හරහාම පමණකි. 


අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් කොහේ හෝ ගෙදරක කැවුම් පිසෙන සුවඳ ඇගේ නාසයට ඇදී එමින් තිබිණි. ඇය ආශාවෙන් ඒ සුවඳ නාසයට උරා ගත්තාය. අම්මා සිටියේ නම් ඇයත් මොනවා හෝ කැවිල්ලක් සාදා ඉන් කොටසක් පන්සලටත් රැගෙන යන්නීය. අම්මා සාදද්දී අත්උදව් දුන්නත් දිනේෂි කැවිලි සාදන්නට දැන සිටියේ නැත. 
“ආච්චිලගෙ ගෙදරනම් මේ වෙනකොට කැවිලි වර්ග හුඟක් හදලා ඇති.. අපිටත් අරන් එයි ද දන්නෙ නෑ..” ඇය කල්පනා කළාය. 


ගමේ බොහෝ දෙනෙක් කැවිලි මිල දී ගන්නා බැවින් මේ දිනවල ආච්චිටත්, පොඩි නැන්දාටත් විවේකයක් තිබුණේ නැත. වෙනදානම් ඒවායින් කොටසක් මේ ගෙදරට ද ලැබෙන්නේය. එහෙත් ආච්චි තාත්තා සමඟ අමනාපයෙන් සිටින නිසා අවුරුද්දටවත් මෙහි පැමිණෙනු ඇතැයි අනාවැකි කිව නොහැකිය. 


ගෙදරට අඳින බාච්චු ගවුමකින් සැරසුණ සඳසීලි නැන්දා ඉක්මන් ගමනින් වත්ත හරහා මෙදෙසට එනු දුටු දිනේෂි ගේ සිතේ තිගැස්මක් හට ගත්තේය. උදේම කඩේට ගොස් සවස ගෙදරට එන බැවින් ඇයට සඳසීලි දකින්නට ලැබෙන්නේ බොහෝ කලාතුරකිනි. ඇය මේ එන්නේ තමා සමඟ කතාබහ කරන්නටම බව නොඅනුමානය. 
“කවුරු හරි මායි සකුණ අයියයි ගැන කේළමක්වත් කියල ද මන්දා..” මුමුණා ගනිමින් ඇය කිසිදු රටාවකින් තොරව වේගයෙන් අතු ගාගෙන ගියේ සඳසීලි නුදුටු බව අඟවමිනි. 
“දිනූ.. ටිකක් මෙහාට එනව ද..?” 


වැට අද්දර නැවතුණ ඇය හඬ ගෑවාය. 


෴ ලබන සතියට ෴