අරාබියේදී සෙල්ලම් බඩු ගානට විකිණූ අපේ රටේ කාන්තාවෝ


මවකට ‘ගෙදර බුදුන් අම්මා’ යැයි අප කියන්නේ ඇයට තවත් සමානකමක් දැක්විය යුතු ඉහළින් දෙයක් නොමැති නිසාමය. සිය දරුවන්ගේ ජීවිතය සුඛිත මුදිත කිරීමේ අරමුණු පෙරදැරිව මේ රටේ දහ දුක් විඳින අම්මලා ගැන අපි කොතෙකුත් අසා දැක ඇත්තෙමු. සිය ස්වාමියා සිටියත් නොසිටියත් ජීවිත ගමන සරිකරගැනීමට අපේ රටේ කාන්තාව එදත් අදත් දරන වෙහෙස අපමණය. එපමණක් ද නොව මේ අම්මලා අපේ රටින් එපිටට ගොස් අපාදුක් විඳින්නේ ද අද ඊයේක සිට නොවේ. අහස උසට නැගෙන ජීවන බර දරා ගත නොහැකි බැරිම තැන අපේ රටේ කාන්තාවන් ගෘහ සේවිකාවක් ලෙසින් හෝ විදෙස් ගතවන්නේ සිය දරුවන්ගේ සුබ සිද්ධියම වෙනුවෙනි. එහෙත් තම ශ්‍රමය වෙනුවට ශරීරයම උකසට ගන්නට යමෙකු උත්සාහ ගනී ද එය කෙසේ නම් ඕ, ඉවසා දරාගෙන සිටින්නී ද? මේ කියන්නේ එවැනි කතාන්දරයකි.   

ඕමාන් රටේ ගෘහ සේවිකා රැකියා සඳහා යැයි පවසමින් මෙරට කාන්තාවන් එරටට ගෙන ගොස් ගණීකා වෘත්තියේ යෙදවූ කතා පුවත් පිළිබඳව ඉකුත් දින කිහිපයේදීම විවිධ මාධ්‍ය ඔස්සේ අපට අසන්නට ලැබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙදාම් කිරීමේ හා ජාවාරම් කිරීමේ විමර්ශන ඒකකය විසින් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 02 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.   


සෙලින්කෝ මන්දිරය, කොළඹ 01, පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයාට කරනු ලැබූ පැමිණීල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.   
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් ඔක්තෝම්බර් මාසයේ දී ඕමාන් රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ‘සුරක්ෂා ආරක්ෂක නිවස්නය’ වෙත ගියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙසකට අනුව අපේ රටේ වින්දිත කාන්තාවන් පිළිබඳ සොයා බැලීම සඳහාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එම ස්ථානයට යන විටත් කාන්තාවන් 45 දෙනකු පමණ වින්දිතභාවයට පත්ව සිටි බව නිලධාරීන්ට වැටහී ගියේ ඔවුන් සමග කළ කතා බහෙනි. පසුව රහස් පොලිස් නිලධාරීන් මෙම කාන්තාවන්ගේ ප්‍රකාශ ද සටහන් කරගනිමින් ඔවුන්ගේ දුක්ගැනවිලිවලට ඇහුම්කන් දුන්නේය.   


මෙම කාන්තාවන් පිරිසෙන් වැඩි ප්‍රමාණයක් ඕමාන් රටේ ගෘහ සේවිකාවන් වශයෙන් සේවයට බඳවා ගන්නා බව සඳහන් කරමින් සංචාරක වීසා මගින් මුලින්ම ඩුබායි රටට ගෙන ගොස් ඇරලවා ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ විදේශ රැකියා ඒජන්සිකරුවන් සිව් දෙනකු විසින් බවට රහස් පොලීසියට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබිණී.   
“අපිව මුලින්ම ඩුබායිවලට ගෙන්වා ගත්තා. අපිට ගහලා තිබුණේ විසිටින් වීසා. ඊට පස්සේ අපිව ඕමාන්වලට අරගෙන ගියා. මාත් එක්ක තව හත් දෙනෙක් හිටියා. අපිව අරගෙන ගියේ ලොකු වෑන් එකක් වගේ එකකින්. අපිව මෙහාට ගෙන්නුවේ කාන්තාවක්. එයා ‘ආශා’ කියලා කෙනෙක්. එයාගේ කාර්යාලයක් තිබුණා ඕමාන් එකේ මස්කට්වල. එදා දවසේ අපිට කන්න බොන්න දීලා එයා කිව්වා ‘උඹලව එක්කගෙන යන්න බාබාලා වගයක් එනවා ලෑස්ති වෙලා හිටපන්’ කියලා.” ඕමාන් රටේ ගෘහ සේවිකාවක ලෙසින් එක්තරා නිවසකට සේවයට ගොස් එම නිවසේ හිමිකරුගෙන් කුරිරු ලෙසින් වද හිංසාවන්ට මෙන්ම ලිංගික හිංසනයට පත් කාන්තාවක සිය අත්දැකීම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබුණේ එලෙසිනි.   


“ඒජන්සියේ අයිතිකාරි අපිව පෝලිමට තිබ්බා. ඊට පස්සේ ඒ රටේ හාම්පුතාලා ඇවිල්ලා පෝලිමට ගිහින් ගෑනු අය තෝර ගන්නවා. ටිකක් ඇහැට කනට පේන්න ඉන්න අය ඉක්මනින් තෝරගෙන අරගෙන යනවා. මේ වගේ දවස් ගානක් අපි ඒ රටේ බාබාලා ඉස්සරහා පෝලිමට හිටගෙන පෙනී හිටියා. හරියට වෙන්දේසියේ ඉන්නවා වගේ.”   
ඈත අතීතයේ කාන්තාවන් වහල් වෙළෙඳාම් කළ අයුරු නොයෙක් කතා පුවත් මගින් අපි අසා ඇත්තෙමු. මේ සිදුව ඇත්තේ ද ඊට නොදෙවෙනි දෙයක් නොවේ ද? අපේ රටේ කාන්තාවන් වහල් වෙළෙඳාමට ගෙන ගොස් ප්‍රදර්ශනය කර ඇත්තේ ද මේ කියන පරිදි කාන්තාවක විසින්ම වීම කෙතරම් ඛේදජනක ද?   
ඕමාන් රටේ නිවෙස්වල හිමිකරුවන් විසින් මෙලෙස රැගෙන යනු ලැබූ කාන්තාවන් බහුතරයක් එම නිවෙස් හිමියන්ගේ කුරිරු ලිංගික හිංසනයන්ට ගොදුරු වී ඇති බවත් පසුව ඔවුන් එම නිවෙස්වලින් පැනවිත් ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිහිට පතා පැමිණ තිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.   


විදෙස් රැකියාවකට රට යැවීමට යැයි කියමින් දඹුල්ලේ පදිංචිව සිටි කාන්තාවක තැරැව්කරුවකු විසින් කොළඹට රැගෙන එනු ලැබීමෙන් පසු එම කාන්තාව මරදානේ පිහිටි ලොජ් එකකට රැගෙන ගොස් දූෂණය කිරීමේ පුවතක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණුවල සඳහන් විය.   
“මට රට යන්න උදව් කරන්නම් කියලා දඹුල්ලේම හිටපු අයියා කෙනෙක් මාව ඒජන්සියකට එක්ක ගියා. එයා එතැන දී සංචාරක වීසා ගහලා මාව ඩුබායි යවන්න ලෑස්ති කළා. පස්සේ රට යන දවසේ ඒ අයියත් මා එක්ක කොළඹ ආවා. ‘ඔයාට තනියම එයාර්පෝට් යන්න බැහැනේ මම ගිහින් ඇරලවන්නම්’ කියලා එයා කිව්වා. මම කවදාවත් එයාර්පෝට් එකට ගිහිල්ලා නෑ. අනික එයා මාව රට යවන්න මගෙන් රුපියල් ලක්ෂයකුත් ගත්තා. ඉතින් එයා බ්‍රෝකර් නේ. ඒ නිසා මම එයා එක්ක කොළඹ ආවා. එදා රෑ පාන්දර ෆ්ලයිට් එක තිබුණේ. අපි හවස කොළඹට ඇවිල්ලා මරදානේ ලොජ් එකක නතර වුණා. මම කිව්වා කාමර දෙකක් ගමු කියලා. එතකොට එයා කිව්වා ‘දැන් යන්නේ රට නේ. එහේ ගිහින් කොහොම ඉන්න වෙයි ද දන්නේ නෑ. එක කාමරේ ඉමු. මම මගේ පාඩුවේ ඉන්නම් නංගි.’ කියලා. ඒත් එදා රෑ එළිවෙනකල් ඒ මිනිහා මාව බලහත්කාරයෙන් දූෂණය කළා. කරන්න දෙයක් නෑ. අන්තිමට මම නතර වුණේ ඕමාන්වල. මෙහෙත් ඔය කියපු කතා එකක්වත් වුණේ නැහැ. මෙහෙ දී අපිට වුණේ ගෘහසේවයේ යෙදෙන්න නෙමෙයි ගණිකා සේවයේ යෙදෙන්න.” ඒ තවත් කාන්තාවකගේ දුක්බර කතාන්දරයයි.   


ඕමාන් රටේ හාම්පුතුන් විසින් තෝරාගනු ලබන ශ්‍රී ලාංකික තරුණ කාන්තාවන් සඳහා රුපියල් මිලියන ගණනින් මුදල් ලබාදීම් පවා වාර්තා වී ඇති බවත්, එම කාන්තාවනට ඒජන්සිකරුවන් ලබා දී ඇත්තේ ඉතාමත් අඩු මුදලක් බවත් රහස් පොලීසියට තොරතුරු හෙළිවී ඇත. එපමණක් ද නොව ඇතැම් කාන්තාවන් ගේ වීඩියෝ දර්ශන ද ලබාගෙන ඇති මෙම ඒජන්සිකරුවන් ඒවා හාම්පුතුන්ට යැවීමට ද කටයුතු කර තිබූ බවටද හෙළිවී ඇත. ඇතැම් කාන්තාවන් ඕමාන් රටේ ජීවත් වන වෙනත් රටවල පිරිමින් සඳහා ද විකුණා ඇති බවටද තොරතුරු හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබිණී.   


විවෘත ආර්ථිකයේ ප්‍රතිඵලයක් ලෙසින් 1977න් පසු ගෘහ සේවිකා රියැදුරු වැනි වෘත්තීන් වෙනුවෙන් මෙරට ශ්‍රමිකයන් එතෙර රැකියා සඳහා යොමුවීම සුලභව දක්නට ලැබිණ. අපේ රටට විදෙස් විනිමය මෙරටට ගලා ඒමේ පහසුම දොරටුව වූයේ මේ වෘත්තීන්ය. එහෙත් මීට වසර ගණනාවක පෙර සිට අපට අසන්නට ලැබුණේ ගෘහසේවයේ සිදුවන මෙවැනි අසතුටුදායක පුවත් පමණී. ඉදහිට යහපත් පරිසරයක ජීවත් වීමට අපේ රටේ කාන්තාවන්ට භාග්‍ය ලැබී තිබුණ ද බොහෝ කාන්තාවන්ගේ කතා නම් සුන්දර නොවේ. ඕමාන් රටට අපේ කාන්තවන් ගෙන්වා ගෙන මේ අයුරින් ගණීකා වෘත්තියේ යෙදවීම නම් සමාව දිය හැකි වරදක් නොවේ. මේ හේතුවෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිවලට වගකිව යුතු විදේශ රැකියා ඒජන්සිකරුවන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත. ඒ අනුව මුලින්ම දඹුල්ල ප්‍රදේශයේ විදේශ රැකියා ඒජන්සි හිමිකාරිණියක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළේ මේ අනුවය. මෙම තැනැත්තිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළේ විමර්ශන ආරම්භ වී ඇති බැවින් ඇගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසය. ඒ අනුව අධිකරණයෙන් මෙම තහනම් නියෝගය නිකුත් කළ අතර, එලෙස විදෙස් ගමන් තහනම් වූයේ දඹුල්ල ප්‍රදේශයේ විදේශ රැකියා ඒජන්සියක හිමිකාරිණියක වන දිසානායකගේ ආශා දිසානායක නැමැත්තියගේය. මෙම විදේශ රැකියා ඒජන්සි හිමිකාරිනිය සහ තවත් විදේශ රැකියා ඒජන්සි හතරක හිමිකරුවන් සිව් දෙනකු සම්බන්ධයෙන් මේ වනව විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.   


මේ වසරේ මුල් කාර්තුව තුළ විදෙස් රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් එය පෙර වසරට සාපේක්ෂව සියයට 286ක ඉහළ යාමක් බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මෙම කාලය තුළ බලපත්‍ර ලාභී විදේශ රැකියා නියෝජිත ආයතන මාර්ගයෙන් විදෙස් ගතවූ කාන්තාවන්ගේ ගණන 17, 121ක් වන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත වාර්තා පෙන්වා දී ඇත. බලපත්‍ර ලාභී විදේශ රැකියා නියෝජිත ආයතන මගින් විදෙස් ගතවූ කාන්තාවන් අතර ඕමාන් රටට ගිය කාන්තාවන් ද සිටිති. මන්ද ඔවුන් ද ඒ රටට ගොස් ඇත්තේ බලපත්‍ර හිමි විදේශ රැකියා නියෝජිතයකු මගිනි. එසේ නම් බලධාරීන්ගේ යුතුකම වන්නේ මේ අයුරින් කාන්තාවන්ගේ ජීවිත විනාශ කරන එවැනි නියෝජිතයන්ගේ ‘බලපත්‍ර’ අහිමි කර ඔවුන්ට දඬුවම් නියම කිරීම නොවේද?   

 

 

සටහන
නිමන්ති රණසිංහ