ඒ කියන්නේ ඒ කෙට්ටු කැත මූසලීට ඔයා ඒ තරමටම ආදරෙයි ..?


විභාගය ආසන්න වෙද්දී උසස් පෙළ සිසුන් පාසල් එන්නේ අවාරෙට අඹ වැටෙන්නාක් මෙනි. ටියුෂන් පන්ති යන්නට, කණ්ඩායම් වශයෙන් එකතු වී පාඩම් කරන්නට ඔවුහු පාසල් කාලය යොදා ගනිති. ඒ සමයේදී ශිෂ්‍ය නායකයන්ගේ පවා වගකීම් අවම වන්නේය. එම නිසා ඔවුන් ද පාසල් එන්නේ කලාතුරකිනි. සකුණ පාසල් දිවියට මෙන්ම මිතුරු ඇසුරටත් බොහෝ ලොල් වූයේය. එහෙත් නිත්‍යා විසින් ඔහුට පාසල් දිවිය තිත්ත කරවනු ලැබ තිබිණි.

දෙසැම්බර් නිවාඩුව ලැබුණ දිනයේ ශිෂ්‍ය නායකයන් සියලු දෙනාටම නොයෙකුත් වැඩ පැවරී තිබිණි. අනෙක් සිසුන් නික්ම ගියාට පසුව ද ඔවුන්ට පාසලේ රැඳී සිටින්නට සිදු වූයේය. සකුණ පන්ති කාමරවල යම් අඩුපාඩුවක් ඇද්දැයි පිරික්සා බලමින් ඇවිද ගියේ තනිවමය. ගෘහ විද්‍යාගාරයත්, සාමාන්‍ය පෙළ පන්ති පැවැත්වෙන ගොඩනැගිල්ලත් අතර පාළු ස්වභාවයකින් යුතු මඳ අඳුරු කොරිඩෝවක් තිබේ. දඟකාර සිනාවකින් යුත් නිත්‍යා මෙන්න මේ කොරිඩෝවේ නැවතී සිටියේ ඔහු පුදුමයටත්, කැලඹිල්ලටත් පත් කරවමිනි. 
“නිත්‍යා.. ඔයා මොනවද මෙතන කරන්නෙ..? ළමයි ඔක්කොමලා ගෙවල්වලට ගිහිල්ලත් ඉවරනෙ..”


ඇය හා දොඩන්නට කැමැත්තක් නොතිබුණේ වී නමුදු ශිෂ්‍ය නායකයෙකු වශයෙන් ඔහු එම පැනය නැඟිය යුතුව තිබිණි. ඇගේ දෙතොලේ වූ සිනාව මුහුණ පුරාම පැතිර ගියේ නිමේෂයකිනි. 


“මම හිටියෙ ඔයාව හම්බ වෙන්න..”
ඇය කිසිදු බියකින් සැකයකින් තොරව පැවසුවාය. එම ස්වරය සකුණ තිගස්වන්නට සමත් වූයේය.
“මාව හම්බ වෙන්න ඉස්කෝලේ ඇරුණට පස්සෙ මේ පාළු තැන්වලට වෙලා ඉන්න ඕනැ ද..? කියන්න තියෙන දෙයක් පන්තියට ඇවිත් කිව්වානම් ඉවරයිනෙ..”
ඔහු සිතට දිරි ගෙන කීවේ වටපිට ද සෝදිසියෙන් බලමිනි.  සිය ආත්ම ගරුත්වය ගැන මහ ඉහළින් සිතූ අයෙකු වූ ඔහු මෙතෙක් කලක් සිය නමේ කොතැනකවත් කළු බිඳක් හෝ තවරාගෙන නොතිබිණි. පාසලේ ගත කරන අවසන් මාස කිහිපයේත් එය එසේම පවත්වාගෙන යන්නට ඔහු අදිටන් කරගෙන සිටියේය. 
“එහෙම ඇවිත් කියන්න බැරි දෙයක් හින්දා තමයි මෙතෙන්ට වෙලා හිටියෙ.. අනිත් එක පන්තියට ආවත් ඔයා මාව ගණන් ගන්නෙත් නෑනෙ.. අපි දෙන්නා අතරේ කිසිම යාළුකමක් නෑ කියලා අර මූසල කෙල්ල ඉස්සරහම කියලා ඔයා මට අපහාසත් කළානෙ..”
නිත්‍යා එවර කීවේ තරහිනි. 
මුහුණේ මෙතෙක් පැවති සුන්දර සිනාව සැණින් අතුරුදන් වී ගොස් එහි බියකරු පෙනුමක් අරක් ගත්තේය. 
“මූසල කෙල්ල..? කවුද මූසල කෙල්ල..?”


ඇය අපහාස කළේ දිනේෂිට බව දැන දැනම ඔහු අමනාපයෙන් ප්‍රශ්න කළේය. 
“වෙන කවුද ඉතින්..? අර ඔයා කරේ තියාගෙන ඉන්න මළ හෝන්තුව මිසක්.. ඒකි මූසලියක් නෙමෙයි නම් ලොකු ළමයෙක් වුණ දවසෙම අම්මයි නංගියි මැරිලා යන්නෙ නෑනෙ..”
ඇගේ ද්වේෂ සහගත ස්වරය ඔහුගේ සිත කීරි ගැස්වූයේය. කිසිවෙකු දිනේෂිට අපහාස කරනවාට හෝ ඇය රිදවනවාට ඔහු කැමති වූයේ නැත. ඇය ආරක්ෂා කිරීම තමාගේ වගකීම බැව් ඔහු හැම වේලාවේම විශ්වාස කළේය. ඇය මූසල කෙල්ලක බැව් පැවසූ සිය අම්මා සමඟත් ඔහු අමනාප වූයේය. දිනේෂිගේ අම්මා කුස උත් දරුවාත් සමඟම මිය ගියේ ඇගේ මූසලකම නිසා නොවන බැව් ඔප්පු කරන්නට මොන අවදානමක් ගන්නට වුව ද ඔහු පැකිලුණේ නැත. 
“නිත්‍යා මේ..”
ඔහු කතා කළේ ඇගේ මුහුණටම ඇඟිල්ල දිගු කර ලෙලවමිනි.
“දිනූට අපහාස වෙන විදියෙ තව එකම එක වචනයක්වත් ඔය කටින් පිට වුණොත් එහෙම මට ඔයා කෙල්ලෙක් කියන එක වගේම මං ප්‍රිෆෙක්ට් කෙනෙක් කියන එකත් අමතක වෙයි හොඳද..? ඒ හින්දා කියන්න තියෙන දෙයක් කෙටියෙන් කියලා යන එක අපි දෙන්නටම හොඳයි..”
“ඒ කියන්නෙ ඒ කෙට්ටු කැත මූසලීට ඔයා ඒ තරමටම ආදරෙයි..?”


නිත්‍යා විමසුවේ දම් ඇටයක පාටට මුහුණ කළු කරගෙනය. ඔහු දෙවන වරටත් ඇය හමුවේ තිගැස්සුණේය. නිත්‍යා හෝ  ඔහු පිළිබඳ හැඟීමෙන් පසු වූ බොහෝ යුවතියන් තරමට දිනේෂි රූමත් හෝ පුෂ්ටිමත් නොවන බැව් සැබෑවකි. ඇය පාසලේ හෝ ගමේ කැපී පෙනෙන යුවතියක ද නොවූවාය. එහෙත් ඇය දකින, ඇය සමඟ දොඩන හැම විටෙකම ඔහුගේ යොවුන් සිත තුළ නැවුම් හැඟීම් පිළිසිඳෙන බැව් ඇත්තකි. දිනකට වරක්වත් ඇය සමඟ වචනයක් දෙකක් කතා නොකළහොත් ඔහුට දැනෙන්නේ අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු වතාවතක් මඟ හැරුණ කල දැනෙන අන්දමේ අඩුවක් හා වරදකාරී හැඟීමකි.  
“දිනූ එක්ක වැට අයිනට වෙලා කතා කරන්න එපා..”
අම්මා විසින් අනතුරු අඟවනු ලැබ තිබියදීත් ඔහු ඒ වතාවත ඉටු කළේ එහෙයිනි. 
කිසිවෙකු පෙම්වතියක නැද්දැයි සරදමට හෝ අසන අවස්ථාවල ඔහුගේ සිතේ ඇඳුණේ දිනේෂි ගේ රුවමය. ඇය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට ඔහු දෙවරක් සිතුවේ නැත. ඒ හැඟීම් සියල්ල එකට කැටි කර එයට කෙටි නමක් දෙන්නේ නම් එය ආදරය විය යුතුයයි ඔහු මෙතෙක්ම දැන නොසිටියේය. සැබැවින්ම ඇතැම් දේවල් හරියටම පසක් වෙන්නේ කිසිවෙකු විසින් අවධාරණයෙන් කියනු ලැබූ කල්හිය. තමා පෙම්වතෙකු බවට හැඟීමෙන් සිතේ උපන් විළිබර බව මුසු අපූරු හැඟීම මන්දහාසයක් ලෙසින් දෙතොලට පිවිසෙනු සකුණට දැනුණේවත් නැත. 


“ඒකි මතක් කරනකොටත් මූණට එන මනමාල හිනාව පේනවනෙ..” නිත්‍යා පිපිරුවාය. 
“ඔයා මාව හම්බ වෙන්න ආවෙ දිනේෂි ගැන කතා කරන්න නෙමෙයිනෙ..?” ඔහු සන්සුන්ව ඇසීය. 
දිනේෂි සිහිපත් වෙද්දී ඔහුට දැනුණේ සිතට පවන් සලන්නාක් බඳු සුවයකි. ඒ සුවය තුළ තරහකට ඉඩක් නොවිණි. එහෙත් නිත්‍යා සිටියේ ඔහුගේ සන්සුන් සිත පහුරු ගා හැඩි කරමිනි. 


“ඒක ගැන කතා කරන්න නෙමෙයි.. ඒත් මං කතා කරන්න යන දේට ඒකිත් අදාළයි..”
“ෂිහ් නිත්‍යා ඔයා කතා කරන කැත. පුංචි පන්තියක ළමයෙකුට ඔහොම කියනව ද..?”  ඔහු කීවේ කලකිරීමෙනි. 
“ඒකිට රිද්දනකොට ඔයාටත් රිදෙනවා කියලා මම දන්නවා සකුණ.. ඒකි තමන්ගෙ  පන්තියට ගැලපෙන වැඩ නෙමෙයි කරන්නෙ.. ඒ හින්දා මං කොහොම කතා කළත් ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා.. හැබැයි මේක හොඳට මතක තියා ගන්න.. මම කිසිම දවසක කවුරුවත් වෙනුවෙන් ඔයාව අතාරින්නෙ නෑ..”
ඇගේ මුවින් පිට වෙන්නේ පාසල් යුවතියකට තරම් නොවන වචන නොවේදැයි ඔහුට සිතිණි. එහෙත් ඔහු ඇයට කතා කරන්නට ඉඩ දුන්නේය. මේ කතාව තවත් දවසකට සම්බන්ධ නොවී මෙතැනින්ම කෙළවර විය යුතුය. 


“ඒ කියන්නෙ එච්චර තදට ඔයා මාව අල්ලාගෙන ද ඉන්නෙ..? මම මෙච්චර කල් ඒක දැනගෙන හිටියෙ නෑනෙ..”
කෝපයෙන් කළු වීම නිසා සොඳුරු බව මැකුණ ඇගේ පැහැපත් මුහුණ දෙස සෝපාහාසයෙන් බලමින් ඔහු විමසුවේය. 
“දැනගෙන හිටිය නෑ නෙමෙයි.. නොදන්නවා වගේ රඟ පෑවා.. ඒත් දැන් ඒ රඟපෑම් ඉවරයි.. ඔයා බලාගෙන ඉන්නකො මොකක්ද වෙන්නෙ කියලා.. මට එක සැරයක් රිදුණොත් අර ගල් මූසලීට සිය සැරයක් රිද්දලා තමයි මම පස්ස බලන්නෙ..”
“නිත්‍යා..” ඔහු කෑ ගැසීය. 


අත දිග හැර ඇයට අතුල් පහරක් දෙන්නට සිතට පිවිසි ආවේගය ඔහු මැඩ ගත්තේ දෑත තදින් මිටි කර ගනිමිනි. 
“ඒකිට රිදෙන එක දරා ගන්න බැරිනම් ඔයාට මං කියන විදියට වැඩ කරන්න වෙනවා කියලා මතක තියා ගන්න..”
උඩඟු ස්වරයෙන් පැවසූ ඇය ගස්සාගෙන යන්නට ගියාය. සකුණ ගල්ගැසී බලා සිටියේය. 


෴ ලබන සතියට ෴