ඒ අසිරිමත් නත්තල් තාරකාව


කිතු සමිඳුන්ගේ උපත සමරන අසිරිමත් නත්තල හා ගෙතුණු තාරකාවේ කතාවත් ශාස්ත්‍රවන්තයන්ගේ පැමිණීමත් පිළිබඳව සඳහන් වන්නේ නව ගිවිසුමේ ශූද්ධ වූ මතෙව්තුමාගේ සුවිශේෂයේ පමණි. ශුද්ධ වූ මාක්, ශුද්ධ වූ ලුක් හා ශූද්ධ වූ යොහාන් ඇතුළු අනකුත් සුවිශේෂ කවරුන් ඒ සිද්ධිය පිළිබඳව නිහඬව සිටිති. කිතු සමිඳාණන්ගේ උපත පිළිබඳව මුලින්ම දැනගනු ලබන්නේ බෙත්ලෙහෙම අසල තම බැටළුවන් රැකබලා ගෙන රැය පහන් කළ දුප්පත් එඬේරුන් විසිනි.   

ස්වාමින් වහන්සේගේ තේජස රාත්‍රියේදී ඔවුන් අවට බැබළුණි. ඔහු අතිශයින් බියට පත්වූහ. භය නොවෙල්ලා. මුළු සෙනගට ඉමහත් ආනන්දජනක මංගල පුවතක් මම ඔබවෙත ගෙන එමි. මක්නිසාදයත් ස්වාමි වූ ක්‍රිස්තුස් නම් ගැලවුම්කාරයෙක් නුඹලාට දාවිත් නුවර උපන් සේක. රෙදිවලින් ඔතා ගවයන් කන ඔරුවක බහා ඉන්නා ළදරුවෙක් උඹලාට සම්භවන්නේ යයි දේව දූතයා එ​ඬේරුන්ට කීවේය. (ලූක් 2 9- 12) එඩේරුන් බෙත්ලෙහෙමට ගොස් ළදරුවා බලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝය. ක්‍රිස්තුස් වහන්සේගේ උපත පිළිබඳව ලෝකයා දැනගනු ලබන්නේ දීප්තිමත්ව අහසේ දර්ශනය වූ තාරකාව ඇසුරිනි. ශාස්ත්‍රවන්තයන් තිදෙනා ජේසු නැමදීමට පැමිණෙන්නේ මේ වල්ගා තාරකාව පෙරදැරි කරගෙනය. එසේම මේ තරුව දුටු සමහර රජවරු පවා බියට පත්වූහ. තම බලයට අභියෝග කළ හැකි සුවිශේෂී බලවන්තයකුගේ උපත සිදුවී යයි ඔහු සැක පහළ කළහ.  
විශිෂ්ට ජවසම්පන්න පුරුෂයන්ගේ උත්පත්ති සමයේ හාස්කම් ලෙස ස්වභාව ධර්මය තුළ විවිධ විපර්යාසයන් සිදුවන බවක් පිළිබඳව විශ්වාසයක් පෙරදිග මෙන්ම අපරදිගද වැසියන් තුළ පවතී. බෞද්ධ සාහිත්‍යයේ සිදුහත් කුමරුගේ උපත පිළිබඳ විචිත්‍රවත් හාස්කම් සිදුවූ බවට වාර්තාවී ඇත.   


ග්‍රීක මැසිඩෝනියානු රණශූරයකු වූ මහා ඇලෙක්සැන්ඩර් කුමරාගේ උපත සිදුවූ සමයේ පුදුම තාරකාවක් පායන ලද බව වාර්තා වේ. අසිරිමත් උපත් සමග මෙවැනි සුවිශේෂතාරකාවන්ගේ හා අහසේ දර්ශනය වූ අලෝක කදම්බය පිළිබඳ තොරතුරු සටහන්ව ඇත. සිද්ධීන් අතර ප්‍රමුඛ පෙළේ සිද්ධියක් ලෙසින් කිතු සමිඳුන්ගේ උපත හා දිස්වූ වල්ගා තාරකා කතාවද ප්‍රචලිත එකකි. නත්තල පිළිබඳව කවුරුත් පාහේ දන්නා විස්මයජනක මනබඳින කතා ලෙස මේ තාර්කාවේ උදාව පිළිබඳව දැන සිටිති. සෑම නත්තලකටම ඉදි කෙරෙන නත්තල් ගසකම ගවලෙනකම ඉහළින් දර්ශනය වන්නේ වල්ගා තාරකාවයි.   


අතිරමණීය කිතු උපත පිළිබඳව කිතු උපතට පෙර දිවැසිවරුන් විසින් දෙවියන් වහන්සේ දේව අනාවරණයක් ලෙස මෙලොවට ඒ පිළිබඳව ප්‍රකාශ කර තිබුණි. යෙසායා දිවැසිවරය අනාවැකිය සමිදානන් වහන්සේ නුඹලාට ලකුණක් දෙන සේක. බලන්න කන්‍යාවියක් ගර්භනීයව පුතකු වදා එම්මැනුවෙල් යන නාමය ඔහුට තබන්නීය. එතුමා අපේ රජවන සේක. උන්වහන්සේගේ නාමය අපූරුය. එතුමානෝ අසිරිමත් උපදේශකයා වන්නෝය. පරාක්‍රමවත් දෙවියන් වහන්සේය. සදාතනික පියාණෝය. සාම​යේ කුමාරයාණෝ යයි කියනු ලබන්නේය.  


දිවසිවරුන්ගේ අනාවැකි සම්පූර්ණ වී කිතු උපත සිදුවිය. ශාස්තෘවන්තයන් තිදෙනාගේ සම්ප්‍රාප්තිය සුභාරංචි පොතේ සඳහන් වන්නේ මෙලෙසිනි.   


බලව පූර්ව දිසාවන්හි ඔවුන් දුටු තාරකාව ළදරුවා උපන්තැන මුදුනට පැමිණ නවතිනතුරු ඔවුනට පෙරටුව ගියේය. ඔහු තාරකාව දැක ඉතාමහත් ප්‍රීතියකින් ප්‍රීති වූවෝය. ඔහු ගෙට වැද ළදරුවා ස්වකීය මව වූ මරියා සමග සිටිනවා දැක බිම වැටී උන්වහන්සේට පිදුවෝය. තව හෙරෝද් වෙතට නැවත නොයන ලෙසට දෙවියන් වහන්සේ විසින් ස්වප්නයකින් දන්වනු ලැබ ඔහු අන්මගකින් තමුන්ගේ රටට ගියෝය. මතෙව් (2 9-12)  


මේ රජවරුන් ​ෙහා් ඍෂිවරුන් හෝ ශාස්ත්‍රවන්තයන් හෝ යන තිදෙනාට පෙරදිග සිට ජෙරුසලමට පැමිණීමට මේ තාරකාව මග පෙන්වූ බව විශ්වාස කරති. ඇත්ත වශයෙන් මේ තාරකාව කුමක්ද? මෙය වල්ගා තාරකාවක් යැයි ශුද්ධ වූ මතෙව්තුමා තම සුභාරංචි පොතේ සඳහන් නොකරයි. එසේ නම් මෙය වල්ගා තාරකාවක් වූයේ කෙසේද? නැතහොත් එය පිපිරෙන තාරකා ලෙස අහසේ පහළ වන සුපර්නෝනාවක්ද? විද්‍යාඥයින්ගේ අදහස් අනුව මෙවැනි තාරකා කලින් කලට ස්වභාවර්ධමයේ පහළවී ඇත. එය අවසානයේ විශ්වය දෙදරවන පිපිරීමකින් විනාශ වී යනු ඇත. විශ්වයේ විසිරී යන සුන්බුන්වලින් නැවත සූර්යයා වැනි තරු නිර්මාණය වනු ඇත. විද්‍යා පුනර්ජීවන සමයේ සිටි ජොහැන්නස් කෙප්ලර් නමැති අද්විතීය තාරකා විද්‍යාඥයා වාර්තා කරන ආකාරයට සුපර්නෝනාවක් අවසන් වරට දර්ශනය වී පුපුරා ගොස් ඇත්තේ 1604දීය.   


ඒ යෝධ පිපිරීමකින් එය මාස කීපයක් පුරා ප්‍රබල රැස් විහිදුවයි. මෙම උපරි නව තාරකාව. නව තාරකාවක් ලෙස කෙප්ලර් සලකයි. ​ජේසුස් වහන්සේ උපන් කාලයේ සිදුවූ ග්‍රහ යෝගය සමග උපරි නව තාරකාවක් ද එක්වන්නට ඇති බව කෙප්ලර්ගේ අදහස විය. බෙත්ලෙහෙමේ තාරකාව පිළිබඳ සංසිද්ධිය පැහැදිලි කිරීමට ඔහු උත්සාහ ගත්තේ එසේය.   
එසේ නම් මේ තරුව කුමක්ද? ලෝක ඉතිහාසයේ ප්‍රචලිත තාරකාව ලෙස සැලකෙන්නේ කවුරුත් දන්නා හේලීගේ වල්ගා තාරකාවයි. මිනිසාගේ සුමිතුරෙකු ලෙස නම් දරා ඇති හෙලීගේ වල්ගා තාරකාව වසර 76කට වරක් පෘථිවිය ආසන්නයට පැමිණෙන බව අපි දනිමු. මේ පිළිබඳව ඈත පටන්ම සටහන් තබා ඇත. ඉතිහාසය විමසා බැලීමේදී කිතු උපත සිදුවූවායැයි සැලකෙන කිතු වසර ආරම්භ කෙරෙන දෙසැම්බර් 24 වැනි දින මධ්‍යම රාත්‍රියේ මෙම වල්ගාතරුව උදාවී නැත. එසේම වාර්තා අනුව කිතු උපතට වසර 12කට පමණ පෙර මේ තරුව පෙනුණු බව සඳහන් වෙයි. ඓතිහාසික වාර්තා විමසීමේදී කිතු උපත සිදුවී ඇතැයි සම්මතයේ සැලකෙන දිනය පිළිබඳව මතභේද පවතී. 


කිතු උපත ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ ඊට වසර හතකට පෙරයයි විශ්වාස කරති. ක්‍රිස්තු වර්ෂයට පෙර හත්වැනි වසරේ පමණදී නම් අහසේ අසිරිමත් දර්ශනය පහළ වූ බව විද්‍යාඥයෝ සඳහන් කරති. නූතන විද්‍යාඥයෝ මේ අදහස් සනාථ කරති. ජ්‍යොතිර් විද්‍යාඥයෝ අදහස් සනාථ කරති. ඒ පහළ වූ ආලෝකය එම වසර තුළ තෙවරක්ම පහළ වූ බවද ඔවුහු වැඩිදුරටත් මත ප්‍රකාශ කරති. ක්‍රිස්තු පූර්ව හත්වැනි ශතවර්ෂයේ බෙත්ලෙහෙම් අහසේ පහළ වූ දර්ශනය කොපමණ විභූතිමත්ද කිවහොත් එදා අහස පිරික්සූ කවරකුට වුවද ඉන් විස්මයට පත්වන්නට ඉඩ තිබුණි. ඊට හේතුව ලෙස සැලකෙන්නේ ග්‍රහවස්තූන් දෙකක් එකිනෙක ළඟ පිහිටීම නිසා යයි සැලකේ. සූර්යයා වටා ග්‍රහයන් භ්‍රමණය වීමේදී එවැනි අවස්ථා උදාවිය හැකි බැව් සැලකේ. ගුරුශනි ග්‍රහයන් මෙසේ එකිනෙකට සමීපව කීපවරක් මේ වසරේ ගමන් කිරීම හේතුවෙන් වල්ගා තාරකාව සිරිගත් අසිරිමත් ආලෝකයක් අහස හරහා කඩින්කඩ වසර පුරා පැතිරී ගිය බව විශ්වාස කෙරේ.   


එසේ නම් මේ එදා රාත්‍රිය සඳඑළියෙන් තරුකැට සමූහයෙන් හා මේ සුවිශේෂී තාරකා එළියෙන් සෝභමානව මුළු විශ්මයම ඒකාලෝකකර තිබෙන්නට ඇතැයි සිතිය හැකිය. මේ තාරකාව පිපිරෙන තාරකාවක් හෝ පුදුමඑලවන වල්ගාතාරකාවක් නොව ස්වභාවධර්මයේ සංසිද්ධියක් ලෙස සැලකීම සාධාරණය. ගුරු - ශනි ග්‍රහයන් දෙදෙනාගේ හැසිරීම නිසා තැනුණු අපූරු තාරකා එළියක් ලෙස මේ වල්ගා තාරකාව හැඳින්විය හැකිය. එවැනි දිනෙක සර්වබලධාරී දෙවියන් වහන්සේ පේසුතුමාගේ උපත සිදු කරන්නට සැලසුම් කරන්නට ඇතැයි සිතීමේ වරදක් ඇතැයි නොසිතමි. 


එදා කිතුනු විශ්වාසය අනුව බල පරාක්‍රම දෙවි සමිදාණන් විසින් කිතු උපත සැලසුම් කර ඊට බද්ධකර තාරකාවේ සංසිද්ධිය නිර්මාණය කරන්නට ඇත. නැතහොත් තාරකාව සැලසුම් කර කිතු උපත නිර්මාණය කරන්නට ඇත. කෙසේ වුවද වැදගත් වන්නේ තාරකාව නොව ක්‍රිස්තෝත්පත්තියයි. මෙය තේරුමක් ඇති ප්‍රශ්නයක් නොවන්නේය. අප ගනුදෙනු කරන්නේ දේවධාර්මික වෘත්තාන්තයක් සමගිනි. එය තාරකා ශාස්ත්‍රය සමග පටලවා නොගත යුතුය. (නාසරතයේ ජේසුන් වහන්සේ ජෝශප් රැම්සිංගර් XVI බෙනඩික්ට ශුද්ධෝත්තම පියතුමා)

 

 

සටහන : 
කැනීෂියස් පලිහවඩන