ආහාර උද්ධමනයෙන් ලංකාවට ඉහළින් සිටින රටවල්


ශ්‍රී ලංකාව ලොව ඉහළම ආහාර උද්ධමනයක් සහිත රටවල් අතර හයවැනි ස්ථානයට පත්ව ඇතැයි ලෝක බැංකුව පවසයි. ලෝක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන්, ලෝක බැංකුව මෙම නොවැම්බරයේ නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව සඳහන් වී තිබේ.
 
එම වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 86 කි. ලොව දරුණුම ආහාර උද්ධමනය සහිත රට ලෙසද වාර්තාවේ ඉහළින් ම ඇත්තේ අප්‍රිකාවට අයත් සිම්බාබ්වේ රාජ්‍යයයි. සිම්බාබ්වේ රාජ්‍යයේ උද්ධමන අගය සියයට 321 ක් බව ලෝක බැංකු වාර්තාවේ දැක්වෙයි. 
 
සිම්බාබ්වේ මහ බැංකුව පෙන්වා දෙන ආකාරයට, එරට ආහාර උද්ධමනය ඉහළ ගොස් ඇත්තේ ඇමෙරිකාව, යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති සම්බාධක හේතුවෙනි. ඒ ජනාධිපති රොබට් මුගාබේගේ පාලන සමයේ සිදුවුණු දූෂණ වංචා සිදුවීම් මුල්කොට ගනිමිනි. 
 
ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල ඇත්තේ මැදපෙරදිග කලාපීය රාජ්‍යයන් වන ලෙබනනය සහ වෙනිසියුලාවය. ලෙබනනය සහ වෙනිසියුලාවේ ද ආහාර උද්ධමනය සියයට 100 ඉක්මවා ගොස් ඇත. එම අගය පිළිවෙළින් සියයට 208ක් සහ සියයට 158 කි. ලෙබනනය වසර ගණනක් තිස්සේ දේශපාලන අර්බුදයකට මුහුණ දෙන රාජ්‍යයකි. 
ලෙබනනයේ පවතින දේශපාලන අස්ථාවරත්වය රට අස්ථාවර කිරීමට හේතුවක් වී තිබේ. ලතින් ඇමෙරිකාවට අයත් වෙනිසියුලාව, ඇමෙරිකාවේ උදහසට ලක් වුණු රාජ්‍යයකි. වෙනිසියුලාවේ ආහාර උද්ධමනයක් නිර්මාණය වී ඇත්තේ ඇමෙරිකන් සම්බාධක හේතුවෙනි. 
 
මෙම රටවල් තුනට අමතරව, ශ්‍රී ලංකාවට වඩා වැඩි ආහාර උද්ධමනයක් සහිත රටවල් ලෙස ශ්‍රේණිගත කර ඇත්තේ තුර්කිය සහ ආර්ජන්ටිනාව. තුර්කියේ ආහාර උද්ධමනය 99 ක් බවත් ලතින් ඇමෙරිකා කලාපයට අයත් ආර්ජන්ටිනාවේ ආහාර උද්ධමනය සියයට 84 ක් බවත් ලෝක බැංකු වාර්තාවේ සඳහන් වෙයි. අප ශ්‍රී ලංකාවට පසුව ලැයිස්තුවේ ස්ථානගත වී ඇත්තේ ඉරානයයි. 
 
තුර්කියේ ආහාර උද්ධමනයට හේතුව ඉන්ධන, පොහොර ඇතුළු ගොවිපොළ කටයුතු සඳහා අවශ්‍ය ​යෙදවුම්වල මිල ඉහළ යෑමය. තුර්කි මුදල් ඒකකය දුර්වල වීම සහ සැපයුම් දාම අඩපණ වීම ද තවත් හේතුවකි. 
 
වෙනිසියුලාව මෙන්ම ආර්ජන්ටිනාව ද ලතින් ඇමෙරිකා රාජ්‍ය වේ. ප්‍රධාන ධාන්‍ය නිෂ්පාදකයකු වන්නේ ද ආර්ජන්ටිනාවය. ​ආර්ජන්ටිනාවේ ආහාර උද්ධමනය ඉහළ යෑමට හේතුව, ගෝලීය ආහාර හා ඉන්ධන මිල ඉහළ යෑමෙන් එල්ල වුණු බලපෑම යැයි ආර්ජන්ටිනා රජය පැහැදිලි කර තිබේ.
 
 
 
විශේෂ වාර්තාකරුවකුගෙනි 
බීබීසී වාර්තාවක් ඇසුරිනි.