ඇයි නැන්දා නිත්යා අක්කා ගැන අහන්නෙ...?


 

ඉදල බිත්තියට හේත්තු කළ දිනේෂි සිතට දැනුණ බියමුසු හැඟීම යටපත් කරගෙන සඳසීලී වෙතට ගියාය. ඇගේ දෙතොල මත වූයේ ආයාසයෙන් නංවා ගත් සිනාවකි.

“නැන්දා අද කඩේට ගියෙ නැද්ද..?”


“ඔහෙ නෑ බං.. අලු‍ත් අවුරුද්දක් ලබද්දී ගේදොර ටිකක් පිළිවෙළකට අස්පස් කර ගන්න එපායැ.. කැවිල්ලක් දෙකක් හදා ගන්නත් ඕන..”
සඳසීලී කියද්දී අම්මා සිහිපත් වීමෙන් උපන් දුකක් දිනේෂිගේ සිත ඉහවහා ගියේය. දෙසැම්බර් තිස් එක් වෙනිදාට අම්මා කියන්නේත් මේ ආකාරයටමය. ඇය සුසුමක් හෙළුවාය.
“උඹලට නම් ආච්චි කැවිලි අරන් එන්නෙ නැතෑ..”


සඳසීලී කීවේ ඇගේ සිත හැඳින ගත් කලෙක මෙනි. ආච්චි තාත්තා සමඟ අමනාපයෙන් පසු වන බැව් ඇයටවත් කියන්නට දිනේෂිට පුළුවන්කමක් නොවිණි. තිස්සදෙවේලේ කඩේම පසු වන බැවින් ගමේ සිදු වන බොහෝ දේවල් සඳසීලී දැන සිටියේ නැත.


“ඒක නෙමෙයි දිනූ.. මම මේ අපේ කොල්ලා ගෙදර නැති වෙලාවේ ආවේ උඹෙන් පොඩි කාරණයක් දැන ගන්න..”
අහළපහළ කිසිවෙකු සිටියේ නැතත් එය හරියටම තහවුරු කර ගන්නට මෙන් කිහිප වරක් වටපිට බැලූ සඳසීලී තවත් පියවරකින් වැටට ළං වූවාය. දිනේෂිට දැනුණේ තමා පිළිස්සෙන්නාක් බඳු හැඟීමකි. සකුණ සමඟ කතාබහ කිරීම සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණයකට ලක් වෙන්නට ඇය බලාපොරොත්තු වූවාය.
“හැබැයි මම මේක උඹෙන් ඇහැව්වා කියලා කාටවත් දැන ගන්න ඉඩ තියන්න එපා..”


“හා නැන්දෙ.. මම කාටවත් කියන්නෙ නෑ.. මොකක්ද නැන්දට දැන ගන්න ඕන..?” ඇය ඇසුවේ සිහිනයෙන් මෙනි.
අම්මා ගේ ආත්මය මෙහි සැරිසරන බව හැර අනෙක් ඕනෑම දෙයකට අවංකව පිළිතුරු දෙන්නට තමාට හැකි බැව් ඇය දැන සිටියාය.
“උඹලගෙ තාත්තා වැඩ කරන ලොරිය අයිති තිසේරා මුදලාලිලාගෙ ගෙදර ගිහින් තියේ ද..?”
එවර සඳසීලී ඇසුවේ මන්දස්මිතයකින් යුතුවය. කිසිදු අවස්ථා සම්බන්ධයක් වටහා ගත නොහැකි වූයේ වී නමුදු දිනේෂිගේ සිත තුළ වූ බියෙන් අඩක්ම අඩු වී ගියේය.
“ගිහින් තියෙනවා නැන්දා.. තෙල් ගාන අවුරුද්දට බුලත් දෙන්න යනකොට තාත්තා එක්ක යනවනෙ..”


“කොහොමද ගෙවල්දොරවල් එහෙම..?”


“අම්මෝ.. හරි ලස්සනයි.. මාලිගාවක් වාගෙ..”


දිනේෂි පැවසුවේ අම්මා විසින් වරක් කියන ලදුව සිතේ රැඳී තිබූ වදන්ය. ගම්වල නිවෙස් හා තිසේරා මුදලාලිගේ සුඛෝපභෝගි නිවස සංසන්දනය කරන්නට ඇය දැන සිටියේ නැත. එවන් නිවසක ජීවත් වීමේ ඇල්මක් ඇති වූයේත් නැත. ඒ අලංකාර මන්දිරයට පය තබන්නට පවා ඇය තුළ වූයේ බියකි.
“ඔව් ඉතින්.. තිසේරා මුදලාලි සල්ලි නැති කෙනෙක්යැ ඉතින්.. ඕනකමක් තියෙනවා නම් මේ ගමම වුණත් සල්ලි දීලා ගන්න බැරුවයැ..” සඳසීලී පැවසුවේ පුළුල් වූ සිනාවෙන් යුතුවය.
“අපේ අම්මත් ඔහොම කියලා තියෙනවා..” දිනේෂි කීවාය.
“ඒ මුදලාලි ගෙ දුව.. කවුද මේ.. ෂිහ්.. දිව අගම නම තියෙනවා එන්නෙ නෑනේ.. මොකක්ද මේ..මේ..”
සඳසීලී එනම සිහිපත් කර ගන්නට මෙන් කිහිප වරක් හිස් මුදුන කසා ගත්තාය.
“නිත්යා..”


සිහිපත් කරන්නට කැමැත්තක් නොතිබියේ වුවත් දිනේෂිට කියැවිණි. ඇගේ සිතේ කොතැනකින්දෝ අනතුරු ඇඟවීමේ සීනු නාදයක් නිකුත් වෙන්නට පටන් ගත්තේය.
“අන්න හරි.. නිත්යා.. නිත්යා.. ඒ ළමයත් උඹලගෙ ඉස්කෝලෙලු‍ නේද..? අපේ පුතාගෙ පන්තියේමයි කියලා කිව්වෙ..”
“නිත්යා අක්කා සකුණ අයියලගෙ පන්තියෙ නෙමෙයි.. වෙන පන්තියක.. හැබැයි දහ තුන වසරෙම තමයි..”
වැඩිහිටි කාන්තාවගේ මුහුණේ දිදුලන සොම්නස දෙස කුතුහලයෙන් බලාගෙනම දිනේෂි පැවසුවාය.
“එයා කොහොම කෙල්ලෙක් ද..?”


“ලස්සනයි.. හරි හොඳයි.. ක්‍රීඩාවලටත් හරි දක්ෂයි..”


නිත්යා කෙරෙහි අමනාපයක් සිත තුළ තිබුණේ වී නමුත් දිනේෂි ඇත්තම කීවාය. රූමත්කම, ක්‍රීඩා කෞශල්‍යය නිසා පමණක් නොව ධනවත්කම නිසාත් ඇය පාසල පුරාම ජනප්‍රිය වී සිටියාය. කවදාවත් කිසිවෙකු ඇගේ වරදක් කියනවා දිනේෂිට ඇසී තිබුණේ නැත. සකුණ නිසා ඇය දිනේෂිට තරවටු කළ බැව් කිසිවෙකු දැන ගතහොත් එය කවුරුවත් විශ්වාස කරන්නේත් නැත. ඇය සේනානි සමඟවත් නිත්යා ගැන නොදෙඩුවේ එහෙයිනි.
“ඇයි නැන්දා නිත්යා අක්කා ගැන අහන්නෙ..?”


සිය වචනයක් පාසාම අලෝකමත් වූ සඳසීලි ගේ මුහුණ දෙස බලමින් දිනේෂි විමසුවාය.


“ඔන්න උඹ කාටවත් ඒ කියන්නෙ ඉස්කෝලේ ළමයෙකුටවත් කියන්නෙ එහෙම නෑ හොඳ ද..?”


තවත් වරක් වටපිට බැලූ සඳසීලී තරවටු ස්වරයකින් කීවත් ඇගේ මුහුණේ වූ සොම්නස් පෙනුම යන්තමින්වත් වියැකුණේ නැත. දිනේෂි තවත් ටිකක් දැවෙන්නට පටන් ගත්තාය.
“අනේ නෑ නැන්දා.. මට එහෙම කේළම් කියලා පුරුදු නෑ..”


“රට්ටු උඹට කොච්චර කතන්දර කිව්වත් උඹලගෙ අම්මා වගේම උඹත් හොඳයි කියලා මම දන්නවා.. ඒකනෙ වෙන කාගෙන්වත් අහන්නෙ නැතුව උඹෙන්ම මේ විස්තර ඇහැව්වෙ.. නිත්යා දුවත් කිව්වලු‍ උඹ එයා ගැන හොඳට දන්නවා කියලා..”


සඳසීලී නැවතත් කතාව පඳුර වටේ පටලවන්නට ගත් කල දිනේෂි බොහෝ සෙයින් නොසන්සුන් වූවාය. රට්ටු තමා ගැන කියන්නේ කුමනාකාරයේ කතන්දරදැයි දැන ගැනීමේ වුවමනාව මෙන්ම නිත්යා අර වන් කතාවක් කිව්වේ මන්දැයි කුකුසත් ඇයට වද දුන්නේය.
“නිත්යා දුවගෙයි අපේ පුතාගෙයි සම්බන්ධයක් තියනවලු‍.. ඒත් පුතා ශිෂ්‍ය නායකයෙක් හින්දා ගුරුවරයෙක් හරි දැනගෙන ප්‍රශ්නයක් ඇති වෙයි කියලා ඒ දරුවා කෙළින්ම ගෙදරට කියලා. තිසේරා මුදලාලි අපිට කෝල් එකක් දීලා කිව්වා ළමයින්ගෙ කැමැත්තට අකුල් හෙළන්නෙ නෑ විභාගෙ ඉවර වුණාට පස්සෙ කතාබහ කර ගනිමු කියලා..”
තමාගේ දෙපා අප්‍රාණික වී දෙසවන් සෝ සෝ හඬකින් පිරෙන්නාක් මෙන් දිනේෂිට දැනිණි. අම්මාගේ මරණය පිළිබඳ පුවත ඇසූ විටත් මෙවැනිම වෙනසක් සිරුරේ ඇති වූ බැව් ඇයට සිහිපත් වූයේය.


“ඒවා ඉතින් අපිට කිට්ටු කරන්නවත් පුළුවන් පවුල් නෙමෙයිනෙ.. අද හෙට නොකෙරුවත් කතාබහ කරලා තියෙන එක හොඳයි කියලා අපි හිතුවෙ ඒකයි..”
“සකුණ අයියා මොකද කියන්නෙ නැන්දෙ..?”


සිත පුපුරු ගසන දොම්නස ආයාසයෙන් සඟවා ගනිමින් දිනේෂි විමසුවාය. මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය වන්නේ සිය හොඳම හිතවතා වන සකුණ තමාට අහිමි වීම බැව් ඇයට වැටහිණි. එය ඇයට දරා ගන්නට නොහැකි වෙනවා නොඅනුමානය. නිත්යා ද මෙවැන්නක් කරන්නට ඇත්තේ ඇයට රිදවීම අරමුණු කරගෙනමය. අවසන් වරට හමු වූ විට ඇය විසින් කරන ලද තර්ජනය දිනේෂිට දිගින්දිගටම සිහිපත් වූයේය.
“එයා ඉතින් ආයෙ මොනවා කියන්න ද..? ඒ දෙන්නගෙ සම්බන්දෙට ගෙවල්වල අය කැමති වුණ එක ගැන හිතලා සන්තෝස වෙන්න එපායැ.. මම යනවා කෙල්ලෙ.. හෙට දවාලට උයන්න එපා.. මම උඹලටත් එක්කම උයන්නම්..”


කියාගෙන සඳසීලී යන්නට ගියාය. දිනේෂි ගල්ගැසුණාක් මෙන් එතැනම සිටගෙන බලා සිටියාය. සියලු‍ අයහපත් දේවල් තමාට පමණක් සිදු වන්නේ මන්දැයි ඇයට සිතා ගත නොහැකි වූයේය.


“ඔයා නැති වුණොත් මම හිතට දැනෙන හැමදේම කියන්නෙ කාට ද සකුණ අයියෙ..?”
මුමුණා ගත් ඇය එහෙමම බිම වාඩි වී දෙදණේ මුහුණ ඔබා ගත්තාය. ඇයට හෝ ගා හැඬෙන්නට වූයේය.


෴ ලබන සතියට ෴