අලින්ටම දෙන්න යන අලිමංකඩ දහසය


අලි, මිනිසුන් මරති,  
මිනිස්සු, අලින් මරති.  
ගණන් හිලව් සහිතව කියන්නේ නම් වසරකට අලින් විසින් මිනිසුන් සියයකට කිට්ටු ගණනකුත්, මිනිසුන් විසින් අලින් එමෙන් තුන් ගුණයක් පමණ මරා දමනු ලැබෙති. එනයින් බලන කල අලි-මිනිස් ගැටුම යනු නොතකා හැරිය හැකි ගැටලුවක් නොවන බව පැහැදිලිය.

මේ අලි-මිනිස් ගැටුම කුමක්ද? එයට හේතු මොනවද යන්න සාකච්ඡා වෙන්නේ චිරාත් කාලයක පටන්ය. එයට විසඳුම කුමක්ද යන්නට නම් කලින් කලට ලැබෙන්නේ විවිධාකාර යෝජනාය.  


කෙසේ වෙනත් අලි - මිනිස් ගැටුමට හේතු වූ කරුණු කාරණා ගැන ද යමක් ලිවිය යුතු වේ.  


 අතීත ලංකාවේ සුවිශාල වන වැස්මක් තිබිණි. ඒ වන රජදහන තුළ අලි ඇතුන් අටදහසක් පමණ ජීවත් වූහ. ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වීමත් සමඟ අලි ගහනය දෙදහස තරම් දක්වා අඩුවිය. ඔවුන්ගේ විවිධ සංවර්ධන ව්‍යාපෘතිවලට කැලෑ එළිපෙහෙළි කරන්නට ද වූහ.  


කෙසේ වුවත් මේ වන විට ලංකාවේ අලි ගහනය තුන් හාර දහසක් බවට වර්ධනය වී තිබේ. එහෙත් වන වැස්ම දවසින් දවස අඩුවන නිසා අලින්ට උන්ගේ වාස භූමි අහිමි වේ.  
 මිනිසා අලින්ගේ වාස භූමිවලට බලෙන් ගොස් පදිංචි වන්නේය. අලි උන්ට හුරු පුරුදු පාරවල් දිගේ විත් මිනිසාගේ ගොවිබිම්වලට ඇතුල් වේ. එවිට අලින් භවබෝග මෙන්ම ගෙවල්​ දොරවල්ද විනාශ කර දමන අතර මිනිසා කරන්නේ අනවසර විදුලි රැහැන් ඇද, නැතිනම් හක්කා පටස් දමා හෝ වෙඩි තබා හෝ අලි ඇතුන් මරා දැමීමය.  


මේ ගැටලුවට පිළියම් ලෙස ක්‍රියාත්මක වූයේ විදුලි වැටවල් ඉදිකිරීමය. එහෙත් ඇතැම් කපටි අලියකු ඉඳහිට විදුලි වැටවල් ද බිම දමති. කෙසේ වෙතත් අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ක්‍රියාත්මක කරන විදුලිවැටවල් වෙනුවෙන් ගෙවුණු දෙවසරක කාලයේදී කෝටි හතළිස්පහකටත් වැඩියෙන් වැය වී ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් විණැයි පුවතක පළව තිබිණි. එහෙත් අලි-මිනිස් ගැටුමේ අඩුවක් නොවීම ඛේදවාචකයකි. එසේ නම් විදුලිවැට යනු අලි-මිනිස් ගැටුමට සාර්ථකම විසඳුමක් නොවේ.  


අලි අගල් තවත් යෝජනාවකි. එහෙත් මේ අගල් කැපීමේ මුවාවෙන් දැව ජාවාරම් සහ පස් ජාවාරම් සිදුවූ බවට ඉකුත් කාලයේ පුවත් අසන්නට ලැබිණි.  
අලි වැට සේම අලි අගල්වලින් ද අපේක්ෂිත අරමුණු ඉටුවී නැති බව පෙනේ. තවමත් අලි මරණ මෙන්ම මිනිස් මරණ ද වාර්තා වන නිසාය.  


 එසේ නම් නිවැරැදීම විසඳුම කුමක්ද? 

 
වනජීවි ඇමැති මහින්ද අමරවීර මහතා ඉකුත්දා ප්‍රකාශ කර තිබුණේ, වන අලි හා මිනිස් ගැටුම්වලට මූලික හේතුවක්ව පවතින අලිමංකඩවල්, නිදහස් කර වන අලින්ට ගමන් කිරීමට සුදුසු පරිදි සකස් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවය. මේ වනවිටත් ඒ අලිමංකඩවල් මිනිසුන් විසින් අවහිර කරගෙන සිටින බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබිණි.  
 අලිමංඩක ටික විවෘත කරදී වන අලින්ට නිදහසේ සංචරණය කළ හැකි භූමි ප්‍රමාණයන් වැඩිකර දීමෙන් අලි-මිනිස් ගැටුමට නිවැරැදි විසඳුමක් ලබාදිය හැකි බව වනජීවි දෙපාර්තමේන්තුව හඳුනාගෙන සිටින්නේ දිගු කලක සිටය. සංචරණයට බාධක පැමිණීම නිසා කුඩා කුඩා වන අලි රංචු යම් යම් ප්‍රදේශවල කොටුවී සිටිති. උන් අවට ගම්මානවලට ඇතුළු වී බව භෝග විනාශ කරන්නේත්, ගෙවල් දොරවල් විනාශ කරන්නේත්, මිනිසුන්ට පහර දෙන්නේත් එම කුඩා වනරොදවලින් නික්ම යන්නට ඉඩක් නොමැතිකමිනි. අලිමංකඩ විවෘත කර දීමෙන් මෙකී කොටු වූ වන අලින්ට ජාතික වන උයන්වලට පිවිසීමට පුළුවන්කම ලැබේ.  


 එහෙත් මේ කියන ප්‍රසිද්ධ අලිමංකඩවල් සියල්ලම පාහේ මිනිස් ක්‍රියාකාරකම්වලින් ආවරණය වී තිබේ. ඒවා නැවත අලින්ට පවරාදිය යුතු නමුත් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටීන් සංකීර්ණය. සමහර අලිමංකඩවල් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුවන අතර තවත් ඒවා මහවැලි ව්‍යාපාරය සතුවන බැවින් මේ අලිමංඩකඩවල් ගැසට් කිරීමට වනජීවි දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබේ. එබැවින් මේ වන තෙක් ගැසට් කර ඇත්තේ එකම එක අලිමංකඩක් පමණී. ඒ මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යාන අතර පිහිටි අලිමංඩකයි.  


 ඉක්මණින්ම ගැසට් කළ යුතු එහෙත් තවමත් නොහැකිව තිබෙන අනෙක් ප්‍රධාන අලිමංකඩවල් දහසයකි. ඒ මොනවා දැයි දැනගැනීමට මා ඇමතූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක නිලධාරිනී හසිනි සරත්චන්ද්‍ර මහත්මිටය. 
මෙන්න ඒ දහසය.  


කොහොලංකල, උනාතුවැව, වැටහිරකන්ද, දහයියාගල, පුවක්කැලේ, උල්හිටිය, හුන්ගමාලඔය, මහවැව, රත්නැල්ල, දිගම්පොතාන, පහේකණුව, නාච්චදූව, මහකනදරාව, නාච්චදූව - විල්පත්තු, සූරියපුර, මඩුපාර හා පුලියන්කුලම  
මීළඟට සොයාබැලිය යුත්තේ මෙකී අලිමංකඩවල් මගින් යාකෙරෙන වනපෙත් මොනවාද යන්නය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි කොහොලංකල අලිමංකඩ යා කරන්නේ මත්තල සහ බූන්දල වනෝද්‍යානයයි.  


මත්තල ගුවන්තොටුපොළ, හම්බන්තොට වරාය සහ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය වෙනුවෙන් එළිපෙහෙලි කළ වනාන්තර වෙනුවට හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයක් ඇති කිරීමට යෝජනා කෙරිණි. එහෙත් ඒ යෝජනාව තවමත් තිබෙන්නේ සැලසුම්වල පමණි. මේ නිසා අලි පන්සියයකට කිට්ටු ගණනක් යන එන මං නැතුව කොටුවී සිටිති. මෙම රක්ෂිතය ඇතිකිරීමෙන් මේ අලි පන්සියයට බූන්දල මෙන්ම ලුණුගම්වෙහෙර වන උයනට ද සංචරණය කළ හැකිය. ඒ සඳහා උන්ට භාවිත කළ හැක්කේ උනාතුවැව අලිමංකඩය. ඒ ඔස්සේ යාවෙන්නේ මත්තල හා ලුණුගම්වෙහෙර ජාතික වන උයනය.  


ලුණුගම්වෙහෙර සහ උඩවලවේ වන උයන් දෙක එකිනෙක යාකරන්නේ වැටහිරකන්ද අලිමංකඩෙනි.  
 එසේම උඩවලවේ වන උයන බෝගහපට්ටිය වන රක්ෂිතය සමඟ සම්බන්ධ වේ. ඒ දහයියාගල අභය භූමියෙනි.  
 බෝගහපට්ටිය වන රක්ෂිතය තුළ පිහිටි කරමැටිය යනු ස්වභාවික ලවන නිධියක් සහිත තැනකි. උඩවලවේ මෙන්ම ලුණුගම්වෙහෙරේ ජීවත්වන අලි ද ලුණු කෑම සඳහා කරමැටියට එන අතර ඔවුන් ඒ සඳහා භාවිත කරන්නේ දහයියාගල අභය භූමිය නැත්නම් අලිමංකඩ ය.  
ගල්ඔය සහ මාදුරුඔය වන උයන් එකිනෙක සම්බන්ධ කරන්නේ පුවක්කැලේ අලිමංකඩ වන අතර මාදුරුඔයත් ජලගැලුම් නිම්නය වන උයනත් හුංගමාල ඔය අලිමංකඩ හරහා එකිනෙකට සම්බන්ධ වේ.  


එසේම මාදුරුඔයත් වස්ගමුව වන උයනත් උල්හිටිය අලිමංකඩ මගින් යාවෙයි. මේ අනුව මෙම අලිමංකඩවල් නිසා ගල්ඔය මාදුරුඔය ජලගැලුම් නිම්නය මෙන්ම වස්ගමුව ද එකිනෙක සම්බන්ධ වන බව පැහැදිලිය. ඒ විතරක් නොවේ මහවැව අලිමංකඩ මගින් මාදුරුඔය සහ සෝමාවතීය ද එකිනෙකට සම්බන්ධ වෙයි.  
වික්ටෝරියා, රන්ටැඹේ සහ රන්දෙනිගල ජාතික වන උයනත් නකල්ස් වන රක්ෂිතයත් රත්නැල්ල අලිමංකඩ මගින් සම්බන්ධ කෙරෙයි.  
සීගිරිය, රිටිගල සහ කහල්ල පල්ලේකැලේ යන අභයභූමි එකිනෙකට යා කරන්නේ දිගම්පොතාන අලිමංකඩ මගිනි.  


 පහේ කණුව අලිමංකඩ යාකරන්නේ කලාවැව සහ නාච්චදූව යන වන ගහනයන්ය. නාච්චදූව මහකනදරාව සමඟ සම්බන්ධ කෙරෙන අතර, නාච්චදූව හා විල්පත්තුව ද එම නමැති අලිමංකඩකින් සම්බන්ධ කෙරේ. විල්පත්තුව, මඩුපාර අභයභූමිය සමඟ ද සම්බන්ධ වන අතර එම අලිමංකඩට දී ඇත්තේ මඩුපාර යන නමයි.  


එසේම සෝමාවතී අභයභූමිය චුන්නක්කාඩු වන රක්ෂිතය සමඟ සම්බන්ධ කිරීමට සූරියපුර අලිමංකඩ දායක වෙයි. පුලියන්කුලම අලිමංකඩ මගින් සම්බන්ධ වන්නේ වන්නිකුලම් රක්ෂිතය සහ පදවිය අභයභූමියයි.  


මෙකී අලිමංකඩවල් සියල්ල අලින්ට ඇරුණු පසුව, උන්ට සැරිසරන්නට විශාල භූමි ප්‍රමාණයක් ලැබෙන බව පෙනේ.  


 1. මත්තල, බූන්දල, උඩවලව හා ලුණුගම්වෙහෙර  
2. ගල්ඔය, මාදුරුඔය, වස්ගමුව, ජලගැලුම් නිම්නය, සෝමාවතිය. චුන්නක්කාඩු,   
3. කලාවැව, නාච්චදූව, මහකනදරාව, විල්පත්තුව හා මඩුපාර.  
4. සීගිරිය හා රිටිගල ආදී වශයෙනි.  

මෙකී වනාන්තර කලාප අලි දෙතුන් දහසකට වුවද නිදහසේ ජීවත්වීමට එහා මෙහා ඇවිදීමට තරම් ප්‍රමාණාත්මක වන බව බැලූ බැල්මටම පැහැදිලි වේ.  
 මේ කලාප හතර පහ ද එකිනෙකට සම්බන්ධ කළ හැකිනම් මත්තලින් ගමන් අරඹන අලියෙකුට විල්පත්තුවට වුවද පැමිණීමට අවකාශ ලැබේ. එහෙත් ඒ සඳහා අලුතින් අලිමංකඩවල් නිර්මාණය කළ යුතුවේ. එය බෙහෙවින් සංකීර්ණ වැඩපිළිවෙළකි.  


 කෙසේ වුවත් මේ තිබෙන අලිමංකඩ දහසයවත් ඉක්මනින්ම ගැසට් කර වන අලින් වෙනුවෙන් නිදහස් කර දිය හැකිනම් එය අනගි මෙහෙවරකි.  


 එහෙත් මේ අලිමංකඩවල්වල අද විවිධ කර්මාන්ත, ගොවිබිම්, ගෙවල් දොරවල් ආදිය තනාගෙන මිනිසුන් ජීවත්වන බැවින්, අලිමංකඩවල් නිදහස් කර ගැනීමට නම් විශාල වශයෙන් වන්දි මුදල් ගෙවීමට ද සිදුවේ. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ බංකොළොත් ආණ්ඩුවට නැති බව සහතිකය. එක්කෝ අරමුදලක් පිහිටුවිය යුතුය. නැතිනම් වන අලි බද්ද නමින් අලුත් බද්දක් අය කළ යුතු වනු ඇත. ඒත් නැත්නම් ජාත්‍යන්තර ආධාරයක් අපේක්ෂා කළ යුතුය.  


මේ නිසා මේ අලිමංකඩ නිදහස් කරන කතා තව ටික දොහකින් යට ගොස් වන අලි මරණ වැඩියෙන් වාර්තාවීමට තිබෙන ඉඩකඩ වැඩිබව කනගාටුවෙන් වුවත් ලියාතැබිය යුතුය.

 

 

සටහන  
 ශාන්ත කුමාර විතාන