කමක් නෑ නෝනේ ඔයා මේ විදියට මගෙ ළඟ ඉන්නවානම් අපායත් මට දිව්‍ය ලෝකයක් වගේ දැනෙයි


තාත්තාට ගෙතුළට එන්නට දොර විවර නොකිරීම කුරිරුකමක් ලෙස දිනේෂිට දැනුණේම නැත. ඔහුට වුවමනා කර ඇත්තේ අම්මා ගෙන්වා ගැනීමට බැව් ඇයට වැටහිණි. ඇය පැමිණියහොත් දානය දීමෙන් තමා වරදක් නොකළ බැව් තාත්තාට පැහැදිලි කර දෙනවා නිසැකය. එම නිසා සිටින තැනම සිටින්නට ඔහුට ඉඩදීම මැනවැයි ඇය කල්පනා කළාය. ලොකු මල්ලී පුළුටු කර ගත් මුහුණින් යුතුව නිදිබර දෑස ද පිස දමමින් එතැනට පැමිණියේ ය. දිනේෂිගේ සිතට සහනයක් දැනෙන්නට වූයේය. තමා තනි වී නැතැයි දැනෙන මොහොත තරම් සුන්දර මොහොතක් අසරණ යුවතියකට තවත් උදා වන්නේ නැත. ඇය සිනාසෙන්නට තැත් දරමින් දොර අසළින් නැඟී සිටියාය. මලානික විදුලි පහන් ආලෝකයෙන් ලොකු මල්ලීගේ මුහුණ දිස් වූයේ කෝපයෙන් නෙළුෑ කැටයමක් විලසිනි. පහ වී යමින් තිබූ බිය නැවතත් ඇගේ සිත පහුරු ගාන්නට පටන් ගත්තේය.   

“මොකාද එළියෙ ඉන්නෙ..?” 


ඔහු රළු හඬින් ඇසුවේ ඇය දෙස සැකමුසු බැල්මක් හෙළමිනි. ඔහු මෙලෙස වැඩිහිටි ස්වරයෙන් කතා කරනවාට ඇය කැමති වූයේම නැත. එහෙත් ඔහු කෙරෙහි ඇති බිය නිසා සිතැඟි සඟවා ගන්නට ඇයට සිදු වූයේය. 


“කතා කරනවා.. මොකා එක්ක ද කටුකුටු ගගා කියෙව්වෙ..? වැස්ස හින්දා මට ඇහෙන්නෙ නැති වෙයි කියලා හිතන්න ඇති නේද..?” 
අවඥාසහගතව ඇසූ ඔහු ඇයට රිදෙන තරම් තදින් ඇගේ අතින් ඇද දොර අසළින් පසෙකට තල්ලු‍ කර දමා ඉස්තෝප්පුවේ සියලු‍ම විදුලි බුබුළු දැල්වූයේය. නිදිමතත්, වෙහෙසත්, සිත් වේදනාවත් මතටම ලොකු මල්ලීගේ අවමන් වදන් ද ඇද වැටෙනු දිනේෂිට දැනිණි. එහි පීඩාව මොන තරම් ද යත් ඇයට වචනයක්වත් කතා කරන්නට තොල් ඈත්මෑත් කර ගන්නට නොහැකි වූයේය. එහෙත් ඇගේ ඇස් කඳුළින් බොඳ වූයේ නිමේෂයකිනි. වරදක් නොකර වැරදිකාරියක වීම තරම් පාප කර්මයක් තවත් ලොව තිබිය නොහැකිය. එය දරා ගන්නට වඩාත් අසීරු ​ෙවන්නේ තමන්ගේ ආදරණීයම අයෙකු ඒ චෝදනාව කරන කල්හිය. 


ඒ ​​ෙවන විට වැස්ස සිහින් පොදක් තරමටම අඩු වී තිබිණි. සසංක දොර විවර කළේ ඇයතින් ගිලිහී වැටී, බිම තිබූ කිතුල් පොල්ල ද ඇහිඳ ගනිමිනි. පිටත සිටින තැනැත්තා කවුරුන් වුවත් තවමත් රැඳී සිටින්නේ නම් තමාගෙන් මැරුම් කන බවට ඔහු වහසි බස් ද දෙඩුවේය. අම්මා ජීවත්ව සිටි කාලයේ තටු කැඩුණ සමනලයෙකු දුටුවත් ඇස්වල කඳුළු පුරවා ගන්නා තරමේ සංවේදී සිතකට හිමිකම් කී ඔහුට මේ සිදු වී ඇත්තේ කුමක්දැයි දිනේෂිට සිතා ගන්නට නොහැකි වූයේය. 
විවර දොරින් දුටු දර්ශනයෙන් දිනේෂිගේ පපුව හෝස් ගා දැවී ගියේය. හිසේ සිට දෙපතුලටම තෙමී සිටි තාත්තා පාපිස්ස මත ගුලි වී නිදා සිටියේ බොහෝ අසරණ ලෙසටය. ඔහුගේ අසාමාන රළු බව නිසා උපන් භීතිය තවමත් පහව ගොස් නොතිබූ බැවින් සෘජුවම ඔහු වෙතට යන්නට ඇය මැලි වූවාය. ඇයට ඉකි ගැසී හැඬිණි. තෙමුණ බලු‍ කුක්කෙකු මෙලෙසින්ම ඉස්තෝප්පුවේ පාපිස්ස මත ගුලි වී බැගෑපත් දෑසින් තමා දෙස බැලූ දිනෙක මතකය ඇගේ සිත තුළ අවදි වූයේය. 
“අනේ පව්.. ඌට හොඳටම සීතල ඇති..” 


කියමින් පරණ රෙදිකඩකින් ඌ පිස දමන ලද්දේ තාත්තා විසිනි. ඒ තාත්තම අද එතැනම සීතලෙන් ගුලි වී සිටින්නේය. ඔහුගේ දියණිය ඔහුට ගෙතුළට එන්නට දොර විවර කළේ නැත. එය මොන තරම් වරදක්දැයි කියමින් හදවත දිනේෂිට දොස් පැවරුවේය. 
“තාත්තා..” සසංක කෑ ගැසුවේ මවිතයෙනි. 
දිනේෂි අතින් අත හැරුණ ආකාරයටම ඔහු අතින් ද කිතුල් පොල්ල බිම අත හැරුණි. තාත්තා අපැහැදිලි යමක් දොඩවමින් අත ඔසවන්නට තැත් කළ ද එය අප්‍රරාණිකව කඩා වැටුණේය. 


“මොනවා වෙලා ද මෙයාට..?” 
සසංක හඬා වැටෙන අක්කා දෙසත්, බිම ගුලි වී සිටින තාත්තා දෙසත් මාරුවෙන් මාරුවට බලමින් විමසුවේ බියපත් හඬිනි. 
“බීලා..” දිනේෂි තොල් පමණක් සොලවා පිළිතුරු දුන්නාය. 
මල්ලී ගේ මුහුණ අඳුරු වෙනු ඇයට පෙනිණි. 


“මේ ගෙදර ඉන්න උන් ඔක්කොටම පිස්සු..” 
මුමුණමින් බිම දණගසා ගත් ඔහු තාත්තාගේ උරහිසින් තදින් අල්ලා සෙල වූයේය. 
“නැගිටලා ගිහින් අර හාන්සි පුටුවෙන් නිදා ගන්න..” 
ඔහු කීවේ පිටස්තරයෙකුට කියන්නාක් මෙනි. තාත්තා ගැස්සී දෙනෙත් හැරියේය. ඒවා සම්පූර්ණයෙන්ම විවර නොවූයේ බීමත් විසින් ඇසි පිහාටුත් බර කරනු ලැබ ඇති නිසා විය යුතුයැයි දිනේෂිට සිතිණි. 


“මගෙ ජිනා.. ඔයා ආව ද නෝනෙ..? මං දන්නවා.. මං දන්නවා.. මොන තරම් දාන දුන්නත් ඔයා අපිව දාලා යන්නෙ නෑ කියලා.. ඔයා සැලකුව විදියට ගෙදර අනික් උන් මට සලකන්නෙ නෑ නෝනෙ.. උන් මට ගෙට යන්න දොරවත් ඇරියෙ නෑ..” 
ඔහු මල්ලීගේ අතින් අල්ලා ගනිමින් නන්දොඩවන්නට පටන් ගත්තේය. දිනේෂි වෙව්ලන්නට වූයේ හතර වටින්ම සීතල සුළඟක් ඇදී එන්නට පටන් ගත් නිසා නොවේ. අම්මාගේ ආත්මය ලොකු මල්ලීගේ සිරුරට ඇතුළු වී ඔහු මෙහෙයවනවා ඇතැයි හැඟීම නිසාය. 
“තාත්තගෙ සරමකුයි තුවායයි ගේන්න..” 


සෑහෙන දවසකට පසුව ලොකු මල්ලී මුදු හඬින් කතා කළේ ඇගේ පූර්ව නිගමනය නිවැරදි බැව් සනාථ කරමිනි. එසේ නොවන්නට ඔහු කවදාවත් මේ හෝරාවට අවදි ​ෙවන්නේ නැත. වැසි දිනයෙක නම් හිසේ සිට දෙපතුල දක්වාම රෙද්දෙන් වසාගෙන ගුලි වී නිදා ගන්නට ඔහු ප්‍රිය කරන්නේය. එසේ තද නින්දක සිටි ඔහු අවදි කරවන්නට ඇත්තේ අම්මා විසින් විය යුතුය. දිනේෂි සැනසුම් සුසුමක් හෙළා ගෙතුළට ගියාය. 


ඇය තාත්තාගේ සරමක්, කමීසයක් සහ තුවාය රැගෙන ආපසු එද්දී ලොකු මල්ලී විසින් ඔහු හාන්සි පුටුවේ දිගා කරනු ලැබ තිබිණි. උස මහත පිරිමියෙකු වන තාත්තා නැගිටුවා වත්තන් කරගෙන මඳක් එහායින් ඇති හාන්සි පුටුවට රැගෙන යාම මල්ලී වැනි යෞවනයෙකුට තනිව කළ හැකි දෙයක් නොවේ. ඔහුට එසේ කරන්නට ශක්තිය දෙන්නට ඇත්තේ අම්මා විය යුතුය. ජීවත්ව සිටින්නන්ට කරන්නට බැරි බොහෝ දේවල් මළ ගිය ඇත්තන් විසින් කරනු ලබන්නේය. 
“දැන් හැමදාම බීගෙන එන්න පුරුදු වුණා නේද..? මොන විකාරයක් ද මේ..? ඔය විදියට බීගෙන ආවම කවුරුවත් දොරවල් අරින්නෙ නෑ.. එළියෙම තමයි ඉන්න වෙන්නෙ..” 
ලොකු මල්ලී නොසතුටින් කියනු දිනේෂිට ඇසිණි. ඒවාත් අම්මාගේ වදන් බැව් ඇයට පසක් වූයේය. 


“කමක් නෑ නෝනෙ.. ඔයා මේ විදියට මගෙ ළඟ ඉන්නවානම් අපායත් මට දිව්‍ය ලෝකයක් වගේ දැනෙයි.. ඔව් ඇත්තමයි..” 
තාත්තා ගොත ගසමින් එකම දේවල් කිහිප වරක්ම කීවේය. ලොකු මල්ලී තුරුලු කර ගත්තේය. ඔහුගේ මුහුණ සිප ගත්තේය. කිහිප වරක්ම තාත්තාට තරවටු කරන්නට ඔහුට සිදු වූයේය. 


“කෝ.. ඕවා මට දීලා ඔයා ගිහින් නිදා ගන්න.. මම දොර වහන්නම්.. මෙයා බීගෙන ආවම කවදාවත් ඔයා එහෙම සාත්තු කරන්න එන්න එපා.. එළියෙම ඉන්න අරින්න..” 
ලොකු මල්ලී ඇය අතින් ඇඳුම් ටික ගත්තේ නොසතුටින් එසේ කියමිනි. තාත්තා සමඟ සුළු සුළු සිත් අමනාපකම් ඇති වූ අවස්ථාවල අම්මා කතා කරන්නේ එලෙසිනි. 
“හොඳයි අම්මා..” යනුවෙන් කියැවෙන්නට ආවත් වහා එවදන් ගිල ගත් දිනේෂි හිස සලා නැවතත් ගෙතුළට ගියාය. 


නංගී පසෙකින් ඇඳේ ඇලවෙද්දී ඇගේ සිත මහා සැහැල්ලු‍වකින් පිරී පැවතිණි. මෙතෙක්ම ඇය සිටියේ තමා දානය දුන් බැවින් අම්මා නිවසින් නික්ම යන්නට ඇතැයි හැඟීමය. එය එසේ නොවන බැව් ඇය ඒත්තු ගත්තාය. 


“ඔව් අම්මා.. අපිට ඔයා නැතුව ඉන්න බෑ.. කොයි විදියකට හරි අපිත් එක්කම ඉන්න.. ඒක අපිට කරදරයක් නෙමෙයි..” 


ඇය මිමිණුවේ පහන් සිතින් යුතුවය. 


෴ ලබන සතියට ෴