තරුණ මදේට රේස් ගිහින් පරලොව ගිය තරුණයෝ


එකම වයසේ මිතුරන් දෙදෙනෙක් එකම රාත්‍රියේ එකම වර්ගයේ යතුරුපැදි දෙකකින් ගමන් කර එකට ගැටී මියගියේ යැයි කිවහොත් ඒ මිතුරන්ගේ ඥාතීන්ට පිළිගත හැකි වේවි ද? කෙතරම් අමාරු වුව ද කෙතරම් දුක්ඛදායක වුවද යසිරුගේත් සුලෝචනගේත් මව්පියන්ට හා ඥාතීන්ට ඒ ඇත්ත කතාව පිළිගන්නට පසුගිය දා සිදුවිය. 

යසිරු සිය පාසල් මිතුරන් හා ගමේ මිතුරන් කීප දෙනෙක් සමග කලුතර බණ්ඩාරගම පාරේ තුඩුව ප්‍රදේශයට ගියේ ඔවුන් සතු අශ්ව බල දෙසීයේ එන්ජින් ධාරිතාවයෙන් යුත් යතුරුපැදිවලින් ධාවන පුහුණු වීම් කරන්නටය. ඒ බවක් ඔවුන්ගේ දෙමාපියන් දැන සිටියේ නැත.   


මේ යතුරුපැදි හැම මිතුරාටම තිබුණේ නැත. ඒ නිසා ඔවුහු ඒවා තිබෙන අයගෙන් ඉල්ලා ගෙන පුහුණු වීම් කළහ. ඒ වන විට වෙලාව රාත්‍රී එකොළහට පමණ විය. තව නොබෝ දිනකින් විවාහ වීමට සිටි මිතුරෙකුට තවත් රෑ බෝ වන තුරු මේ ස්ථානයේ රැඳි සිටිය නොහැකි විය. ඒ නිසා ඔහු තමන් නිවසට ඇරලවන ලෙස ඉල්ලීමක් කළේය. ඒ ඉල්ලීමට කවුරුත් එකඟ වූයේ ඔහුගේ පෞද්ගලික කාර්යය වැදගත් යැයි සියලු දෙනා පිළිගත් නිසාය. ඔහු නිවසට ගෙනගොස් ඇරලවීමේ වගකීම වාද්දුව පොතුපිටියේ පදිංචි යසිරු සම්පත් භාරගත්තේය. එහෙත් මිතුරා නිවසටම ගියේ නැත. ඔහු අතර මගදි බැස ගියේ තවත් කටයුත්තක් අතරමගදි කරගන්නට ඇති බව පවසමිනි. ඒ නිසා යසිරු ඉක්මනින්ම ආපසු ‘තුඩුව’ බලා පිටත් විය.   


ඔහු ආපසු එමින් සිටින අතරතුර දියගම ප්‍රදේශයේ තරුණයෙක් ද මිතුරන් සිටි ස්ථානයට පැමිණියේය. ඒ මිතුරාගෙන් අශ්ව බල දෙසියේ අධි ධාවන යතුරුපැදිය ඉල්ලා ගත් සුලෝචන යසිරු ගමන් කළ දෙසටම එනම් මොරොන්තුඩුව දෙසට ගමන් කළේය. ඒ යසිරු එනතුරු පුහුණුවීම් කරන්නටය. හිතුවාට කලින් ගමන කෙළවර කර ආපසු එමින් සිටි යසිරුත් අලුතෙන් එකතු වූ යතුරුපැදියෙන් පුහුණුවීම් ඇරඹූ සුලෝචනත් මොරොන්තුඩුව ගෝනදූව ප්‍රදේශයේ දී මුහුණට මුහුණ ගැටුණේ කිසිවෙක් නොසිතූ ලෙසය. අනතුර පිළිබඳව අසන්නට ලැබුණ මොරොන්තුඩුව පොලිසියේ නිලධාරින් පිරිසක් එහි පැමිණ මිතුරන් දෙදෙනා ළඟම පිහිටි ගෝනදුව රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔවුන් ජීවිතයෙන් සමුගෙන අවසන් බව රෝහල් බලධාරිහු පැවසූහ.   


අනතුරට ලක්වූ යතුරුපැදි දෙක පරීක්ෂා කළ පොලිසියට ඒවා අබලන්ව තිබූ ආකාරයෙන්ම දෙදෙනා ගමන් කර තිබූ වේගය කෙතරම් ද යන්න වටහා ගැනීමට අපහසු නොවීය.   
 මෙලෙස මිය ගොස් තිබුණේ වාද්දුව පොතුපිටිය පනාපිටිය පාරේ පදිංචිව සිටි යසිරු සම්පත් ප්‍රනාන්දු සහ වාද්දුව දෙල්දූව අරියගම පදිංචි සංදේශ් සුලෝචන පියරත්න නමැති දහඅට වැනි වියේ පසු වූ තරුණයන් දෙදෙනෙකි.   


ජීවිතයේ අතරමග යෙදෙන කෙටි ගමන් අධිවේගයෙන් ගමන් කිරීම නිසා තවත් බොහෝ දුර යන්නට තිබූ දිවි ගමන අතරමග නවතා දමන්නට ඒ මිතුරන් දෙදෙනාටම සිදුවිය. කුමන හේතුවක් මත මිය ගිය ද ඔවුන්ගේ මව්පියන්ට තම දරුවා අහිමිවීම දරාගත හැක්කක් නොවේ. සහෝදර සහෝදරියන්ට තම සහෝදරයා නැති දුක දරාගත හැක්කක් නොවේ. එහෙත් අලුත් දේ සොයා බැලීමේ, අලුත් දේ අත්හදා බැලීමේ, සමාජ අවධානය දිනාගත හැකි යමක් කිරීමේ නොහික්මුණ තරුණ ආශාව හා උද්‍යෝගය විසින් ඒ සියලු දෙනාගේ දෑසට කඳුළු එක්කර ඇත.   


මියගිය දෙදෙනොගේ දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කලුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්.එච්. අත්තනායක මහතා විසින් සිදුකළ අතර ඔවුන්ගේ සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබේ. පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී ජේ.කේ.එස්.කේ. ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් මත මොරොන්තුඩුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැලුම් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.   


මේ දරුවන් නිවසින් පිටව ගියේ කොහේ ද? කුමකටද? යන්න ඔවුන්ගේ මව්පියන්ට වැටහීමක් තිබුණේ දැයි අප නොදනිමු. කෙසේ නමුත් තරුණ දරුවන් මහ රෑ තිස්සේ අධිවේගී යතුරුපැදි සමග නිවසින් පිටව යන විට ඒ ගැන සොයා බැලීම මව්පියන්ගේ වගකීමක් නොවේ ද?   


මේ තරුණයන් ධාවන පුහුණුවීම් සිදුකර තිබෙන්නේ අශ්වබල දෙසීයේ යතුරු පැදිවලිනි. සාමාන්‍ය යතුරුපැදියක එංජින් ධාරිතාව අශ්වබල 150, 180 මට්ටමේ පවතී. පොලිස් රථවාහන අංශයේ නිලධාරියෙකු සඳහන් කළේ එංජින් ධාරිතාව අශ්වබල දෙසීයේ යතුරු පැදි මෙරට ලියාපදිංචියේ කිසිදු ගැටලුවක් නැති බවය. එසේම ඒවා ලියාපදිංචිය සාමාන්‍ය අනෙකුත් යතුරුපැදිවලදී මෙන්ම සාමාන්‍ය ලිපිලේඛන අනුව සිදු කෙරෙන බව ද අශ්වබල හාරසීයෙන් එහා යතුරුපැදි සඳහා පමණක් යම් යම් තහංචි පවතින බව ද ඔහු පැවසීය. එහෙත් අශ්ව බල දෙසීය යනු සාමාන්‍ය යතුරුපැදියක වේගයට වඩා වඩාත් වැඩි වේගයක් සහිත බැවින් සාමාන්‍ය ගමන් බිමන්වලට ඒවා යොදා ගන්නේ නම් ඉතාමත් සැලකිලිමත් විය යුතු බව ද ඔහු පැවසීය.   


තරුණ විය යනු උද්වේගකාරී හැඟීම් සහිත නව අත්හදාබැලීම්වලට වඩාත් නැඹුරුවක් දක්වන ජීවිතයේ එක්තරා කඩඉම් වයසකි. අවුරුදු පහළොව විස්ස යනු තරුණ වියේ නරකම වයස බව බොහෝ වැඩිහිටියන් අතර පවතින මතයකි. එය එසේ නම් ඒ වයසේ දරුවන්ට ලබාදිය යුතු නිදහස කෙතරම් ද? එය දිය යුත්තේ කෙසේ ද? ඔවුන්ට ලබාදිය යුතු හෝ නොදිය යුතු දේ මොනවාද? යන්න සම්බන්ධයෙන් දෙමාපියන්ට ලොකු වැටහීමක් තිබිය යුතුව ඇත. එසේ නොවන්නේ නම් මව්පියන් දරුවන් කෙරෙහි තබන බලාපොරොත්තු මෙලෙස අතර මග බිඳ වැටෙන්නට තිබෙන ඉඩකඩ ඉතා වැඩිය.   

 

 

මුදිතා දයානන්ද සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ