ජිනා කොහෙ හරි ඉඳලා උන් ආරක්ෂා කරනවා කියලා මට හොඳටම විශ්වාසයි


ඉදින් සියල්ල වෙනස් වූයේ දිනේෂිට අදහාගත නොහැකි තරම් ඉක්මනිනි. තාත්තා තිස්සමහාරාමේ ගියේය. ලොකු මල්ලී පාසලින් අස් කරගෙන පිරිවෙනට ඇතුළත් කරන්නට ලොකු හාමුදුරුවෝ කටයුතු යෙදූහ. තමාත්, නංගීත්, පොඩි මල්ලීත් පන්තියේ ඊළඟ වසරට ඇතුළත් වූයේ වී නමුදු ජීවිතය නම් එහෙම පිටින්ම එකතැන නැවතී ඇතැයි හැඟීමක් දිනේෂිට දැනිණි. හුදෙකලාව, බිය,      ඊළඟ මොහොතේ කුමක් සිදුවෙනු ඇද්දැයි සිතා ගන්නට බැරි අවිනිශ්චිතතාව හැම විටම ඇගේ සිත පෙළුවේය. ඉඳහිට පැමිණ ඇගේ දුක්ගැනවිලිවලට සවන් දී සැනසුම් බස් දොඩන අම්මා ගේ ආත්මය, උසස් පෙළ විභාගයට පාඩම් කරමින් සිටියේ වුවත් වැට අද්දරට පැමිණ ඇය හා දොඩන පුරුද්ද අත නොහැරි සකුණ නොවන්නට ඇය එහෙම පිටින්ම කඩා වැටෙනවා නියතය. ඈතින් සිට වුවත් ඔවුන් දෙදෙනාම තමා ආරක්ෂා කරනවා ඇතැයි හැඟීම ඇයට සහනයක් වූයේය. 

“ඔයා කිසි දේකට බය වෙන්න එපා නංගී.. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් රෑ කීයට හරි කමක් නෑ මට කතා කරන්න.. මේ දවස්වල පාඩම් කරන හින්දා හුඟක් රෑ වෙනකම් මම ඇහැරලා ඉන්නෙ.. ඒ නැතත් ඔයා ගෙ කටහඬ ඇහෙනකොට තද නින්දක හිටියත් මට ඇහැරෙනවා ෂුවර්..” සකුණ කියා තිබිණි. 
මෙතෙක් ඈත් වී සිටි හීන් නෝනාත් නැවත ගෙදරට යන්නට එන්නට පටන් ගත්තේ කිත්සිරි තිස්සමහාරාමේ යන්නට පෙර ගොස් අම්මාගෙන් සමාව ඉල්ලා තමා එනතුරු දරුවන් බලා ගන්නැයි බැගෑපත්ව ඉල්ලා සිටි නිසාය. 


“කොල්ලා කෙසේ වෙතත් අර ළමිස්සියෙකුයි, හෙට අනිද්දා ළමිස්සියක් වෙන්න ඉන්න කෙල්ලෙකුයි ගෙදර දාලා උඹ එච්චර දුර යන්න හිතපු එකනම් වැරදියි පුතේ.. හදිස්සියෙ රෑකපානක ලෙඩක් දුකක් කරදරයක් වුණොත් උන් කාට කියන්න ද..?” 
හීන් නෝනා කීවාය. 


“වෙන කරන්න දෙයක් නෑ අම්මා.. මට මෙහෙ කරන්න රස්සාවකුත් නෑ.. හිත හදාගෙන ඉන්න පුළුවන්කමකුත් නෑ.. ඒ හින්දා මම යනවා.. අම්මටයි නංගිටයි ඉඩ තියෙන තියෙන වෙලාවට ගිහින් ටිකක් බලලා එන්නකො ඒ ඇති.. ජිනා කොහෙ හරි ඉඳලා උන් ආරක්ෂා කරනවා කියලා මට හොඳටම විශ්වාසයි..” 
නොපෙනෙන බලවේග, මිථ්‍යා විශ්වාස ආදියට සරදම් කරමින් සිනාසෙන කිත්සිරි අවධාරණයෙන් කීවේ හීන් නෝනා මවිතයට පත් කරමිනි. ඔහු එහෙම පිටින්ම වෙනස් වී ඇති බැව් ඇයට වැටහිණි. ඔහුගේ රැකියාව අහිමි කරලීම පිළිබඳව ඔහු තිසේරා මුදලාලිට දොස් පැවරුවේත් නැත. එය තමාගේ ග්‍රහචාරය නරක් වීම නිසා සිදු වූ දෙයක් යයි කීවා පමණකි. 
“එක අතකින් කිත්තා එහෙ ගිය එක හොඳයි පුතේ.. මෙහෙ හිටියානම් බීලා බීලා නිකම් නාස්ති වෙනවා.. කතරගම දෙයි හාමුදුරුවෝ වැඩවාසය කරන අඩවියනෙ.. උන්නාන්සෙ ඒකාට හරි මඟ පෙන්නයි..” 


දිනේෂිට අවවාද රැසක් දී කිත්සිරි පිටත්ව ගිය දිනයේ සවස පැමිණි හීන් නෝනා දිනේෂිට කීවාය. දිනේෂි මඳහසක් පෑවේ කිව යුතු යමක් සිතට නොනැඟු‍ණ නිසාය. තාත්තාත්, අම්මාත් නැති නිවසේ හුදෙකලා වූ දරු තිදෙනා පිළිබඳව කතරගම දෙවි හාමුදුරුවන් තුළ අනුකම්පාවක් නැද්දැයි අසන්නට සිත් වුව ද ආච්චි කෝප ගැන්වෙනු ඇතැයි බිය නිසා ඇය එවදන් මුව තුළම සිර කර ගත්තාය. සෑහෙන කලකට පසුව මේ නිවසට පය ගැසුවේ වී නමුත් දැන් ඔවුන්ට පිහිටට සිටින්නේ ආච්චි හා පොඩි නැන්දා පමණකි. 
“මට ඉතින් හැමදාම එන්න යන්න හැටියක් නෑ.. මම මගෙ කරුමාන්තෙ කර ගන්න එපායැ.. ඒකෙන්නෙ පනං හතරක් අතට එන්නෙ.. අනිත් එක මං ගෙදර නැතුවාම අරකි අර පේමසිරියා එක්ක නෙයියාඩම් නටනවා.. කසාද බඳින්නෙම නෑ කියලා එක අඬින් කියගෙන හිටිය හින්දා මම මඟු‍ලක් හොයන්න මහන්සි වුණෙත් නෑ, කිත්තට හොයන්න බලන්න ඉඩ දුන්නෙත් නෑ... දැන්නේ ඒකිට මදන විසේ ඔළුවට ගහලා තියෙන්නෙ..” 


ඇය ඊ ළඟට බැණ්නේ පොඩි නැන්දාට වුවත් දිනේෂිට ඒවායේ බරක්පතළක් තේරුණේ නැත. ඇය නැවත වරක් මඳහසක් පෑවාය. ඇළ ළඟ උණ පඳුරකට මුවා වී පොඩි නැන්දාත්, ප්‍රේමසිරි මාමාත් කතාබහ කරමින් සිටිනු කිහිප වරක් ඇය දැක තිබිණි. එහෙත් ඒ බවක් ආච්චිට කියන්නට ඇය ඉක්මන් වූයේ නැත. ඇය හූමිටිවත් තිබ්බේ නැතත් ආච්චි දිගටම කතා කරගෙන ගියාය. ආච්චි සිටින්නට ඇත්තේ සියල්ල කාට හෝ කියා සිත නිදහස් කර ගැනීමේ වුවමනාවෙන් පෙළෙමින් බැව් ඇයට වැටහිණි. 
“මං නැති කාලෙක ඒකි තනි වෙයි කියලා මම විස්සෝප වෙවී හිටියා තමයි.. ඒත් හරියට රැකීරස්සාවක්වත් නැති පේමසිරියට කැමති වෙන්න තරමට මේකිට රටේ ලෝකේ වෙන මිනිස්සු හිඟ වෙලා ගියා ද..? ” 


ආච්චි දිගින්දිගටම නැන්දාට මෙන්ම ප්‍රේමසිරි මාමාටත් දොස් තැබුවාය. 
“ඉතින් ප්‍රේමසිරි මාමා හොඳයිනෙ ආච්චි..” 
නිහඬවම සිටින්නට නොහැකි බැවින් දිනේෂි පැවසුවාය. ආච්චිම කියා ඇති පරිදි ඔහු කය වෙහෙසා වැඩ කරන අයෙකි. සුරාසූදුවෙන් හොරකමින් තොරය. ආච්චි දින දෙකතුනකට කොහෝ හෝ යද්දී හරක් රංචුව පමණක් නොව ගෙදරත් ප්‍රේමසිරිට බාර දී යන්නට පැකිළෙන්නේ නැත. එසේ තිබියදී ඇය ඔහුට මේ තරම් බණින්නේ මන්දැයි දිනේෂිට සිතා ගත නොහැකි වූයේය. 


“හොඳයි.. හොඳයි..” හීන් නෝනා කීවේ ඔලොක්කුවටය. 


“ආච්චිට බැරි ද රෑට අපේ ගෙදර නිදා ගන්න එන්න..? තාත්තයි අයියයි දෙන්නම නැතුව මට හරි තනියි..” 
නිසංක ඇගේ අතේ එල්ලී බැගෑපත් හඬින් විමසුවේය. දිනේෂිගේ පපුව එහෙම පිටින්ම පිළිස්සී ගියේය. නංගීත් පොඩි මල්ලීත් සිටින්නේ බොහෝ පාළුවෙනි. ඇයට ද ඒ හැඟීම් තදින්ම දැනුණත් ඇය ඉවසාගෙන සිටියේ අම්මාගේ වදන් සිහිපත් කරමිනි. එළඹෙන ඕනෑම දෙයකට සිහියෙන් හා දිරියෙන් මුහුණ දෙන බවට ඇය අම්මාට පොරොන්දු වී සිටියාය. 
“අනේ වස්තුවේ... පුළුවන්කමක් තියෙනවා නම් මම නෑවිත් ඉන්නවයැ.. උඹලා තුන් දෙනෙක්ම ඉන්නවනෙ.. ඉතින් මොන තනියක් ද..? අනිත් එක උඹ දැන් අක්කලා දෙන්නා බලා ගන්න පුළුවන් තරමට ලොකුයිනෙ..” ආච්චි පැවසුවේ ඔහුගේ හිස පිරිමදිමිනි. 


නිසංක ආඩම්බර සිනාවක් පාමින් අක්කලා දෙස බැලීය. 
“අම්මෝ ඔව්.. අපිව බලා ගන්න එක කෙසේ වෙතත් රෑ වුණාට පස්සෙ කාමරේකින් කාමරේකට යන්නෙත් නෑ බය ගුල්ලා..” 
අනුෂි සරදම් කළාය. නිසංකගේ මුහුණ වෙනස් වූයේය. 


“නංගි.. කට වහ ගන්නවා..” දිනේෂි සැර කළාය. 
අනුෂි ඉවතට ගියේ මුහුණ නරක් කරගෙනය. 


නංගි කීවේ ඇත්ත වුවත් පොඩි එකාට සරදම් කරනවාට ඇය කැමති වූයේ නැත. රෑ බෝවූ මොහොතේ සිටම ඔහු දිනේෂි ළඟින් ගැවසෙන්නට කුමක් හෝ කරුණක් සොයා ගන්නේය. නිදා ගත්තේත් නංගීටත් ඇයටත් මැදිනි. රාත්‍රි සිහිනෙන් බිය වී මහ හඬින් කෑ ගසා හඬන අවස්ථා ද නැත්තේ නොවේ. එවන් අවස්ථාවල ඔහු පාලනය කර ගන්නට නොහැකි වූ විට දිනේෂි ද හඬා වැටුණාය. මොන දෙයක් සිද්ද වුවත් ඇයට අනුෂි අවදි කරවා ගන්නට නම් පුළුවන් වූයේ නැත. 
“කරදර කරන්නෙ නැතුව ඉන්නකො අක්කෙ.. මට නිදිමතයි..” 


නොරිස්සුමින් කියමින් අනෙක් පසට හැරී නිදා ගන්නට පුරුදුව සිටි නිසා ඕනෑම දෙයකට තනිවම මුහුණ දෙන්නට ඇය හිත හදා ගත්තාය. රැයේ වැඩිපුර වේලාවක් ඇය සිටියේ අවදියෙනි. බල්ලෙක් බුරන හඬට පවා ඇය තිගැස්සුණාය. බීමතින් හෝ තාත්තා ඉස්තෝප්පුවේ නිදාගෙන සිටියේ නම් මේ බිය, හුදෙකලාව දැනෙන්නේ නෑ නොවේදැයි ඇයට සිතිණි. තාත්තා ඒ සා දුරකට යවන්නට නිත්‍යාත් තිසේරා මුදලාලිට යම් බලපෑමක් කරන්නට ඇතැයි හැඟීම නිසාත්, ඇය සකුණට යෝජනා වී තිබීම ගැන සඳසීලී නැන්දා ආඩම්බරයෙන් කතා කිරීම නිසාත් නිත්‍යා කෙරෙහි උපන් බලවත් තරහක් දිනේෂි තුළ තිබිණි. 


“අහු වෙයිනෙ කවදා හරි මට.. එතකොට හොඳවයින් දෙකක් කියන්නම්කො..” ඇය පාරම්බෑවාය. 


෴ ලබන සතියට ෴