ආදරය කරලා දරුවෙකුත් දීලා මහමග මරාදැමූ ’’විල්පත්තු රූමතිය ’’


 

මිනිස්සු විශ්වාස කරන හීන කොච්චර නම් බිඳ වැටෙනවද? ඒ වගේම මිනිස්සු විශ්වාසය තබන කොයිතරම් නම් අය ඒ විශ්වාසය බිඳල දාල අඬවල රවට්ටල, මග ඇරල යන්න යනවද? ‘‘ඇඩ්ලින් උඹ හරි... උඹට මහ අසාධාරණයක් වුණේ කියල ලියන්න මටත් පිළිවන්.. එක දරුවෙක් අතට දීල, තව දරුවෙක් බඩට දීල, බඳින්න කියල වැළහින්නක් වගේ අඬද්දි ඒ කඳුළුවලින් මේ පොළොව වැස්සක් වගේ තෙමෙන්න ඇත්නම් අන්තිමේ ඇඩ්ලින්ගෙ කඳුළුවලින් විතරක් නෙවෙයි, ලේ වලිනුත් මේ මහ පොළොව තෙත් වුණා.   


ආදරය කරල, දරුවො දීල, විවාහය මගහැර ම්ලේච්ඡ විදියට මරල දාන්න තරම් කුරිරු කමක්.. මේ අසාධාරණය අදත් මේ සමාජය ඇතුළෙ නැතිව නොවෙයි. නොබැඳ, කුසට දරුවෙක් දීල හැංගෙනකම, පිරිමිකමද කියල ගළපගන්න වගේම හිතන්න උත්සාහ කරන අයත් නැතිව නෙවෙයි. එහෙම අයට එදා ඇඩ්ලින්ගේ කතාවේත් සමානකම් දැනෙනු ඇති.   
විල්පත්තුව කී විට මහ කැලයක් සිහි නැගුණත් 50-60 දශකවල අයට විල්පත්තුව අදටත් ඇඩ්ලින් විතාරණ රූමතියගේ ඝාතනය සිහි නංවන්නක්. තවමත් ‘‘විල්පත්තු රූමතිය’’ මහ අඳුරු කතාවක අයිතිකාරියක්.   


1959 සිදුවූ විල්පත්තු රූමතිය ඝාතනයේ කතාව අද දිග හරිමු.   


අනුරාධපුර - පුත්තලම් පාරේ සමහර තැන්වල අදටත් මහ රාත්‍රියට මිනිස් පුළුටක් නැත. ගණ කළුවර කපාගෙන වාහනයක් දෙකක් ඉඳහිට එහාට මෙහාට යනවා පමණි.   
මීට දශක හතකට පමණ එහා පුත්තලම - අනුරාධපුර කොටස තනිකර කැලෑබද පෙදෙසක් විය. මහ රෑට වන අලිද, වන සත්තුද පාර අයිති කරගෙන සිටියහ. ඒ කළුවර රැයහි අඳුර මැදින් ලොරියක් දෙකක් පමණක් ධාවනය විය. ඒ තරම් පාළුවට ගිය පාරේ තිබිමිරිවල 27 කණුව කිට්ටුව ගැබිනියක් වූ ඇඩ්ලින් විතාරණ වාහනයකට යටකර මරා දමා තිබිණි. ඒ 1959 අවුරුද්දේ මාර්තු 14 වැනිදාය.   


ඊට පහුවදාක පත්තරවල මුල් සිරස්තලය වූයේ ‘‘රූමත් තරුණියක් ගෙල මිරිකා රථයකට යටකර මරා දමා ඇත’’ යන කතාවයි. එහි ඡායාරූප කීපයක්ද පළ වී තිබිණි.   
නාවලපිටියේ ඉස්කෝලෙක ගුරු විවේකාගාරයේ ඉඳන් පත්තරය බැලූ ඇග්නස්ට හීන් දාඩිය ගලා එන්නට විය.   
‘‘දෙයියනේ.... නංගි නේද?’’   


වැලි කෙළියේ පටන් එකට සිටි තම නංගි විල්පත්තු කැලේ පාරක යටකර ඇති බව කොහොම විශ්වාස කරන්නද? අහිංසක දෙමවුපියො කොහොම වාවන්නද? ඇග්නස් අක්කට ප්‍රශ්න වැළක් ගලා එන්නට විය. 

 
එදාම අම්මා - තාත්තා සමග අනුරාධපුර පොලිසියට ගොස් එතැනින් සිද්ධිය වූ තැනටද ඔවුහු ගියහ. පේන මානයක මහා වනය මිස ගෙයක් දොරක් නැත. පාළු පාරේ වාඩි වී ඇඩ්ලින් ඝාතනය වූ තැනම ලේ සීරාව දකිමින් පැය ගාණක් ඔවුහු ඉකි බින්දහ. මේ සිදුවීම වන විට ඇඩ්ලින්ට වයස 22ක් වූවා පමණි.   
දුටුවන් වසග කරන රූමතියක් වූ ඇඩ්ලින් අකාලයේ මේ මරණය වැලඳ ගත්තේ කෙසේද? ඒ නපුරු කතාවේ සුලමුල, අගමුල කිසිවක් සුන්දර නැත. එය එදත් අදත් අසුන්දර කමේ කඳුළු කතාවකට අයත්ය.   


ඇඩ්ලින් උපන්නේ 1937 අවුරුද්දේය. ඇයට වැඩිමල් අක්කා ඇග්නස්ය. මහනුවර කටුගස්තොට පදිංචිවී සිටි ඒබ්‍රහම් විතාරණ මහතාට හා පුංචි මැණිකාට දාව උපන් පුංචි සිඟිත්තියෝ මේ දෙදෙනා වූහ. ඒබ්‍රහම් කළේ කුඩා බේකරි ව්‍යාපාරයකි.   
ඇඩ්ලින් එකල ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. ඇය ක්‍රීඩාවටද බොහෝ සේ දක්ෂ දියණියක් වූ අතරම සාමාන්‍ය පෙළ විභාගයද ඉහළින්ම සමත් වූවාය. ඇඩ්ලින් නව යොවුන් වියට එළඹෙත්ම රූමත්කම දවසින් දවසම ඔපවත් විය.   
‘‘දුවේ... අත්තම්මට සනීප නෑ. මම ඇල්පිටියෙ ගෙදර යනවා... දුවත් එනවද යන්න...’’   
ඒබ්‍රහම් තම දියණිය වූ ඇඩ්ලින්ට කතා කළාය. ඇය දුම්රියේ මහ ගෙදර යන ගමනට දෙවරක් නොසිතාම එකඟත්වය පෑවාය.   
කෝච්චියේ ඇල්පිටියට යාම ඇඩ්ලින්ට විනෝදයක් විය.   
එදා තම පියා සමග ඇල්පිටිය ගෙදරට යන ගමනේදී ඇඩ්ලින්ට, කඩවසම් තරුණයකුගෙන් ආදර ඉඟියක් ලැබිණි.   
පියා එහෙට මෙහෙට වූ වේලාවක ඇඩ්ලින් හා වචනයක් කතා කරන්නට ඔහු ළං විය.   
‘‘කොහේද යන්නෙ...’’   

 


‘‘අපි ඇල්පිටියෙ යනවා... අප්පච්චිලගෙ මහ ගෙදර’’   
‘‘හ්ම්... මම ලාල් අතපත්තු, මම ලංකා බැංකුවෙ වැඩ කරන්නෙ. පානදුරේ ගෙවල්...’’ මේ එහෙ යන ගමන්...’’ මේ කතාව අවසන් වූයේ, දෙදෙනා විසින් ලිපිනයන්ද හුවමාරු කර ගැනීමෙනි.   
‘‘ලාල්ගේ හමුවීම, ඇඩ්ලින් විතාරණ තරුණියට ආදර හැඟුම් මෝදු කිරීමක් විය.   
ඉනප්සු දෙදෙනා රහසේ ලියුම් ගනුදෙනුද පවත්වන්නට පටන් ගත්හ. ඇඩ්ලින්ගේ ලියුමට, ලාල් අතපත්තු උත්තර ලිවීය. ලාල්ගේ ලියුමට ඇඩ්ලින්ද ලියුම් ලිවීය.   
‘‘මගේ අයියා ඉන්නෙ රඹුක්කන. ඒ නිසා මම නිතරම රඹුක්කනට එනවා. අයියට කඩ තියෙනවා. මමත් අලුත් කාර් එකක් ගන්න බලනවා...’’ ලාල් කී කතාවකි.   
මේ විදිහට ලාල් නිතරම ඇඩ්ලින් බලන්නට රඹුක්කනින් මහනුවර කෝච්චියට ගොඩ විය. ලාල් සහ ඇඩ්ලින්ගේ ආදර කතාවට මහනුවරත්, මහනුවර කෝච්චියත් නුහුරු තැන් නොවීය.   
‘‘ඔයා මාව බඳිනවා නේද?’’ ඇඩ්ලින් ලාල්ගෙන් විමසුවාය...   
‘‘ඔවු... ඇයි ඔයාට මාව විශ්වාස නැද්ද’’   
‘‘නෑ... ඉතින්... එහෙම නෙවෙයි...’’ ඇය ලජ්ජාවෙන් බිම බලා ගත්තාය...   
ආදර කතාවේ කෙළවරක් ඔවුන්ට නොදැනී ගියහ. ඔවුන් දවසක් දෙකක් නොව කීප විටක්ම කාමරයක ගුලි වූහ. ‘‘ලාල් ඇයි මට මෙහෙම කළේ... මම දැන් කොහොමද මේක කියන්නේ...’’   


‘‘ලාල් අතපත්තුගේත් ඇඩ්ලින්ගේත් එක්වීම එදා සමාජයට නව නින්දාවක ලකුණක් විය.   
‘‘ඇයි අපි මෙච්චර දුර ගියේ...’’ ඇඩ්ලින් සිතූ වාර අනන්තය.   
කාලය ගෙවී ගියේය. දවසක් ඇඩ්ලින්ට තරමක බඩේ කොරයක් ඇති විය.   
‘‘අම්මා... මගේ බඩේ කැක්කුමයි.’’ දවසක් දෙකක් නොයෙක් දේ බීවත් ගුණයක්ද නොවිණි. එම නිසා වෙද මහතකු හමුවට ඔවුහු ගියහ. ඇඩ්ලින් පරීක්ෂා කළ ඔහු, පුතේ... ඔයා අම්මා කෙනෙක් වෙන්න යන්නෙ’’... පුංචි මැණිකාගේ ඇස් උඩ ගියේය.   
පුංචි මැණිකාත්, ඇඩ්ලිනුත් ගෙදර ආවේ කරකියාගත දෙයක් නොමැතිවය.   
“දැන් කොහොමද තාත්තට මේවා කියන්නෙ. ගමට අපි මුහුණ දෙන්නෙ කොහොමද? වෙන්න තියන හැමදේම කොයිම හෝ හොඳක් තුළ වනු ඇතැයි ඇඩ්ලින් තීරණය කළාය. හොඳම දේ සියදිවි නසා ගැනීම නොව මැරි මැරී හෝ මෙයට මුහුණ දීම බව ඇය කල්පනා කළාය.   
‘‘ඇඩ්ලින්, තම මව හා එකතු වෙමින් ලාල් අතපත්තුට ලියුම් කඩදහියක් ලියා තැපැල් කළාය.   
‘‘ලාල්... මම අම්මා කෙනෙක් වෙන්න යන්නෙ, ඔයා නිසා. අම්මටයි, තාත්තටයි ඔයාට කතා කරන්න ඕනැලු. ඉක්මනින් ඇවිත් හමුවන්න.’’   
ලාල් පසුදා දිනයක මහනුවර කටුගස්තොට ඇඩ්ලින් පදිංචි නිවසට ආවේය. ඔහු ආවේ 1 ශ්‍රී ෆියට් වර්ගයේ අලුත් කාර් එකකය.   
එදා ලාල් අතපත්තු සමග ඇඩ්ලින්ගේ පියා බොහෝ වේලාවක් කතා කරමින් උන්නේය.   
‘‘අංකල්, අපට පොඩි වරදක් වුණා. මම ඇඩ්ලින් විවාහ කර ගන්නවා. ඒක පොරොන්දුවක්. ඒත් මම මේ ටිකේ විභාගයක් තියනවා. එය ඉවරවෙනකල් කල් දෙන්න. මම හැමවිටම ඇවිත් යන්න එන්නම්...’’   


ලාල් පුංචි කාලයක් ඉල්ලා සිටියේය. ඒ අසරණ තාත්තා ඊටද ඉඩක් දුන්නේය.   
එදා ලාල් නැවත එන්නම් කියා ගිය ගමනේ කිසිම තොරතුරක් නැති විය. සුමාන දෙක තුනක් ගතවිය. ලාල්ට ලිපියක් ලියා තැපැල් කළත් එය නැවත මහනුවර ලිපිනයට ආවේය.   
‘‘මේ ලිපිනයේ ලාල් අතපත්තු කියල කෙනෙක් නෑ...’’ තැපෑලෙන් කී උත්තරය විය.   
‘‘වෙන්න බෑ...’’ ඇඩ්ලින්ට විතරක් නොව ගෙදර අයට දෙලොව රත් විය.   


ඇඩ්ලින් කාමරයක කොනකට වී ඉකි බිඳින්නට වූවාය. දවස තිස්සේම ඇයට උරුම වූයේ ඒ කඳුළු කතාවයි.   
‘‘දුවේ... දැන් වෙච්චි දේ වුණා. උඹ අඬන්නෙ නැතුව ඉඳින්. අපි යමු... පානදුරේ. ගිහින් මේ මිනිහා ගැන හෝඩුවාවක් හොයා ගනිමු...’’ පුංචි මැණිකා අස්වැසුවාය.   
පසුවදාම ඇය, ඇඩ්ලින්ද සමග පානදුරේට ගියාය. ඒ අවටින් ලාල් අතපත්තු ගැනත් ඔහුගේ ශරීර ලක්ෂණ ගැනත් කියමින් සොයා බැලූහ.   
‘‘ආ... හරි හරි... ඒ මහත්තයගෙ ගෙවල් තියෙන්නෙ අහවල් තැන... ඊයෙත් එහෙ හිටියා. ඔයාල ලාල් කියලද එයාට කියන්නෙ. හැබැයි එයාගෙ නම ජයලාල් ආනන්දගොඩ... අසවල් ඉස්කෝලෙ උගන්වන්නෙ. එයාලගෙ නෑයො සේරම ඉන්නෙ දැන් ඉන්න හරියෙමයි...’’   
වැඩිහිටියකු සියලු තතු කියා උන්නේය. මම හිතන්නෙ මහත්තයා ලොකු පවුලකින් විවාහයක් කරගන්න හදන්නෙ. එහෙම ආරංචියක්ද ඔහු කියා සිටි​යේය.   
ඒ විවාහය කුමක්ද යන්න ඊළඟ ප්‍රශ්නය විය.   


ජයලාල් ඉන්න පාසලටම ගොස් ඇඩ්ලින් සහ මව ඔහුව හමුවූහ.   


‘‘ඇයි බොරු කරන්නෙ... මොකක්ද මේකෙ තේරුම...’’ ජයලාල් ආනන්දගොඩට කිව යුත්ත කුමක්ද වත් වටහා ගන්නට බැරි විය.   
තමන් ඇඩ්ලින් විතාරණ විවාහ කර ගන්නා බවට යළි යළිත් විශ්වාසය දුන්නේය.   
එක රූපයෙන්, නම් දෙකකින්, පදිංචිය වෙනස් කරමින් ආනන්දගොඩ රඟපාන්නේ කුමක්ද? ඒය මේ ප්‍රශ්නය තුළ පැවති ලොකුම ගැටලුව විය.   
ඇඩ්ලින් ඊට මාස තුනකට පමණ පසු 1957 අගෝස්තු 09 වැනිදා රෝස මලක් බඳු දියණියක බිහි කළාය. ඒ කටුගස්තොට රෝහලේදීය. ඒ වන විට ඇඩ්ලින් විසි වයස් වූවා පමණි.   
තමන් බලාපොරොත්තු නොවූ ලෝකයක තනි වූවා යැයි ඇඩ්ලින්ට දැණිනි. යළිත් ඉඩක් ලැබුණු ගමන් ඇඩ්ලින් ගියේ ජයලාල් සොයාගෙනය.   
පුංචි දියණියත් කරපින්නා ඇය ජයලාල් ආනන්දගොඩ උගන්වන පාසලට හෝ පදිංචි නිවසට ගියාය. ඒ හැම තැනකදීම ආනන්ද​ගොඩ අවිවාහක පියෙකු බව මිනිස්සු එකහෙළාම තීරණය කළහ. ඇඩ්ලින්ගේ මේ පැමිණීම  ආනන්දගොඩට දැනුණේ  මහා හිසරදයක් ලෙසය.   


‘‘ඇඩ්ලින්... ඔයා ළමයත් අරන් මෙහෙ එන්න එපා. මම ඔයාව බඳිනවනෙ...’’ ආනන්දගොඩ හැම විටම කියන මේ වචන ටික දැන් ඇඩ්ලින්ට විශ්වාස නැතිම වචන පෙළක් විය.   
ඒ අතර පාසලේ සමහර ගුරුවරු පවා ඇඩ්ලින්ට කීවේ ‘‘ආනන්දගොඩ බඳින්න යන්නෙ ගාල්ලෙ ලොකු පවුලකින් කියාය’’ මේ හැම කයිකතාවක් අතරම දරුවෙක් කර පින්නා ගත් රූමත් ඇඩ්ලින් ආනන්දගොඩ ඉදිරියේ යාදින්නියක් බවට පත් වූවාය.   


ඇඩ්ලින් කලවැල්ලාව ප්‍රදේශයේ නිවසක නවත්වා ඇය ගැන සොයා බැලීමට ආනන්දගොඩ තීරණය කළේය. ඔහු කලවැල්ලාවට නිතර යමින් එයින් දරුවා සහ ඇඩ්ලින් සමග කලක් එකට වාසය කළේය. ඒ තුළ තමා සමග ආනන්දගොඩ රැඳෙනු ඇතැයි ඇඩ්ලින්ට විශ්වාසයක් මතුවිය. ඔහු නිසා ඇඩ්ලින්ගේ කුස තුළ දෙවැනි දරු ගැබ හටගන්නේ මෙකලය.   
පළමු දරුවා අම්මා සමග මහනුවර ගෙදර තබා ඊළඟ දරු උපතට සූදානම් වෙන්නට ඇයට සිදු වූවාය. ඒ හැම තැනකදීම ඇඩ්ලින් විවාහය විශ්වාස කළාය. අරමුණක් නැති ලෝකයක තනිවෙමින් සිටි ඇඩ්ලින්ගේ කුස හුන් දරුවාටද මාස පහ හයක් පිරිණ.   


දවසක් ආනන්දගොඩ ඇඩ්ලින්ට යෝජනාවක් කළාය. ‘‘බඳින්න කලින් මම බැලුවෙ අනුරාධපුරේ වැඳල එන්න. යන්න... හෙට උදේම යමු... මම පොඩි සිංඥෝටයි, සිරිසේනටයි උදව්වට යමු කිවුවා...’’ 

 
කෙසේ වුණත් අනුරාධපුර ගමන ගැන ඇඩ්ලින් විතාරණට තිබුණේ ලොකු සතුටකි. කාලයක් ප්‍රශ්නවල පැටලුණු ඇයට ජයශ්‍රී මහා බෝධියත්, රුවන්වැලි සෑයත් වැඳ හිත නිදහස් කර ගන්නට විශාල වුවමනාවක් තිබිණි. ඇඩ්ලින් ඇඳුම් පැලඳුම් හා බොහෝ දේ කල් ඇතිව සූදානම් කරගෙන කාරයට පටවා ගත්තාය.   
පසුදා දහවල් පිටත් වූ ගමන හවස හතර පහ වෙනවිට හලාවත හරියට ළඟා විය.   
‘‘අපි මොනව හරි කාල කූල් එකක් බීල යමු’’ ඒ හඬ ආනන්ද​ගොඩගෙනි. ඒ අනුව කාර් රථය හලාවත අවන්හලක් වෙතට ළං කෙරිණි.   
එහිදී ගමනේ එක සැලසුමක් ක්‍රියාත්මක කිරීමට ආනන්දගොඩ කල්පනා කළේය.   
‘‘ඇඩ්ලින් මරන්න ලේසි, නිදි කෙරෙවුවොත්’.... තමාටම කියා ගනිමින් ඇයට ගත් සිසිල් බීම වීදුරුවට නිදි පෙති දිය කර බොන්නට දුන්නේය.   
ඔහු බලාපොරොත්තු වූවා සේම කාරය පුත්තලම දෙසට යන විටද ඇඩ්ලින්ට හොඳටම නින්ද ගොසින් තිබිණි. පුත්තලම පසු කරන විට දවසේ කළුවර අතරින් සීතල මුහුදු සුළඟද හමන්නට විය.   


පුත්තලමේ සිට ඉතිරිය රූස්ස කැලෑව මැදින් වැටුණු පාර විය. රෑ බෝවන විට ඒ පාරේ වාහනයක් වත් දකින්නට නැති තරම්ය. කැලේ පීරාගෙන ඇහෙන බයංකාර හඬවල් අතරින්ද පාළු, මූසල බව කියා පාමින් තිබිණ. පැය තුනකට පමණ සැරයක් එන ලොරියක් හැරුණු විට වෙනත් වාහනයක් නැත. ගෙයක් තබා මිනිස් පුළුටක් පේන්නට නැති කැලෑ පාර මැදින් ෆියට් කාර් රථය වේගයෙන් ඉදිරියට ගමන් ගත්තේය.   


තිඹිරිවැව 27 සැතපුම් කණුව දිහාවට යන විට එක් වරම ඇඩ්ලින්ට ඇහැරිණි. අඳුර කපාගෙන යන වාහනය තුළ මොකක්දෝ අමුත්තක් ඇයට දැනිණි.   
‘‘මට බයයි....’’ ගෙයක් තිබුණොත් නතර කරන්න...’’ ඒ හඬ ආනන්ද ගොඩට කන නොවැකුණා සේය. ඇය හඬන්නටත්, දඟලන්නටත් විය.   
වාහනය එළවමින් සිටි ආනන්ද කට ඇරියේය. ‘‘ඒයි මේකිට ගහපන්...’’ ඔහු කෑ ගැසුවේය. පොඩි සිංඥෝ ගැසූ එක පාරින්ම ඇඩ්ලින් සිහිසුන් විය. තවත් දුර නොගොස් කාරය පාර අයිනේ නැවැත්විණි. ඇඩ්ලින් එළියට ඇදදමා පාරේ දිගා කෙරිණි.   


ගසක සිටි බස්සෙක් මූසල ලෙස පාළුව බිඳිමින් සිටියේය. ආනන්දත්, පොඩි සිංඥෝත්, සිරිසේනත් මදුවිත ටිකක් තොළ ගෑහ.   
‘‘කාත් කවුරුත් නැති විල්පත්තු කැලේ මායිමක මහ පාරේ ඇඩ්ලින් වැතිර සිටී. සිහියක් නැති නිසල ශරීරයේ කුස තුළ පුංචි කිරිකැටියකු අතපය ගසමින් සිටියේය.   
තමන් නිදහස් වීමේ එකම දේ මේ යැයි ජයලාල් දෙවරක් නොසිතා වටහාගෙන තිබිණි. හොඳ විවාහයක් කරගෙන හීන මාළිගා හදා ගන්නට නම් මෙහි අවසානයෙක් තිබිය යුතුය.   
ආනන්දගොඩ වාහනයට ගොඩ විය. යක්ෂයෙක්, රකුසෙක් පරිද්දෙන් තුන් හතර විඩක් ඇඩ්ලින්ගේ ශරීරය මතින් වාහනය ධානය කළේය. ඒ ශරීරයෙන් ලේ විදිමින් පුත්තලම් පාර තෙත් විය.   

 

ඇඩ්ලින් මරාදමා තිබූ හැටි


‘‘යමු’’ ආපසු ගමන ඇරඹිණි. එළිවන පාන්දර වන විට වාහනය පානදුරට ළඟා විය. වාහනයත් සෝදා දමා ආනන්ද නින්දට වැටිණි.   
ලොරි රථ රියදුරෙකුගෙන් මියගිය ඇඩ්ලින් පිළිබඳ තොරතුර ළඟම පොලිසියට ලැබිණි.   
‘‘සර්... විසිහතේ කණුව ළඟ තරුණ ගෑනු ළමයෙක් වාහනේට යට කරලා... ළමයෙකුත් හම්බු වෙන්න ඉන්න පාටයි...’’   
ඒ ආරංචියෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියද දැනුම්වත් විය. සියල්ලෝ වහාම එතැනට ගියහ. එතැනින් පසු මේ කවුද, මෙහි සාහසික ඝාතකයා කවුද? මොවුන් කොහිද, තොරතුරු හෙළි කර ගැනීමේ කටයුතු ආරම්භ විණි.   


පනහ දශකය හෙල්ලුම් කෑ රූමත් ගැබිනියගේ ඝාතනය රටේ අස්සක් මුල්ලක් නෑරම අවදි කළ සිද්ධියක් විය. ඇතැම්හු ‘‘මේක නම් රටේ මහා ශාපයක්’’ යැයි කියා ගත්හ. පත්තරවලද, නාදුනන මේ රූමතියගේ තොරතුර වාර්තා කෙරිණි. ඉන්පසු පවුලේ අය ඇඩ්ලින්ව හඳුනා ගත්හ.   
ඇඩ්ලින්ගේ පවුලේ අයගේ තොරතුරු ඔස්සේ ජයලාල් ආනන්ද​ගොඩ අත්අඩංගුවට ගන්න කටයුතු වේගවත් විය.   
මේ මෙහෙයුම භාර වූයේ එදා දක්ෂ රහස් පරීක්ෂකයකු වූද පසු කලෙක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුව විශ්‍රාම ගිය ටිරල් ගුණතිලක මහතාටය. ජයලාල් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ විය. ඒ හැම තැනදිම ඔහු කියා සිටියේ තමන් මේ ඝාතනය නොකළ බවය.   


ඉන්පසු ජයලාල්ගේ කාර් රථය පරීක්ෂාවට ලක් කෙරුණි. ඒ වන විටත් එය සෝදා තිබීම සැකයට තුඩු දුන් හේතුවක් විය.   
තවදුරටත් පරීක්ෂා කිරීමේදී කාර් රථයේ යට කොටසේ පැටලී තිබුණු කෙස් රොදක් හමු විය. මේ කෙස් රොද කාගේද?   


එතැනින් එහා ජයලාල් ආනන්දගොඩට බොරු කීමට නොහැකි විය. ඔහු සියල්ල හෙළි කිරීමට පටන් ගත්තේය. ඉන්පසු පොඩි සිංඥෝ හා සිරිසේන උදවු කරුවෝද අත්අඩංගුවට පත් වූහ. ඒ අයගේද සාක්ෂි ඉදිරි පරීක්ෂණවලට ඉතා වැදගත් විණ.   


ඇඩ්ලින් විතාරණ රූමතිය ඝාතනය පිළිබඳ අපරාධ නඩුවේ රජය වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූයේ ඒ.සී. අලස් මහතාය. ඔහු පසුකලෙක අගවිනිසුරු තනතුරටද පත් විය.   
කෙටි කලෙකින් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් විය. ජයලාල් ආනන්ද​ගොඩ එල්ලා මරා දැමීමට තීරණය විය. අනෙක් විත්තිකරුවෝ දෙදෙනාට නිදහස ලැබිණි.   
මරණ දඬුවමට අදාළ තීන්දුවෙන් පසු ආනන්දගොඩ අපරාධ  අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය. ඒ නීතිඥ රැල්පා මිල්නර් මගිනි. එම අභියාචනාවද පසුව නිශ්ප්‍රභා විය. ඒ අනුව කලක් ලාල් අතපත්තු ලෙසත්, පසුව ජයලාල් ආනන්දගොඩ ලෙස පෙනී සිටිමින් තරුණියක් සෙල්ලටම ගත් ඔහුට 1962 වසරේ එල්ලුම් ගහ ක්‍රියාත්මක කෙරිණ.   


රූමතියක්... අහිංසකාවියක්... අවංක ආදරයක් වෙනුවෙන් කැප වන්නට ගිය තරුණියක්... අවසානය... රැවටිලිකාර - බොරුකාරයකු වූ ආනන්දගොඩ අතින් දූෂණය වී අකාලයේ මිලින වී ගියාය.   


දරුවෙක් අතට දී, තව දරුවෙක් කුසට දී, විවාහය වෙනුවෙන් යාදින්නියක වූ ඇඩ්ලින් කොයිතරම් සමාජ අපහාස විඳින්නට ඇත්ද? කොයිතරම් බැණුම් අසන්නට ඇත්ද? ඒ අසරණකම වෙනුවෙන් මොනතරම් කඳුළු වැසි වස්සවන්නට ඇත්ද? ඒ අසාධාරණ මිනිසුන්ගේ අසාධාරණ කුරිරුකම් ඉදිරියේ නොඑන ගමනක් ඒ අහිංසකාවියට උරුම විය. මේ ඝාතනය විල්පත්තුව ඛේදවාචකය නමින් ඉතිහාසයට එකතුවී තිබේ. 1984 වසරේ තිරගත වූ වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කළ ‘දඩයම’ සිනමා සිත්තම ඇඩ්ලින් රූමතියගේ කතාව ඔස්සේ සබැඳී තිබේ. එසේම නිව්ටන් ගුණසේකර මහතා ලියූ දඩකෙළිය නවකතාවට පාදක වී ඇත්තේද මේ කතාවමය.

 

 

 

සටහන
අසංක ආටිගල