කිළිටි වූ පිඟානෙන් ජීවිතය තීරණය වූ ගැමුණු ගේ කතාව


 

දැවුණු තැන් වල නිවුණු මතක

 

කෝප්‍රල් ගැමුණුතැන්නගේ යුදබිමෙදී

1987 ජූනි 02 වැනි දින ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අඳුරුතම දිනයක් සටහන් විය. අම්පාර දිස්ත්‍රික්කයේ අරන්තලාවේදී ත්‍රස්තවාදීන් විසින් සිදුකළ භික්ෂු ඝාතනයෙන් අපවත් වූ භික්ෂූන් වහන්සේලා 33 දෙනකුගේ සිරුරු ඒ වනවිටත් අම්පාර නගර මධ්‍යයයේ වූ විහාරස්ථානයට රැගෙනවිත් තිබිණ. එම ආරංචිය ලද සැනින් දහස් ගණනින් පිරිස් එහි ඇදී එන්නට වූ අතර වේදනාව, කෝපය මුසු උහුලාගත නොහැකි තරමේ බැල්මක් ඒ සෑම මුහුණකම සටහන් වී තිබිණ. 


මේ අතර, යුද හමුදාවට නවකයින් බඳවා ගැනීම සඳහා වූ මූලික සම්මුඛ පරීක්‍ෂණවලින් සමත් පිරිසක් අම්පාර කොණ්ඩුවටුවාන් කඳවුරට කැඳවා තිබිණ. ඒ ඇඟිලි සලකුණු ලබාගැනීමේ කටයුතු සඳහාය. අරන්තලා සිදුවීම පිළිබඳ ඒ වනවිටත්, එලෙස නවක සෙබළුන් ලෙස යුද හමුදාවට එක්වීමට නියමිතව සිටි එම තරුණයින්ටද දැනගැනීමට ලැබී තිබිණ. ඔවුන්ද කොණ්ඩුවටුවාන් යුද හමුදා කඳවුරට යන අතරතුරදී ද, ඇතැමෙක් එහි ගොස් ඇඟිලි සලකුණු ලබාදීමේ කටයුතු නිමවා ආපසු පැමිණෙද්දී ද, අපවත් වූ එම භික්ෂූන් වහනසේලා බැලීම සඳහා එම විහාරස්ථානයට පැමිණෙන්නට වූහ.


අම්පාරේ පදිංචි, කහටගස්තැන්නගේ ගෙදර ගැමුණු ද එලෙස යුද හමුදාවට එක්වීමේ අදහසින් පැමිණ සිටි තරුණයෙකි. ඒ වනවිටත් ඔහුගේ වයස යාන්තමින් අවුරුදු 18 සම්පූර්ණ වූවා පමණි. සහෝදර සහෝදරියන් දස දෙනකුගෙන් යුත් පවුලක හත්වෙනියාව සිටි ඔහු පදිංචිව සිටියේ අම්පාර “නීත්ත” නම් ග්‍රාමයේය. මුලසිටම යුද හමුදාවට බැඳීමේ නොතින් ආසාවෙන් පසුවූ ඔහුව, ඒ සඳහා පොලඹවන ලද්දේද සිය පදිංචි ප්‍රදේශය පවා ත්‍රස්තවාදී තර්ජනයට ලක්ව තිබීම හේතුවෙනි. 


යුද හමුදාවට බැඳීම සඳහා ගැමුණු තරුණයාද අම්පාර කොණ්ඩුවටුවාන් කඳවුරට සම්මුඛ පරීක්‍ෂණය සඳහා සහභාගි  වූයේ 1987 මාර්තු 28 දිනය. එදින ඔහුගේ උපන් දිනය ද යෙදී තිබීම විශේෂත්වයකි. කෙසේ නමුත් සම්මුඛ පරීක්‍ෂණයේදී ඔහුගේ උස අඟල් භාගයක් අඩුවිය. (අවැසි උස වූයේ අඩි පහයි අඟල් පහකි) එදින පරීක්‍ෂණ මණ්ඩලයේ සිටියේ කපිතාන් සෙනෙවිරත්න නම් නිලධාරියෙකි. ඔහුගේ සහායට කෝප්‍රල් රංජිත් හා කෝප්‍රල් සේනාරත්න යන දෙදෙනෙක්ද වූහ. නියමිත උස අඩු වුවද තම උපන් දිනය දවසේම හමුදාවට බැඳීමට එලෙස තරුණයකු ඉදිරිපත්වීම කපිතාන් සෙනෙවිරත්නගේ ඇගයීමට බඳුන් විය. එනිසාම උස පිළිබඳ ගැටලුව නොතකා ඔහුව බඳවාගැනීමට කපිතාන්වරයා කටයුතු කළේය. “මේ වගේ මිනිස්සු තමයි මේ කාලේ හමුදාවට ඕනැ” ඔහුගේ අවසන් නිගමනය එය විය.


සියලු සම්මුඛ පරීක්ෂණ හා වෛද්‍ය පරීක්‍ෂණවලින් අනතුරුව, ගැමුණුතැන්නගේ ඇතුළු 546 දෙනෙක් ආධුනික පුහුණුව සඳහා අම්පාර පුහුණු පාසල වෙත රැගෙන යනු ලැබූහ. එහිදී, මාස නවයක කාලයක් පැවති එම පාඨමාලාව තුළදී අති දුෂ්කර මාස 06 ක කමාන්ඩෝ පුහුණුවක්ද ඔවුන්ට ලබාදෙන ලදී. පුහුණුව අවසානයේ ඒ ඒ රෙජිමේන්තු වෙත භටපිරිස් බෙදා වෙන් කෙරුණු අතර, ආධුනික සෙබළ ගැමුණු සමඟින් 98 දෙනෙක් 6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට ඇතුළත් වූ අතර, එතැන් පටන් ඔවුහු ක්‍රියාන්විත රාජකාරි සඳහා විවිධ තැන්වලට යොදවනු ලැබූහ. විශේෂයෙන්ම ඒ වනවිට අම්පාර දිස්ත්‍රික්කය අවට දීඝවාපිය, බුද්ධංගල, අරංතලාව, පොතුවිල්, කුමන, ලාහුගල, මහඔය ආදී මායිම් ගම්මාන බරපතළ ලෙස ත්‍රස්ත තර්ජනයට ලක්ව තිබීම හේතුවෙන් ඒවායේ ආරක්‍ෂාව සැලසීම ඔවුන් වෙත පැවරුණු ප්‍රමුඛතම වගකීම විය. අනතුරුව යාපනය ප්‍රදේශයේ රාජකාරි සඳහා එක්වූ ඔවුන් එහිදී “යාපනය කොටුව” හා “අලිමංකඩ” කඳවුරුවලදී ත්‍රස්තවාදීන් සමඟ අතිබිහිසුණු සටන් දෙකකට ද මුහුණ දුන්හ. සෙබළ ගැමුණු ද එම සටන්වලදී පෙරමුණේ ක්‍රියා කළ අයකු වූ අතර, එහිදී ඔහු ලබාගත් අත්දැකීම් සම්භාරය අතිමහත්ය.


මේ සියලු සිදුවීම් අතර තවදුරටත් කාලය ගෙවෙද්දී සෙබළ ගැමුණු විවාහ දිවියට එළැඹියේය. ඔහුගේ බිරිඳ වූයේ පාසල් වියේ සිටම පෙම්කළ තැනැත්තියකි. ඕ නමින් නිලන්ති රූපසිංහ වූවාය. අම්පාර ප්‍රදේශයේම යාබද ගමක පදිංචිව සිටි ඇය හා එක්වීම දිගුකාලීන පෙමක් අබිසෙස් ලැබීමකි. විවාහයත් සමගම ගුරු පත්වීමක්ද ලබන ඇය අම්පාර නීත්ත ග්‍රාමයෙහි වූ ප්‍රාථමික විද්‍යාලයේ ඉගැන්වීමේ කටයුතු සිදුකරනු ලැබුවාය. සිය නිවසේ සිට කිලෝ මීටර් 4 ක පමණ දුරකින් පිහිටි එම විද්‍යාලය අතිදුෂ්කර වූවකි. ඊට නිසි පරිදි ප්‍රවාහන පහසුකමක් හෝ නොපැවතියෙන් ඇය එය වෙත යන ලද්දේ ද පා ගමනින්මය. 


1991 වසරේ අගභාගයේ පමණ වනවිට ගැමුණු රාජකාරි කරන ලද්දේ අලිමංකඩ කඳවුරෙහිය. ඒ වනවිට කෝප්‍රල් නිලයට උසස්ව සිටි ඔහු ජීවිතයේ තීරණාත්මක අවස්ථා රැසකට මුහුණදී තිබූ පරිණත රණකාමියකු බවට පත්ව තිබුණේ නිරායාසයෙනි. එහිදී, මාස ගණනාවක් තිස්සේ එහි පැවති කලබලකාරී වාතාවරණය සමනය වෙත්ම එහි සිටි සෙබළ පිරිසට නිවාඩුවක් ලැබිණ. ඒ අනුව ගැමුණුතැන්නගේ හටද අම්පාරේ පිහිටි සිය නිවස කරා යාමේ අවස්ථාව උදාවිය. එදින ඔහු සමඟ ඔහුගේ මිතුරකු වූ එම කඳවුරේම සේවයේ නිරත කෝප්‍රල් කීර්තිසිංහ ද පැමිණියේය. බිබිලේ පදිංචිකරුවකු වූ ඔහු සෙබළ ගැමුණුගේම පාඨමාලා සගයෙක් ද විය. ඔහු එලෙස ගැමුණු සමඟ පැමිණ තිබුණේ අම්පාර නගරයේ බැංකු කටයුත්තක් සඳහාය. පෙරදී ඔවුන් කොණ්ඩුවටුවාන් කඳවුරෙහි පුහුණුව ලැබූ අවදියේ වැටුප් ලැබී තිබුණේ එහි වූ බැංකුවකටය. එහි ඉතිරි වී තිබූ මුදලක් ආපසු ගැනීම ඔහුගේ අරමුණ විය. ඒ අනුව එදින ගැමුණුතැන්නගේ ගේ නිවසේ නතරවූ ඔහු පසුදින සිය අවශ්‍යතාව ඉටුකර ගැනීමෙන් අනතුරුව යළි බිබිල බලා පිටත්විය.
කලකට පසු ලද නිවාඩුව හමුවේ ගැමුණු පසුවූයේ වෙනදාට වඩා උද්‌යෝගිමත් බවකිනි. ඒ වනවිට ඔහු කෝප්‍රල් නිලයට උසස්ව සිටීමත්, සිය බිරිඳ කුලුඳුල් දරු ප්‍රසූතියක් සඳහා සූදානමින් පසුවීමත් ඊට ප්‍රධානතම හේතු විය. සිය දරුවා ලැබීම සඳහා 1991 ඔක්තෝබර් මස 25 වැනි දින යෙදී තිබිණ. එනිසාම ඔහු නිවාඩුව වැඩිපුරම ගතකරන ලද්දේ බිරිඳගේ අවශ්‍යතා වෙනුවෙනි. ඇයට අවශ්‍ය ඇඳුම් පැලඳුම්, කෑමබීම සේම අනාගත දරුවා වෙනුවෙන් අවැසි දේ මිලදී ගන්නට ඔහු යුහුසුලු විය. මෙලෙස නියමිත දින ගණන ගතකොට සිය නිවාඩුව අවසන යළි රාජකාරි සඳහා නික්මුණු කෝප්‍රල් ගැමුණු, එදින සිය අවසන් සමුගැනීමේදී ද සිය ආදරණීය බිරිඳගේ කුස සිඹ යන්නට ද අමතක කළේ නැත. ඒ වනවිට කෝප්‍රල් කීර්තිසිංහ ද නිවාඩු අවසන බිබිලේ සිට අතරමඟ තැනකට පැමිණ තිබිණ. අනතුරුව දෙදෙනාම එක්ව යළි කඳවුර බලා ගිය අතර එදින 1991 අගෝස්තු 24 ලෙස දිනය සටහන්ව තිබිණ.


නිවාඩුවෙන් අනතුරුව කෝප්‍රල් ගැමුණුගේ රාජකාරි ස්ථානය වූයේ වව්නියාව ප්‍රදේශයේ වූ “කොක්එළිය” යි. ඒ වනවිට එහි සිටි 6 සිංහ රෙජිමේන්තු භට පිරිස් ඉදිරි ක්‍රියාන්විතයක් සඳහා සූදානම් වෙමින් තිබිණ. ඒකකයේ සියලු කණ්ඩායම් ප්‍රදේශයේ ජනශූන්‍යව තිබූ නිවාස, රජයේ ගොඩනැගිලි ආදියෙහි ස්ථානගතව ලහි ලහියේ ක්‍රියාන්විත අවශ්‍යතා සූදානම් කරන්නට වූයේ එළඹෙන අවස්ථාවට මුහුණදීම සඳහාය. කොක්එළිය කඳවුරු පරිශ්‍රයේ ස්ථාගත 6 සිංහ භට පිරිස් වෙත කෑම පිසීම වෙනම ස්ථානයක සිදුවිය. එහි සිට ඒ ඒ කණ්ඩායම් ස්ථාපිත තැන්වලට ට්‍රැක්ටර් හා ට්‍රක්රථ ආධාරයෙන් උදේ, දවල්, රාත්‍රි ආහාර රැගෙන ඒම සාමාන්‍ය පිළිවෙත විය. 1990 සැප්තැම්බර් 18 වැනි දින දහවල් එම ඒකක “සී” කණ්ඩායම් මූලස්ථානය වෙත සුපුරුදු ලෙස කල්දේරම්වල බහා දිවා ආහාරය රැගෙන එන ලදී. එහිදී, සෙබළු අනුපිළිවෙලින් පැමිණ එසේ රැගෙන ආ කෑම බෙදාගන්නට වූ අතර, එම පෝලිමේ තැනක එම “සී” කණ්ඩායමට අයත් සමීප යහළුවෝ තිදෙනෙක් වූහ. ඒ කෝප්‍රල් ගැමුණු තැන්නගේ මෙන්ම බිබිලේ පදිංචි කෝප්‍රල් කීර්තිසිංහ හා අම්පාරේ පදිංචි කෝප්‍රල් සමරසිංහය. ඔවුන් තිදෙනාම එකම පාඨමාලාවට අයත් වූවන් නිසාම පුහුණු කාලසීමාවේදී මෙන්ම ක්‍රියාන්විතවලදී ද කටයුතු කරන ලද්දේ එකටමය.
එදින දහවල් ආහාරය සඳහා බත් සමඟ හාල්මැස්සන් කරවල, පරිප්පු මෙන්ම ගෝවා මැල්ලුමක් ඇතුළත්ව තිබිණ. කෑම පෝලිමේ කෝප්‍රල් ගැමුණුට ඉදිරියේ සිටියේ කෝප්‍රල් කීර්තිසිංහ හා කෝප්‍රල් සමරසිංහය. එහිදී, ගැමුණුගේ පිඟාන කිසියම් හේතුවකින් අපවිත්‍ර වී තිබීම නිසා ඔහු ඉන් ඉවත්ව යාබද පිහිටි  ළිඳ වෙත ගියේ තම පිඟාන නැවත වරක් සෝදාගැනීමේ අටියෙනි. නමුත්, ඒ අතර සිදුවූයේ කිසිවකු බලාපොරොත්තු නොවූ සිදුවීමකි. ආහාර ගනිමින් සිටි සෙබළු රැඳී සිටි එම නිවස තුළින් ඇසුණේ විශාල පිපිරීමකි. ප්‍රදේශයම දෙවනත් කරමින් සිදුවූ එම පිපිරීම හමුවේ එම ස්ථානය කැබිලි ගොඩක් බවට පත්වූයේ ඇසිල්ලෙනි. එම කණ්ඩායමේ ආයුද ගබඩාවද එහි පිහිටා තිබීම පිපිරුම බරපතළ වෙන්නට හේතුවී තිබිණ. 


නිවසෙහි කලකට පෙර ත්‍රස්තවාදීන් විසින් සවිකරන ලද බෝම්බයක් පුපුරා යාමෙන් හෝ එහි ආයුධාගාරය තුළ වූ අත්වැරැද්දක් හේතුවෙන් එලෙස එම පිපිරීම සිදුවූවාදැයි ඒ මොහොතේ නිශ්චිත නොවීය. කෙසේ හෝ පිපිරීම හේතුවෙන් සිදුවූ විනාශය සුළුපටු නොවීය. ඉන් සෙබළු දෙදෙනකු මියගිය අතර, තවත් නිලධාරීන් හා සෙබළු කිහිපදෙනකුටද තුවාල සිදුවිය. එසේම, කඳවුර පැවති එම නිවසද සම්පූර්යෙන්ම පාහේ සුනුවිසුනු වී ගොස් තිබූ අතර, කෝප්‍රල් ගැමුණුද එහිදී සුළු තුවාල ලැබීය.
ඒ මොහොතේ සිය පිඟාන සේදීමේ අරමුණින් ඔහු කෑම බෙදාගන්නා ස්ථානයෙන් මොහොතකට බැහැරවීම ඔහුගේ වාසනාවට හේතුවී තිබිණ. නමුත්, එකී වාසනාව පරයා ඔහුගේ හද දවන වඩාත් වේදනාකාරී සිදුවීමක් එහි සිදුව තිබිණ. එනම් තම පාඨමාලා සගයන් ලෙස මෙන්ම ක්‍රියාන්විතයේ බොහෝ තීරණාත්මක අවස්ථාවලදී ද අත් නොහැර ළඟින්ම සිටි, එමෙන්ම පෞද්ගලික ජීවිතය තුළද කළණ මිතුරන් ලෙස කටයුතු කළ කෝප්‍රල් කීර්තිසිංහද කෝප්‍රල් සමරසිංහ ද එම පිපිරුමෙන් සදහටම සමුගෙන තිබීමයි. තම දෑස් ඉදිරිපිටදීම ඔවුන් මියගොස් සිටි ආකාරය දකිත්ම කෝප්‍රල් ගැමුණුට ඉහිලුම් නොවීය. ඒ වනවිටද තම දිවි බේරූ අපවිත්‍ර පිඟාන ඔහුගේ සුරතේ සිරවී තිබෙන බව කෝප්‍රල් ගැමුණුට දැනී තිබුණේ නැත.


අම්පාර නීත්ත කනිෂ්ඨ විද්‍යාලයේ දවසේ කටයුතු එදිනද සුපුරුදු ලෙස ඇරඹී තිබිණ. මේ අතර, පාසල් ගේට්ටුවෙන් ඇතුළට ආ පොලිස් ජීප් රථයකින් බැසි නිලධාරීන් දෙදෙනකු එක එල්ලේම විදුහල්පති කාර්යාලයට පිවිසියහ. හදිසියේ එලෙස පාසල වෙත පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ පැමිණීම එහි සිටි සැමට කුතුහලය දනවන්නක් විය. මේ අතරවාරයේ විදුහල්පති විසින් එහි ඉගැන්වීම් කටයුතු සිදුකරමින් සිටි නිලන්ති ගුරු මහත්මිය සිය කාර්යාලය වෙත කැඳවා ඇයට නිවසට යාමට සූදානම් වන ලෙස දැනුම් දුන්නේය. ඇය ඒ වනවිටත් මාස 07 ක පමණ ගැබිනියක්ව සිටි අතර, ඇයගේ තත්ත්වය හොඳින්ම අවබෝධ කොටගෙන සිටි විදුහල්පති, ඇයව කලබල වෙන තරමට යමක් නොකියන්නට වගබලාගත්තේය. 


ඒ වනවිට පොලිස් නිලධාරීන් හරහා විදුහල්පතිවරයාට දැනගන්නට ලැබුණේ පෙරදා කොක්එළිය කඳවුරෙහි වූ පිපිරීමක් හේතුවෙන් ඇයගේ ස්වාමියා වූ ගැමුණුතැන්නගේද මියගොස් ඇති බවයි. මේ අතර විදුහල්පති විසින් සඟවන්නට උත්සාහ ගනුයේ එතෙක් තම ස්වාමියා පිළිබඳ අසුබ ආරංචියක් බව ඇයට ඉවෙන් මෙන් දැනිණ. කිසිවකු එකඑල්ලේ නොපැවසුවද නිසැකවම තම සැමියාට කරදරයක් සිදුව ඇති බවට ඇයගේ නිගමනය විය. එහිදී, ඕ ඉමහත් සේ කලබලයට පත්ව අසල වූ පුටුවක වාඩිවූයේ තම කුස දෑතින්ම බදාගනිමිනි. නිලන්ති ගුරුතුමිය එලෙස විද්‍යාලයේදී අසනීප වීම හේතුවෙන් ඇයට වහාම රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය විය. නමුත්, ඒ සඳහා ප්‍රවාහන පහසුකමක් නොවූයෙන් යාබද පිහිටි යුද හමුදා කඳවුරක ජීප් රථයක් ඒ සඳහා යොදාගැනිණි. එහිදී, ඇයව අම්පාර රෝහල කරා යැවීමේදී එම විද්‍යාලයේම ගුරුවරියක් වූ විදුහල්පතිවරයාගේ බිරිඳවද පිටත්කර හැරීමට විදුහල්පතිවරයා කටයුතු කළේය.


කොක්එළිය කඳවුරෙහි එම සිදුවීමෙන් දින කිහිපයක ඇවෑමෙන් කෝප්‍රල් ගැමුණු වෙත යළි නිවාඩුවක් ලැබිණ. ඒ අනුව එදින හවස් වෙද්දී ඔහු මහනුවරට ළඟාවුවද එහි සිට අම්පාර වෙත යාම සඳහා බස් රථ නොවීය. විශේෂයෙන්ම රාත්‍රි කාලයේ අරන්තලාව ඔස්සේ අම්පාරට යන මාර්ගයේ වාහන ධාවනය නොකෙරිණ. උදෑසන 10.00 පටන් සවස 02.00 දක්වා පමණක් එම ප්‍රදේශවල වාහනය ධාවනය කෙරුණු අතර, බරපතළ ලෙස ත්‍රස්තවාදී තර්ජන පැවතීම ඊට හේතු විය. ඒ අනුව එදින රාත්‍රිය මහනුවර පොල්ගොල්ලේ පිහිටි තම හිතවතකුගේ නිවසේ නතර වූ කෝප්‍රල් ගැමුණු අම්පාරට ළඟා වූයේ පසුදින දහවලේය.


අම්පාර නගරයේ සිට නිවසට යන්නට මත්තෙන් යාබද වූ කඩයකින් තම බිරිඳ කැමති යමක් මිලදී ගන්නටද ගැමුණු අමතක කළේ නැත. ඒ අතරවාරයේ ඔහුට එහිදී හමුවූ පවුලේ ඥාතියකු දැනුම් දුන්නේ අනපේක්‍ෂිත තොරතුරකි. එනම්, තම බිරිඳ පෙර දිනක පාසලේදී අසනීපව අම්පාර රෝහල වෙත ඇතුළත් කොට එහිදී ඈ දරුවකු ප්‍රසූත කළ බවත් අනතුරුව දෙදෙනාම මහනුවර මහ රෝහල කරා මාරුකොට ඇති බවත්ය. ඉන් ඉමහත් තැතිගැන්මට පත්වූ ගැමුණු, ඒ මොහොතේම රෝහල වෙත යාමට අදහස් කළද ඒ සඳහා එහි කිසිදු බස් රථයක් නොවීය. එබැවින් තම නිවස වෙත ගිය ඔහුට බිරිඳ බැලීම සඳහා පිටත් වීමට සිදුවූයේ පසුදිනය. 
කොතරම් කඩිනමින් තම බිරිඳ දැකීමේ වුවමනාව කෝප්‍රල් ගැමුණු තුළ පැවතියද ප්‍රවාහන අපහසුතා හේතුවෙන් ඔහු රෝහල කරා එන විට මද්දහන වී තිබිණ. කෙසේ වුවද, දුරදීම තම බිරිඳ වාට්ටුවේ සුවෙන් සිටිනු දැකීම ඔහුට අස්වැසිල්ලක් විය. නමුත්, දරුවා ඒ වනවිටත් රඳවා සිටියේ දැඩිසත්කාරයේය. බිරිඳට ඇතිවූ මානසික කම්පනය හේතුවෙන් නියමිත කාලයට බොහෝ දිනකට පෙරදී දරුවා ලැබී තිබීමෙන් උපතේදීම ඔහු බරපතළ ලෙස ස්නායු ආබාධයකින් පෙළෙමින් තිබිණ.
වෛද්‍යවරුන්ගේ අනුදැනුම මත කෝප්‍රල් ගැමුණුටද දින කිහිපයක්ම බිරිඳගේ ආවතේව කටයුතු සඳහා රෝහලේ නතරවීමට එහිදී අවකාශ සැලසුණි. එතැන් සිට තවත් සතියක් පමණ ඇවෑමෙන් ඔහු බිරිඳ හා දරුවාද සමඟ යළි නිවස බලා යනුයේ සතුට දුක මුසුවූ මිශ්‍ර හැඟීමකිනි. එසේම එවර සිය නිවාඩුවද අවසන ගැමුණු යළි පිටත්වූයේද උතුරේ ක්‍රියාන්විත පෙදෙසටමය. ආබාධ සහිතව උපන්නද තම පුතු වෙනුවෙන් අමතර අභියෝගයකටද දිවිපුරා මුහුණදෙන්නට ඔවුන්ට සිදුවිය. ඒ වෙනුවෙන් වෛද්‍යවරු අසල හා රෝහල් තුළ ගත කළ කාලපරිච්ඡේදය සේම, ඔවුන් ගෙවූ කාලය කොතරම්දැයි මැන බැලිය නොහැකිය.  


ඉහත සිදුවීමට 32 වසරක් ඉක්මගියද, ඊට මැදිවූවන් එකී මතක සඟවා තවමත් යහතින් හිඳිති. කොතරම් අභියෝග එල්ලවුවද, දුක්ඛ දෝමනස්සයන් අත්වින්ද ද ඒවා සියල්ල අවශෝෂණය කරගනිමින් අදටත් ඔවුන් ජීවිතයට මුහුණදෙමින් සමබරව පොළොවට පය තියන්නට සමත්ව ඇත. ගැමුණුතැන්නගේ තවමත් විශ්‍රාමික රණවිරුවකු ලෙස යහතින් දිවිගෙවයි. ඔහුගේ බිරිඳ නිලන්ති ද පාඨමාලා ආචාර්යවරියක් ලෙස දිගු සේවා කාලයක් සම්පූර්ණ කොට සිටින්නීය. මේ වනවිට එම පුතු 30 වසක් ඉක්මවූ තරුණයකු ලෙස පසුවෙනුයේ කිසිවෙකුට බරක් නොවන ලෙසය. ජීවිතය පුදුමාකාරය. සොබාදහමේ හැටි එහෙමය. කිලිටි වූ පිඟානකින් ජීවිතය තීරණය වීමේ අරුමයද, කෑම භාජන අතරේ දිවි තොරවූ කෝප්‍රල් කීර්තිසිංහ, කෝප්‍රල් සමරසිංහ වැන්නන් පිළිබඳ වූ මතකද කෝප්‍රල් ගැමුණුගේ හදවතේ කොනක ඔහු මියෙන අවසන් මොහොත දක්වාම පවතිනු ඇත. 
-නිමි-