ගැල් යුගයේ මිහිරියාව


 

‘‘බර බාගේ බර බාගේ- දුටුවේ සිහිවේ පෙර කාලේ...  
අර කිංකිණි නද- පැතිරී යනවා ගව කුර ලෙස මුසු වෙනවා...  
අඩනින්දේ පතුරන්නේ- රාළ ද ගෝනි පඩංගුවේ ඉන්නේ  
සතුටිනි ගැල පදවන්නේ..... බර බාගේ  
දුටුවේ සිහිවේ පෙර කාලේ..’’


සිරිල් ටිවුඩර් ප්‍රනාන්දු, හෙවත් අප කවුරුත් සී.ටී. ප්‍රනාන්දු යන නමින් හඳුනන ශිල්පියාගේ යථෝක්ත ගායනය සවනත වැකෙන මොහොතේ, අප මතකය, පෙර දවස ගැල් යුගය වෙත යොමු වන්නේ නිරායාසයෙනි.  


අදින් දශක පහ හයකට පෙර, අප හිමිරිදි උදයේ අවදිව පාඩම් කිරීමේ නියැළි සිටි අවස්ථාවන් මෙහි දී අප මතකයට නැගේ. ජනෙල් කවුළු තුළින් සේපාලිකා මල් සුවද පිස හැමූ මද නල.... මහ මග ගව කුර ගැටෙනා හඬ මුසු වූ, ගොනුන් ගෙල බැඳි මිණි කිංකිණි නාදය.... ඒ සියල්ල යටපත් කරමින්, ගැල්කරුවන් මුවින් ගිලිහුණු කරන්න සීපද... මේ සියලු යට ගිය සජීවී දසුන් මනසෙහි ස්පර්ශ වේ. පෙර දවස ගැල් යුගයේ මිහිරියාව, අප සිත් සතන් තුළ ජනන කරන්නේ, වදනින් පැහැදිලි කිරීම අසීරු චමත්කාරී මානසික ස්වභාවයකි.  
කාර්මික විප්ලවයට පූර්වයෙන් වූ යුගයන්හි ගමනේ බිමනේ යෙදෙන්නට, වන්දනාවේ යන්නට භාණ්ඩ ප්‍රවාහනයට පැවති එකම වාහනය වූයේ කරත්තයයි. සාම්ප්‍රදායික සමාජයේ ගැල් භාවිතය සිදුවූයේ නිල බල ක්‍රමයකට අනුරූපවය. එවකට ප්‍රභූ පැලැන්තියේ වාහනය ලෙස සලකන ලද්දේ තිරික්කලය සහ බක්කි කරත්තයයි. බක්කි කරත්තය දෙපස වාඩිවීම සඳහා ආසන පේළි තනා තිබිණි.  
ගවයන් යුගලක් විසින් ඇදගෙන යනු ලබන, ප්‍රමාණයෙන් විශාල බර කරත්ත සහ තනි ගවයෙකු විසින් ඇදගෙන යනු ලබන බර බාගය සාමාන්‍ය ජනතාවගේ ගමන් බිමන් සහ බඩු භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගැනිණි. කරත්තය ඇතුළත වැස්සෙන් හා දැඩි හිරු එළියෙන් ආරක්‍ෂා වීමට ‘අඹරාව’ නමින් හඳුන්වන පියස්සක් කරත්තයට සවි කෙරිණි. මෙම අඹරාව සෙවිලි කරගන්නේ පොල්අතුවලිනි. ‘කච්චෝරු කට්ටය’ කරත්තයේ රියදුර අසුනට ගැල් බසින් ව්‍යවහාරිත නාමයයි. එය කරත්තයේ ඉදිරිපස සවිකර ඇති පුළුල් ලෑල්ලකි.  
ගම පියසේ රේස් කරත්තය කලඑළි බසින්නේ සිංහල අලුත් අවුරුදු සමයෙහිදීය. එය භාවිත වන්නේ කරත්ත රේස් සඳහාය.  
බර කරත්තවල ගොනුගේ ගෙල වට සහ පසුපසින් මිණිගෙඩි එල්ලීමට ගැල් හිමියෝ සැලකිලිමත් වෙති.  


‘‘ගොනුගෙ අඟට කොපු දාපිය බබලන්ට  
ගොනුගේ කරට මිණි බැදැපිය නදදෙන්ට’’  


ගැල ඇදගෙන යන ගවයා අලංකාරීව තබා ගැනීම කෙරහි ගැල් කරුවන් දැක්වූ දැඩි උනන්දුව හා සැලකිලිමත් බව මෙම කරත්ත කවියෙන් මැනවින් ගම්‍ය වේ. ගැල් කරුවන්, තම ගැල අදින ගවයා වෙත මහත් දයාවක් හා කරුණාවක් දක්වති. ගොනා කරත්ත කරුට වහු දරුවෙකි. ගමන ආරම්භ කිරීමට ගවයාට කරත්ත කරු දැනුම් දෙන්නේ සතාගේ බඳට සියතින් මුදු පහරක් දෙමින්.’’ යමන් පුතා යනුවෙන් සුහදශීලි ආමන්ත්‍රණයකිනි.  


ශ්‍රී ලාංකික ජන ජීවිතයේ අත්‍යාවශ්‍ය වූ ගැල් ආශ්‍රීතව වෙනම ජන කාව්‍ය සාහිත්‍යයක් ගොඩ නැගී ඇත. ගවයන් දෙන්නෙක් බැඳ බඩු පිර වූ කරත්තයකට පවා, හපුතෙල් කන්ද වැනි දුෂ්කර ගමන් මාර්ගයක, කන්ද තරණය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. හපුතලේ දැඩි කඳු බෑවුම තරණයේ දී ගවයන් යුගලට ද කරත්තය ඇදීම අසීරුවේ. එවන් විට දී තණ්ඩලේ නමින් හැදින් වූ ස්ථානයේ ගොන් බානක් කුලියට දීමට රඳවා තැබීමේ ඉපැරණි සම්ප්‍රදායක් විය. ගැලහි වියගහට (ගවයාගේ ගෙල මත තබන ලීය) සමාන්තරව තවත් ලීයක් බැඳ අතිරේක ගවයන් දෙදෙනෙකු යෙදීම එහි දී සිදුවිය. ගොන් බාන් දෙක දෙදෙනකු පැද වූ බව කරත්ත කවිවල එන ‘‘දෙන්නා දෙපොලේ දක්කනවා’’ යන්නෙන් පෙනී යයි. එක ළඟ පේලියට ගමන් කරන ගැල් සමූහයක ඉදිරියෙන්ම ගැල් මෙහෙයවන පළපුරදු නායකයා තණ්ඩලේ නමින් හැදින්වෙයි.  


මෙම අවස්ථාව ගැල් ජන කවි සාහිත්‍යයේ මෙපරිද්දෙන් කදිමට විචිත්‍රණය වේ.  


තන්ඩලේ දෙන්න දොපොලේ දක්කන වා  
කටු කැලේ ගාලෙ නොලිහා වද දෙනවා  
හපුතලේ කන්ද දැකලා බඩ දනවා  
පව් කළ ගොනෝ ඇදපන් හපුතලෙ යනවා.  

 


ගැල් කරුවන් තම කාන්සිය විඩාව නිවා ගත්තේ, මුළු පරිසරය ප්‍රමෝධමත් කරවන සුළු, තමා, ගැල හා ගොනා, අවට පරිසරය සබැඳි ජන කවියක් හඬ නගා කීමෙනි.  


‘‘බණේ කොහොම කීවත් පවු පල දෙනවා. පිනේ අරුම නොසිතා අපි පහුවෙනවා.  
ගොනෝ උඹටත් කළ පවු තේරෙනවා- අනේ ගොනෝ ඇදපන් මීගමු යනවා.’’  


ගම්මානයේ සිට, මහා රෑ යාමයේ, වැසි පිනි දරමින්, නිදි, වරමින්, බඩු පිර වූ කරත්තයක් දක්කාගෙන, දුරුකතර ගෙවා සිදාදියට යාම, ගැල්කරුවා පමණක් නොව​ ගැල අදින ගවයා ද ලබන අති දුෂ්කර අත්දැකීමකි. ගැල් කරු එම පීඩාව මෙනෙහි කරන්නේ පෙර සසර සිදු කළ පවු පල දීමක් විලසිනි.  


‘‘බත උයලා කා බී අපි සිත සයුර- තණ කවලා ගොන් දෙන්නට දී වතුර  
නතර වෙලා අද රෑ ගාලෙහි වැතිර- එළිවන යාමෙ පිට වී යමු හිත මිතුර.’’  
‘‘වයිර ගොනා දණ ගහලා අදින කොට- මයිල ගොනා පැන්නයි පස්සට හොරට   
මොකද කරන්නේ පූරුවේ කළ පවට- ඇදපන් ගොනෝ ඇදපන් ගාල ගාවට.’’  


කරත්තය අදින ගවයා කෙරෙහි ගැල් කරු සිත පවත්නේ අසීමිත දායාවකි. කරුණාවකි. පෙර දිනයක ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ, බණ දෙසුමක දී නන්දිසාල ජාතකයෙහි විස්තර වන, ගැල අදින ගවයාට මෙන් සිතින් උවැටන් කිරීමේ වැදගත් කම පෙන්වා දුන් අයුරු ගැල පදවන්නාට සිහිපත් වූවා නිසැකය.  
ඒ අනුව, තම බඩ වියත රැක දෙන ගවයාට, විවේකයක් ලබා දීමට ඔහු යුහුසුළු වෙයි. රුක් සෙවණක, දිය කඩිත්තෙන් ජලය ගෙනවිත්, පැන් භාජනය ගොනුට සමීප කෙරේ. ගොනා වතුර ලෙව කමින් අසළ තමා වෙනුවෙන් තබා ඇති පිදුරු ගොඩෙහි මුහුණ සඟවාගෙන විවේක සුව විඳින සෙයකි. ගාලෙහි මෙවන් විවේක සුව විඳින ගවයන් සුලබ දසුනකි. ගාලේ රැඳී සෙසු ගැල්කරුවන් බුලත් විටක් හුවමාරු කර ගනිමින් සතුටු සාමචියේ ගැලී සිටිති.  


පුරාණයේ සිට වාර්ෂිකව පැවත එන කරත්ත පෙරහරක් ද අපට මෙම අවස්ථාවේ දී සිහිපත් වේ. මාදම්පේ කට්ටමහන සාන්ත ආනා දේවස්ථානයේ කරත්ත මංගල්‍යය සඳහා වාර්ෂිකව, ලංකාවේ සතර දිගින්, විචිත්‍රවත් ලෙසින් සැරසූ, ගොන් කරත්ත දෙසීයක් තුන්සීයක් පමණ එක පෙළට ගමන් කරනු දැක ගත හැකි වේ.   


19 වැනි සියවසේ මුල් භාගය දක්වා කරත්තයෙන් ඉටු වූයේ සුවිසල් සමාජ මෙහෙවරකි. 1905 වසරේ කරත්ත 23000ක් භාවිතයේ පැවති බව පැවසේ. කුමාරි ජයවර්ධන ගත් කතුවරිය විසින් ලියන ලද. ‘‘ශ්‍රී ලංකා කම්කරු ව්‍යාපාරයේ නැගීම’ කෘතියේ සඳහන් කරන පරිදි, කරත්තකරුවන් විසින් පිහිටුවාගෙන තිබූ සංගමයක් මගින්, කොළඹ නාගරිකය තුළ මහා වැඩ වර්ජනයක් මෙහෙයවනු ලැබිණි. 1906 අගෝස්තු 13 දා සිට 16දා දක්වා කරත්තකරුවන් පන්දහසක් පමණ සහභාගි වූ මෙම වැඩ වර්ජනයෙන් නාගරිකයේ සියලු වෙළෙඳ කටයුතු අඩාළ වූ බැව් වාර්තා වේ. කරත්තකරුවන් ජයග්‍රහණය කළහ. කොළඹ නගර සභාව, කරත්තකරුවන් කරත්තයේ බෝන්ලීයේ වාඩි වී කරත්ත දැක්කීම තහනම් කිරීමේ නීතියක් පැනවීම, මෙම වැඩ වර්ජනයට මුල් විය.  


එවකට ප්‍රකාශයට පත් වූ ‘සරසවි සඳරැස’ පුවත්පත කරත්ත කරුවන්ගේ ගැටුම්, විචිත්‍රත්වයෙන් වාර්තාකර තිබුණේ මේ අයුරිනි.  
... නාගරික සභාව තුළ 5000ක් පමණ රැස්වී සිටියහ. කොළඹ ජනයා ද, ගැටව්ද මහත්සේ කිපී සිටියෝය. ඉඳ හිටලා කරත්තයක් ගියේ නම් එය අල්ලා හරකුන් ලිහා කරත්තය පෙරළා දැමූහ. කොටුවේ ප්‍රධාන සාප්පුවක ඉංග්‍රීසි මැනේජර් කෙනකු බඩු පටවා ගත් කරත්තයක් කොටුවේ දුම්රිය පොළට ගෙනාවිට මල්වත්ත අසල දී කණ්ඩායමක් කරත්ත නැවැත්වීය. ඉංග්‍රීසිකාරයා පිස්තෝලයක් ඇතිව ඉදිරියට පැන්නාහ. වෙඩි වැදුනත් නොබියව සිංහලයකු ඉදිරියට පැන ඔහුට ගැසූ අතුල් පහරක් නිසා පිස්තෝලය බිම දමා ඔහු ක්‍රිස්තියානි සංගමයේ පොත් ගුලට රිංගුවේය. එවිට සිය ගණනක් ඔහු වටකරගෙන පොත් ගුලට ද ගසා වීදුරු ජනෙල් පොඩිකරන ලදී. කරත්තකරුවා ද පැන ගියේය. හරක් දෙන්නා කොටුව- පිටකොටුව වීදිවල දිව්වේය. කොල්ලෝ ​ගොන්නු පස්සේ පන්නමින් ගොනුන්ගේ භීතිය වැඩි කළේය. කරත්තය පාරේ පැත්තකට පෙරළන ලදී..  


ලාංකීය සමාජයේ අත්‍යවශ්‍ය අංගයක්ව පැවති කරත්තයට හිමිව තිබූ ප්‍රමුඛතාව අහිමි වීම ආරම්භ වූයේ නවීන තාක්‍ෂණයේ අරුණළු පැතිරීමත් සමගය. ලොව පේටන්ට් බලපත්‍රය ලද මුල්ම මෝටර් රථය 1886 දී ජර්මනියේ කාල් බෙන්ස් විසින් නිෂ්පාදනය කරනු ලැබිණි.  


එයින් වසර 16ට පසු, ශ්‍රී ලංකාවට සහ එහි ජන ජීවිතයට බලපෑ තාක්‍ෂණික විපර්යාසයක ආරම්භයට තුඩු දෙන සිදුවීමක් 1902 පෙබරවාරි මාසයේ දී වාර්තා විය. 8 HP තනි සිලින්ඩරයේ, වාෂ්ප බලයෙන් ධාවනය වන Rover නම් මෝටර් රථය, එඩ්ගාර් මණි විසින් ලංකාවට ගෙන්වනු ලැබිණි. එම සිදුවීම දිවයිනේ ප්‍රවාහනයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මුල්වූවා පමණක් නොව, එය ආර්ථිකයේ වර්ධනය කෙරෙහි ද බලපෑවේය. පාරම්පරික සමාජ තත්ත්වයන් වෙනස් කළේය. රටේ නාගරික හා ග්‍රාමීය අංශ එකට සම්බන්ධ කිරීමේ මුල පිරීමක් ද එමගින් සිදුවිය.  

 

ප්‍රථම වාහනය ලංකාවට ගෙන්වා වසර දහයක් ගත වීමට පෙර, නවීන වාහන අධික ධාරිතාවයකින් මෙරටට ගලා එන්නට වීමෙන්, අනුක්‍රමයෙන් ගැල් භාවිතය විශාල ප්‍රතිශතයකින් හීන ​ෙවන්නට වන, එනමුදු අප රට ජන ජීවිතය ගොයම් කෙත හා බැඳී පවත්නා තාක්, අප රට ගව සම්පත සුරැකී පවත්නා තාක් යුග ගැල් සංස්කෘතිය අප හා බද්ධව පවතිනු නිසැක.  

 

 

 

ආචාර්ය ගාමිණී කාරියවසම්