කංසා වැවීම හමුදාවට දෙන්න


 

බොහෝ විට පහළ මට්ටම් සමාජයේදී දුම්පානයට කංසා යොදා ගන්නේ සූස්තියක්, බොමට්, හූට්ටුවක්, බඩු මිටියක් යයි හඳුන්වමින්ය. පසුගියදා අතිවිශේෂ සම්භාවනාවට පාත්‍ර වූ චන්ද්‍රරත්න බණ්ඩාර විද්වතාගේ ‘‘ප්‍රේමානිශංස’’ නවකතාවේ මොනවට රසවිඳින්නට ලක් කරන ලිවිංටුගෙදර් - ලිඛිත විවාහ නොවී එකට ජීවත් වීම අතර තාරු දිවිය ගෙවනා ඉහළ ධන පැලැන්තියේදී මල් කෙමිය ලෙස හඳුන්වා ඇත.

වං වං කිය කියා ඉන්නේ නැතිව වම්බොටු යයි කීවාක් මෙන් කෙළින්ම අමුඩය පිටින්ම වැඩේට බැසිය යුතුය. මේ ලියන්නේ කංසා, ගංජා ගැනය. කංසා ගැන ලිවීමට අවුරුදු 54ක බුක්තියක් විදුලකර ගොරකයාට ඇති බව කිව යුතුය. 1968 අවුරුද්දේ එවකට ‘‘රිවිරැස’’ පුවත්පතට කංසා රාජධානියේ නටබුන් දුටිමි’’ යනුවෙන් මැද පිටුවේ සංචාර විචිත්‍රාංග ලිපිය සකස් කළේ බලංගොඩ සිට කල්තොට ලංගම බසයෙන් එදා සත 90 දුර ගොස් කල්තොට සිට සැතපුම් 14 හම්බෙගමුවට පයින් යාමෙනි.

 

වලවේ ගඟේ සංගිලිපාලමෙන් එගොඩ වී මැදබැද්ද වේලිඔය සුදුවැලි වැව පසුකර සිත්තරම්පලාන ගම්කාර්ය සභාවේ ‘‘හම්බෙගමුවට’’ එදා ගිය ‘‘මැරෙනව පේන්නෙ නැති’’ ගමට දැනට ලංකාදීප කර්තෘ මණ්ඩලයේ ආරියසේන හඳුවලයන්ද සම්බන්ධ විය. එදා 1968දී හම්බෙගමුව ප්‍රසිද්ධ වූයේ ‘‘කංසා රාජධානිය’’ ලෙසින්ය.
 
කංසා ගංජාවලට මහා ජාතික ඉතිහාසයක් ඇත. නාරද ඍෂි යුගයේ පටන් ‘‘චරක සංහිතාව’ට ද ඇතුළත් වූ ත්‍රෛ ලෝක පත්‍ර’’වලට ආයුර්වේදයේදී මුල් පුටුවම ලැබේ. සමාජය වෙනස්වීමේ වේගය ඉතා අධික වූ පසුගිය අවුරුදු 50 තුළ විවිධ මත්ද්‍රව්‍ය අධික භාවිතය නිසා කංසාවලට තුබූ පෞරුෂය පළුදු වී ඇත. Hemp යන්නට අර්ථ දක්වන මලලසේකර ශබ්ද කෝෂයේ ආසියාවට ආවේනික කැනබීස් ස්ටීවා නිසාද, හණ විශේෂයක් හා කංසා මර්ජුවානා වැනි මත්ද්‍රව්‍ය ලබාගන්නා ශාකයක් ලෙස දක්වා ඇත. සම්මත නීති ශබ්ද මාලාවේ Hemp යන්න කංසා ලෙස එක එල්ලේම හඳුන්වා ඇත. ක්ෂණික ප්‍රතික්‍රියා දක්වන ආයුර්වේදයේ ‘‘මදන මෝදකය’’ කාමේශ්වර මෝදකය ආදිය සාමාන්‍ය සමාජයේදී සලකන්නේ කංසා අධිමාත්‍රයෙන් අඩංගු බවය.
 
බොහෝ විට පහළ මට්ටම් සමාජයේදී දුම්පානයට කංසා යොදා ගන්නේ සූස්තියක්, බොමට්, හූට්ටුවක්, බඩු මිටියක් යයි හඳුන්වමින්ය. පසුගියදා අතිවිශේෂ සම්භාවනාවට පාත්‍ර වූ චන්ද්‍රරත්න බණ්ඩාර විද්වතාගේ ‘‘ප්‍රේමානිශංස’’ නවකතාවේ මොනවට රසවිඳින්නට ලක් කරන ලිවිංටුගෙදර් - ලිඛිත විවාහ නොවී එකට ජීවත් වීම අතර තාරු දිවිය ගෙවනා ඉහළ ධන පැලැන්තියේදී මල් කෙමිය ලෙස හඳුන්වා ඇත.
 
 
මෑතදී ආයුර්වේදය තුළින් හිස ඔසවමින් මතුවූ කංසා ශාකය කුලවැද්දීමේ සම්භාවිතාව හොඳටම මුදුන් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ කලාකාර මැතිනියගේ එඩිතර හා ස්වයංපෝෂිත යෝජනාව නිසාවෙන්ය. වන්නාටය. පාර්ලිමේන්තුවේ කටින් බතල හිටවන්නෝත් අධි වේගවාසි දාරළුවේ පණුකරඳභිධාන නායකකාරකාදීන් කැහැපට ගසා ගත්තෝ ඊයේ පෙරේදා උපන් පැටියාගේ පටන් නිවන් යන්න ඔන්න මෙන්න තුන්කුදු මහල්ලා දක්වා හැමෝටම ගංජා හූට්ටුවක් පොවන්නටය. තවත් පැත්තකින් අති පාරිශුද්ධ මානව හිමිකම් කාර තලතුනා උදවිය මේ දෙස බලන්නේ දෙවිදත්තෙරගේ සතුරා බුදුන් වහන්සේය යන දිස්ටියෙන්ය.
මේ හැම සර්වපාක්ෂිකයකුගේම සප්ත ආඬි භාෂණ පසෙකට යවා, ‘පිං පඩිය’’ මහජන ආධාරය වී දිළිඳු සහන යන්න සමෘද්ධිය වී ග්‍රාමසේවක ග්‍රාම නිලධාරි වී මහලු මඩම මහලු නිවාසය ඔස්සේ වැඩිහිටි සුරැකුම් නිකේතනය හෝ අභිමංසල වී අංගොඩ හා පිස්සන්කොටුව ජාතික මානසික විද්‍යායතනය යනුවෙන් අපූරුවට ස්ථාපනය වී මුළු පරිසරයම සමහන් වූවා සේ ගංජා කංසා යන පරණ අමුඩය සීරුමාරුකොට වෙනත් ඇඳුමක් ඇන්දවිය යුතුය.
 
අලගියවන්න මුකවෙටිතුමා තම ‘‘සුභාෂිතය’’ කාව්‍ය රචනාවේදී
 
කුලයෙන් උනු දනෝ මහතුන් සෙවුම් කොට
ඉසුරින් යුතුව පැමිණෙත් ගරු තනතුරට
වෙසෙසින් කුසුම් ගෙතුමෙන් සුමුසු රඹපට
සතොසින් සැපත් වේ නිරිඳුන් මුදුනතට
 
යනුවෙන් කියූ පරිදි කෙහෙල් පට්ටය මල් සමග හිමින් සීරුවේම රජුන්ගේ ඔළුව උඩටම නගින්නා සේ කංසා ශාකය ශ්‍රී ලංකා ජනතාවට සෞභාග්‍යය උදාකරන පුන්කලස මත අධිකාරිත්වයට පත් කිරීමේ මාතෘත්වය ගත් ඩයනා ගමගේ මැතිනියට ගරු කිරීමේ අකලංක අභිපාසයෙන් උතුම් වූ ශ්‍රී ලංකා රජයටත් මහජනතාවටත් දන්වා සිටින්නේ මෙතෙක් කාලයක් කංසා ගංජා යන නාමය භාවිතා කළත්, මින් ඉදිරියට ඒ වෙනුවට ‘‘ඩයනා’’ යන නාමය භාවිතා කිරීමටත් සියලුම ලියකියවිලිවල එකී ‘‘ඩයනා’’ යන නාමය සඳහන් කිරීමටත් යෝජනා කරන බවය.
 
මේ දිනවල කතා කළ යුතු පරිදිම සුභවාදී කෘතගුණයෙන් කතා කරන යුද හමුදා කෘෂි සේනාංකයේ සශ්‍රීක අස්වැන්නේ උද්දාමයට පෙර යුද හමුදා ගොවිතැනේ මුල් සංකල්පය ජනිත වූයේ ද හමුදාවෙන්ම බව සිහිපත් කිරීම වැදගත්වේ. 1967දී පමණ යුද හමුදා අනුදැනුම ලබන අනුයුක්ත සේනාංකයක් ලෙස ‘‘ගොවි හමුදාව’’ ස්ථාපිත කර ඇත. අලුතෙන්ම බඳවාගත් තරුණ පිරිස ගොවිභට කණ්ඩායම ලෙස හැඳින්වුවත් ලංකාවේ ඊනියා සංස්කෘතික ලක්ෂණයකට අනුව ඕනෑම වැඩකට පලිච්චි කතා දමනා කුඩුකේඩුකාරයන් කීවේ ‘‘බටගොයි හමුදාව’’ කියාය.
 
 
රජරට පළාතේ වැව් අමුණු ප්‍රතිසංස්කරණය කර නව වාරි මං වහ වහා නිම කළ කාර්යශූර සාර්ථක හමුදා කණ්ඩයට අණ මහිම දානය කළේ සෙනෙවිරත්න නම් පාන්ශු දේහධාරී කපිතාන්වරයා බව සතියක් පුරා ගොවි හමුදා කඳවුරේ ගොවි භටයන් සමග ගත කර පුවත්පත් විශේෂාංග කීපයක්ම රචනා කිරීමේ අත්දැකීම් ලැබූ මේ ලියුම්කරු දන්නේය.
දියුණු තාක්ෂණ ක්‍රමවේදයන්ට අනුගතව පරිසර හිතකාමී සශ්‍රීක වගාවන් ලෙස අක්කර සිය ගණනාවක් හමුදා භටයන් වෙතින් කළමනාකරණය වන බව යුද හමුදාව පෙන්වාදී ඇත. හමුදාවේම ප්‍රයෝජනයට මහා පරිමාණ බෝග වගා වන්ගේ ජයග්‍රහණය හමුදා කෘෂි සේනාංකය ලබාගත් බව මෑතදීම ප්‍රකාශයට පත් විය.
 
එසේ හෙයින්ම උත්තම ශ්‍රේණිවරයට ඔසවා ප්‍රතිව්‍යුහගත කරන ලද ඩයනා ආර්ථික වර්ධන ශාකයේ පෝෂිත පැවැත්ම නීතිය හා සාමය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළ කීර්තිධර යුද හමුදාවේ කෘෂි බලකාය වෙත නිල කිරීම කළ යුතු හා කළ හැකි ​හොඳම කාරිය වේ.
 
නොඑසේම පැනලා උදව්වට එන අතීසාර මිත්‍රයන්ට හෝ සංවිධාන සමාගම්වලට කලං මංචාඩි තරමේ කොටසක් දුනහොත් කරත්ත ඇන්ජින් බලය යොදාගෙන මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කළ පුක්කුසයන්ගේ ව්‍යාපෘති ගොඩටම වැටෙනවා ඇත.
 
 
 සටහන :
ආචාර්ය ජිනදාස වීරකෝන්