ජීවිතාවර්ජනයකදී අදාළ සමාජ සාධක මගහැර යා නොහැකියි


  • මෙවැනි ආසියාතික රටවල ගැහැනියකට, ගැහැනියක් වීමම සුළු පටු අභියෝගයක් නොවෙයි. පිරිමි පවා ඒ අභියෝග තුළ අසරණභාවයට පත් වෙනවා. පරිසරයෙන් සමාජයෙන් හා තමා තුළින් මතුෙවන අභියෝගවලට මුහුණ දීම පහසු නෑ.

‘ගිරිහිස තරණය’ කාව්‍ය සංග්‍රහය සඳහා 2012 වසරේ රාජ්‍ය සාහිත්‍ය හා ගොඩගේ සාහිත්‍ය සම්මාන දිනූ සුහර්ෂිණී්‍ ධර්මරත්න මේ වෙන විට බොල් බිජුවට, සිහින අසපුව, සුදුවත හැඳි කෙකිනිය හා එහෙම වරදක් කරල නෑ මං යනුවෙන් කාව්‍ය කෘති කිහිපයක්ම පළකර ඇත. ඒ ඇතැම් ඒවාද විවිධ සම්මාන නිර්දේශිත කෘති විය.ආපුටුංගෝ - මාපුටුංගෝ ඇගේ අලුත්ම කෘතියයි. ගද්‍ය මෙන්ම පද්‍ය ද යොදා ගනිමින් කළ විචිත්‍රවත් ජීවිතාවර්ජනයක් ලෙස සැකසී ඇති මෙම කෘතිය පිළිබඳව ඇය සමඟ කළ සාකච්ඡාවකි මේ.

ආපුටුංගෝ - මාපුටුංගෝ කෘතිය ‘මගේ ජීවන අන්දරය’ යැයි ඔබ හඳුන්වනවා. නමුත් ඒ ජීවන අන්දරය අභිබවා ගිය සමාජ කතිකාවක් මේ තුළින් නිරාවරණය වෙනවා නේද?


ඔව් ඔබ කියන දේ හරි මේ සමාජය තුළ අප කිසිවකු තනි ඒකකයක් ලෙස තනිව පවතින්නෙ නෑ. සමාජය තනි පුද්ගලයන් රැසකගෙන් නිර්මාණය වන අතර, ඒ සමාජය විසින්ම තනි තනි පුද්ගලයාගේ, චර්යාවන්, ගති ලක්ෂණ පැවැත්ම හා දිශානතිය තීරණය කරනවා.


ඔබ සමඟ අද කතා කරන මා කියන මේ තනි පුද්ගලයා නිර්මාණය වූයේත්, මගේ දෙමව්පියන්, මුතුන්මිත්තන් හා ඔවුන් ගනුදෙනු කළ සංකීර්ණ සමාජජාලය ඇසුරෙන් .


මට පෙර පරපුර මා දකින්නේ, දෙස බස රැස ගැන වර්ණනා කරමින්, යටි සිතින් , ඉංග්‍රීසිකාර පන්නයට හැඩ ගැසෙන්නට ඇළුම් කළ පිරිසක් ලෙස. අනගාරික ධර්මපාලතුමන්ගේ පින්තූරය ආලින්දයේ එල්ලාගෙන, ජාතික ඇඳුම අඳිමින් , ජාතිකත්වය දේශමාමකත්වය උත්කර්ෂයට නංවන අතරේ, තමන්ගේ දරුවන්, කලිසම් කෝට් අඳින, ඉංග්‍රීසි උසුරුවන, පිරිසක් බවට පත් කරන්නට ඔවුන් වෙහෙස වුණා.


වික්ටෝරියානු සදාචාරය වැලඳගනිමින්, දෙස බස රැස ගැන ආවඩමින් මින් එක් ආකාරයක හෝ දියුණුවක් ලබා ගැනීමට අසමත් වූ පරම්පරා තුනකට අයත් අපේම මිනිසුන් ගැන කතා කරන්නට මා ආපුටුංගෝ මාපුටුංගෝ යන මැයෙන් මගේ දිවිසැරිය අකුරු කරන්නට පෙලඹෙනවා. මේ පරම්පරා තුන හරහා හමා යන සමාජ ආර්ථික දේශපාලන විචල්‍යතා මගහැර යා නොහැකි සාධක ලෙස මෙහි ඇතුළත් වන්නේ නිරායාසයෙන්,


සුමුදු අතුකෝරාල නම් සොඳුරු සිත්තරා කංචුකය සඳහා සිතුවමට නැගූ, සිහින ඔලොගුව කදක එල්ලා ගත් කුඩා දැරිය, වැඩිහිටි ගැහැනියක් දක්වා එන ගමන තුළ විවිධ මැයෙන් යුත් පරිච්ඡේද විසිනවයක් හරහා මම එය සාකච්ඡාවට බඳුන් කරනවා.


ඔබ සම්මාන ලත් කිවිඳියක්. මෙම කෘතිය කවි පොතක් නොවුණත් ඔබේ කවියේ සුහුරු බව මේ ගද්‍ය රචනය පුරා විහිදෙනවා. මේ වෙනස් ආකෘතියට ඔබ එළැඹුණේ කොහොමද?


එය අනායාසයෙන් සිදු වූ දෙයක්. මා මුහුණුපොතට ලියන ලද ලිපියක් නිසා මව්බිම පුවත්පතට තීරු ලිපියක් ලියන්නට මට ඇරයුම් ලැබෙනවා. මගේ කවියකට පාදක වූ සිදුවීමක් මුල් කරගෙන, ”‍ජීවිතේ කවියක්”‍ යන මැයෙන් නවමු ආකෘතියකට තීරු ලිපිය ලියන්නට මා උත්සුක වෙනවා, තීරු ලිපිය අවසන් වන්නේ කවියකින්. ඊට පාදක වූ අත්දැකීම් වපසරිය හරහා අදාළ කවිය විඳින්න දෙන්නටයි මට අවශ්‍ය වුණේ . එයට ඉතා යහපත් රසික ප්‍රතිචාර ලැබෙනවා.


මෙය කියවන මහාචාර්ය සරත් විජේසූරිය මහැදුරුතුමන් ඒ තුළින් කියැවෙන සමාජ කතිකාව පසසා, මගේ ජීවන අන්දරය ඇසුරෙන් පොතක් ලියන්නට ඇරයුම් කරනවා. එහෙත් ඒ සඳහා ප්‍රමාණවත් පරිණතිය අත්පත් කර ගෙන නැතැයි යන සැකය මා අකර්මණ්‍ය කරනවා. මේ කාලය වන විට කොරෝනා අර්බුදය හා මුද්‍රණ කඩදාසි හිඟය සමඟ පුවත්පත මුද්‍රණය කඩින් කඩ නතර වෙනවා . පාසල් වැසී යනවා. ඉන් ලද අවකාශය තුළ තීරු ලිපිය ලිවීම නතර කරන මම, තීරු ලිපිය තවදුරටත් විස්තාරණය කරමින් නිදහසේ ලියන්නට ගන්නවා. එහෙත් එහිදී පෙර සඳහන් කළ ආකෘතිය මා වෙනස් කරන්නේ නැහැ. එය පාඨකයන්ට අලු‍ත් අත්දැකීමක් වෙනවා. සෑම පරිච්ඡේදයක් අවසානයේම, ගද්‍ය ආඛ්‍යානයෙහි නිරායාස ගලා යාම අවසන කවියක් හමුවීම පාඨකයාට නවමු අත්දැකීමක් තිළිණ කරනවා යැයි මා විශ්වාස කරනවා. අනෙක මේ ගද්‍ය පද්‍ය ගැලපීම ලේඛනයේ විචිත්‍රත්වය ඉස්මතු කරන්නට අත්වැලක් වුණා.


තරුණ – වැඩිහිටි කොයිකාටත් දැනෙන හා විඳිය හැකි පරිදි ඔබ මේ පොතට සිද්ධි හා චරිත ගළපා ඇති බවයි පෙනෙන්නේ?


ජයදේශ් වාසුදේව් හෙවත් සද්ගුරු නම් මනුෂ්‍ය පුත්‍රයා කියන ලෙසට අපට වඩා බොහෝ ශ්‍රේෂ්ඨ මිනිසුන් මේ මිහිමත ඇවිද ගොස් තිබෙනවා. දැන් ඔවුන් සියලු‍ දෙනා මතුපිට පස් බවට පෙරැළී තිබෙනවා. ඒ බව සිහියේ තබාගෙනයි අප ඇවිද යා යුත්තේ.


මගේ පියා නික්ම යන විට සටහන් තබා ගිය දිනපොත, මගේ ඥාති හිත මිතුරන්ගෙන් මා ලද තොරතුරු මූලාශ්‍ර කරගනිමින්. අප පසුපසින් එන්නෙකුට මාර්ග සිතියමක් වනු පිණිස ඊට මගේ කියවීමත් මුසු කරමින් මෙහි පරිච්ඡේදයෙන්, පරිච්ඡේදය ගොඩනැගීම කළා. අප පසු කර, ගිය කෙනෙකුට වුවත්, තබා ආ පිය සටහන් දෙස, නැවත හැරී බලා මතක මංපෙත්, අතුරු මං මාවත්හි සැරිසරන්නට ඒ සටහන් පාදක කරගන්නට හැකිවෙතැයි මා විශ්වාස කරනවා.


මා අද වැඩුණු ගැහැනියක් බව ඇත්ත. එහෙත් ළමා කල මා තුළ සිටි අව්‍යාජ දැරිය තාමත් මා තුළ නොනැසී ජීවත් වෙනවා. ළමා කල මා අත් විඳි සොබා සොඳුරු ලෝකය හා සබැඳි ඇතැම් රසවත් සිදුවීම් දරුවෙකුට තමන්ගේ අත්දැකීම් කරගෙන විඳින්නට බාධාවක් නෑ. එසේම නව යොවුන් වියේ මා ලත් ප්‍රහර්ෂය, එම වයස්වල යොවුන් දරුවන්ට අදටත් පොදුයි.
එසේම පොතේ හමුවෙන හැම පරිච්ඡේදයකටම ආකර්ෂණීය මාතෘකාවක් යොදන්නට මා සැලකිලිමත් වුණා. ‘ජයනේරිස්’ ‘සිංහාර්ර්ර්ගේ ප්‍රේම පූජා’, ‘පැඟිරි විසේ’ වැනි මාතෘකා හරහා, ඒ ඒ පරිච්ඡේදයේ අන්තර්ගතය ගැන කියවන්නාට පූර්ව ඉඟියක් ලැබෙනවා. ළමා විය, යොවුන් විය පසුකළ වැඩිහිටියන්ටත්, මේ ආ ගිය කතා විඳින්නට බාධාවක් නෑ. එනිසා මගේ පොත, වත්මන් පරපුරේ දරුවෙකුට, පෙර පරපුරේ දරුවකුගේ ළමා කල, ආස්වාදනය කරන්නටත්, වැඩිහිටියෙකුට අතීතාවර්ජනයක කිමිදෙන්නටත් නිමිත්තක් වෙනවා.
මා තුළ අදටත් ජීවත් වන දැරිය, යෞවනිය, හා වැඩිහිටි ගැහැනිය, නිසා ම මේ ලිවිසැරිය මට කිසිසේත් ම වෙහෙසකර හෝ දුෂ්කර අභියෝගයක් වූයේ නැහැ


විශේෂයෙන් මෙහි අම්මා ඇතුළු ඇතැම් අතුරු කාන්තා චරිත මෙන්ම වටු කිරිල්ලිගෙන් පවා කාන්තාව පිළිබඳ සම්මතය ඉක්ම වූ පුළුල් සංවාදයක් ගොඩනගන්න ඔබට වුවමනා වූ බව පෙනෙනවා?


මෙවැනි ආසියාතික රටවල ගැහැනියකට, ගැහැනියක් වීමම සුළු පටු අභියෝගයක් නොවෙයි. පිරිමි පවා ඒ අභියෝග තුළ අසරණභාවයට පත් වෙනවා. පරිසරයෙන් සමාජයෙන් හා තමා තුළින් මතුවන අභියෝගවලට මුහුණ දීම පහසු නෑ. මගේ අම්මා ඒවාට මුහුණ දෙන අයුරු වැඩිමහල් දියණිය ලෙස, බොහෝ පුංචි වයසේ සිට මගේ අවධානයට හසු වුණා. අනතුරුව එවැනි ම අභියෝග රැසකට ගැහැනියක ලෙස මට මුහුණ දෙන්නට සිදුවුණා. ගල් පැලු‍ම අස්සේ, සිරවූ බිත්තරය ගොඩට ගැනීමට, අසීමිත වූ දාරක ප්‍රේමයෙන් අප්‍රතිහත ධෛර්යයෙන්, සමාජයේ විවිධ තරාතිරම් සමග ගැටෙන, අවසානයේ කෙසේ හෝ තම අභිලාෂය මුදුන්පත් කරගන්නා වටු කිරිල්ලිය සේ, අපේ රටේ ගැහැනුන්ට දරුවන් උස් මහත් කර ගැනීමට මහත් කැපවීමක් වෙහෙසක් දරන්නට සිදු වෙනවා. ඒ නිසා මගේ කෘතිය තුළ මා නොදැනුවත්වම ඒ ගැහැනුකම උත්කර්ෂයට නගනවා වන්නට ඇති. එහෙත් ඒ පසුපස ඇති පිය භූමිකාව මා සුළුකොට තකන්නේ නෑ. අපි හැමෝටම තිබෙන්නේ කෙටි ජීවිත කාලයක්. ඒත් ඒ හැම ජීවිතයක්ම විචිත්‍ර, විවිධ අත්දැකීම් අත්විඳීම් පරාසයක එකතුවක්. මම කොහොමත් සොබාදහම හා මිනිසුන් ගැන කියවන්නට බොහොම කැමතියි. අපි වුවමනාවෙන් සවන් දෙනවා නම් මේ සොබා දහම අපිට ලොකු පාඩමක් කියා දෙනවා.


අඩු වැඩි වශයෙන් මේ සියල්ල මගේ කෘතිය තුළ අන්තර්ගත වෙනවා.


සිය දරුවන් කෙරෙහි මවකගේ හදවතේ ඇවිලෙන ලසෝ ගින්න නිවා දමන්නට, සමුදුරෙහි ජලය පවා ප්‍රමාණවත් නැහැ. එය සියලු‍ සත්ත්වයින්ට පොදු ධර්මතාවක්. එහිදී මිනිසා හා සතුන් අතර චර්යාවන්හි වෙසෙස් වෙනසක් නැහැ.


මේ කෘතියට නම ලැබෙන්නෙත්, මගේ සීයා කියා දුන් ජන කතාවක, දෙබසක් ඇසුරෙන්.
“ආපුටුවක් ගෙන
මාපුටුවක් ගෙන
ඉදිරි හෙප්පුවෙන් බුලත් විටක් ගෙන
ඈඳි ගණින් කිරිල්ලියේ”‍
යැයි ගල් වඩු මාමා කියන බසට කිරිල්ලිය අවනත වන්නේ නැහැ.
මට ආපුටුංගෝත් එපා
මට මාපුටුංගෝත් එපා..!
ගල්වඩු මාමේ


මට ගල පලල බිත්තරය අරන් දියන්”‍ යැයි වටු කිරිල්ලිය ඉල්ලා සිටින්නේ කිසිදු මවු කෙනෙකුට පහසුවෙන් දරාගත නොහැකි දාරක ප්‍රේමයෙන්. ඒ තුළින් නාද නින්නාද වන්නේ උතුරේත් දකුණේත්, ලොව සියලු‍ මව්වරුන්ගේත් ආයාචනය නොවේ යැයි කාට නම් කිව හැකිද?


ඉතින් ඒ ගැහැනිය වෙනුවෙන් හඬක් නගන්නට මගේ ගැහැනුකම මම පාවිච්චි කරනවා.


පෙර පරම්පරාවේ ගුරුවරයා සහ ගුරු ජීවිතය ගැන සුපැහැදිලි චිත්‍රයක් අප ඉදිරියේ තබන ඔබ වර්තමාන පරපුරේ ගුරුවරියක්. මෙම පොත සමග සන්සන්දනය කළොත් අද අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන ඔබට ඇති හැඟීම මොකක්ද?


අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පමණක් නොවේ. විවෘත ආර්ථිකය තුළ අත්පත් කරගත නොහැකි සේ සම්පත් සුලභ වීම හැර, කවර හෝ ක්ෂේත්‍රයක ධනාත්මක වෙනසක් මා දකින්නේ නෑ. අවශ්‍ය අවම සම්පත් හෝ මිලදී ගැනීමට අවශ්‍ය ක්‍රය ශක්තිය ක්ෂය වී ගොස් තිබෙනවා. සම්පත් බෙදීයාමේ අසමානතාව නිසා මිනිසා මත පැටවී ඇති ජීවන බර, මෙන්ම අතෘප්තිකර හැඟීම්, තවදුරටත් වර්ධනය වී ඇති බවයි පෙනෙන්නේ.


විශේෂයෙන් පහළ මැද පන්තියට විශාල ආර්ථික පීඩනයකට මුහුණ දෙන ගමන්, හඹා යා යුතු සිහින ප්‍රමාණාත්මකව වැඩි වී තිබෙනවා.
ගුරුවරු අයිති වෙන්නේ මේ පන්තියට. මට පෙර පරපුරේ ගුරුවරුන් වන, මගේ දෙමාපියන් ගේ සිහින සහ අපේක්ෂා මා දුටුවා. මගේ පියා දිවිසැරිය අවසන් කොට නික්ම යන විටත් ඒවායෙන් සමහරක් සපල වී තිබුණේ නෑ.


එය එදා හෝ අද කියා වෙනසක් නැහැ. අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය ආකල්පමය වශයෙන් හෝ භෞතික වශයෙන් අත්පත් කරගත් දියුණුව සම්බන්ධයෙන් එදා මෙදා තුර සැලකිය යුතු වෙනසක් වර්ධනයක් මට නම් පෙනෙන්නේ නෑ. සාමාන්‍ය මිනිසාගේ හිස මත පතිත වී ඇති දේශපාලන අඳුර තවදුරටත් වර්ධනය වී තිබෙනවා. ඒ අඳුර විනිවිද පාර සොයා ගැනීමට පැහැදිලි චින්තනමය හා ආකල්පමය වෙනසක් අවශ්‍යයි. පොත හරහා , උත්ප්‍රාසාත්මක ව මා කතා කරන ඇතැම් කාරණා තුළ ඒ පිළිබඳ සිහින් ඉඟියක් තිබෙන බව ප්‍රවේශමෙන් පොත කියවන්නෙකුට අවබෝධ වේවි. ලියනගේ අමරකීර්ති මහැදුරුතුමන් කියන්නා සේම, මේ පොත හරහා මා විවර කරන පුංචි පුංචි කවුළු තුළින්, අතීත අනතීත අධ්‍යාපන සම්ප්‍රදායන් තුළ, ගුරු භුමිකාව ප්‍රශ්න කරන්නට ඔබට පුළුවන්. රැකියා කිහිපයක් අවසානයේ ගුරු වෘත්තියට පිවිසීම තුළ, අධ්‍යාපනයට ඇති අභියෝග, වෘත්තීය මට්ටමෙන් හා ඉන් පරිබාහිරව සිට පක්ෂග්‍රාහී නොවී බලන්නට මට අවස්ථාව ලැබුණා කියා මම විශ්වාස කරනවා.


ඒ සියලු අත්දැකීම් මෙහි මා ගොනු කළා. ඔබට එය දැනෙනවාද බලන්න කියා මා ඉල්ලා සිටිනවා.

 

 

සංවාදය
පුෂ්පා ඉලංගන්තිලක