අයියා ආයෙ ගෙදර එන්නෙ නැතුව පන්සලේම ඉන්නවා කිව්වා


ලොකු මල්ලී රාත්‍රියේ නවතින්නට පන්සලට යාම, තාත්තා පොරොන්දු කඩ කිරීම, සකුණ ඈත් වෙනු ඇතැයි බිය ආදී සිතේ සිර වී වද දුන් සිතුවිලි සියල්ල අම්මා ඉදිරියේ නිරාවරණය කළාට පසුව දිනේෂි ගේ සිතට මහා සැහැල්ලු‍වක් දැනෙන්නට පටන් ගත්තේය. අම්මා වචනයකින් හෝ ඇයට බාධා නොකර අසා සිටියාය.   

“අම්මා.. ඔයා ඔතන ඉන්නවා නේද..?” යනුවෙන් වරින්වර අසන්නට ඇයට සිදු වූයේ එම නිසාය. 
“ලොකු දුව මේ අහන්න.. ඔයාට ඕන වෙන හැම වෙලාවෙම එන්න මට පුළුවන්කමක් නෑ.. ඒ හින්දා සිද්දවෙන හැමදේටම තනියම මූණ දෙන්න පුළුවන් වෙන විදියට ඔයා හිත හයිය කර ගන්න ඕන.... තේරුණා ද..?” 


ඇගේ කතාව අවසානයේදී අම්මා කීවේ අවවාදාත්මක ස්වරයෙනි. දිනේෂිගේ සිත කඩා වැටිණි. 
“අනේ අම්මා.. මේ සිද්ද වෙන හැම දේම තනියෙන් දරා ගන්න මට අමාරුයි.. මට පාළුයි දුකයි අම්මා.. මගෙ දුක අහන්න හිටියෙ සකුණ අයියා විතරනෙ.... එයත් මට නැති වෙන්න යන්නෙ.... ඉතින් ඔයත් නෑවිත් හිටියොත් මට මොකක් වෙයි ද අම්මා..?” 
හැඬුම් මුසු ස්වරයෙන් කියාගෙන ගියත් කතාව අවසන් කරන්නට ඉඩ නොදී අම්මා ඇයට බාධා කළාය. 
“හැම වෙලාවෙම අසුබවාදී විදියට හිතන්න එපා. අනිත් එක කවුරු හරි මොනවා හරි කිව්ව ගමන් කලබල වෙන්නත් එපා. සකුණ අයියා ඔයාට නැති වෙන්නෙ නෑ.” 
“ඔය ඇත්තම ද අම්මා.?” 


ඇය විමසුවේ උඩ පැන නටන්නට තරම් වන ප්‍රීතියකිනි. ඔහු අහිමි නොවන්නේ නම් අනෙක් සියල්ලම දෙවැනි තැනෙහි ලා සලකන්නට ඇයට අසීරුවක් නැත. 
“ඔව්.... මම හැමදාම එන්නෙ නෑ වගේ තමයි සකුණටත් හැමදාම ඔයා එක්ක කතා කරන්න එන්න බැරි වෙයි. මොකද එයාට විභාගෙත් ළඟයිනෙ. පාඩම් කරන්න තියෙනවා. පන්ති යන්න තියෙනවා. ඉස්සර වගේ හැමදාම ඉස්කෝලේ එන්නෙත් නැති වෙයි. අගෝස්තු මාසෙන් පස්සෙ ඉස්කෝලෙන් අස් වෙලාම යනවා. හැබැයි ඒකෙ තේරුම එයා ඔයාගෙන් ඈත් වෙලා යනවා කියන එක නෙමෙයි.” 
අම්මා එසේ කියද්දී දිනේෂිගේ සිතට පිවිසි සතුට අඩකින්ම හීන වී ගියේය. යථාර්ථය මොන තරම් කටුකදැයි ඇය කල්පනා කළාය. 
“මට තේරෙනවා අම්මා.” 
ඇය මිමිණුවේ හූල්ලමිනි. 


සැබැවින්ම ඇයට මේ සිදුවෙමින් පවතින කිසිම කිසි දෙයක් පැහැදිලිව තේරුණේ නැත. ඇයට දැනුණේ අසරණ බවක් පමණකි. සිරුරේ හිරිගඩු පිපෙන තරම් දැඩි සීතල සහිත මේ රාත්‍රියේ අම්මාගේ උණුසුමට තුරුළු වී සිටීමේ වුවමනාවකින් ඇය නොඉවසිලිමත් වූවාය. දෙනෙත් විවර කර පිච්ච පඳුර දෙස බලන්නට ද ඇයට කිහිප වරක්ම සිතිණි. ඇය බොහෝ ආයාසයෙන් ඒ සිතුවිල්ල සිත පත්ලට තල්ලු‍ කර දැමුවේ දෙනෙත් පියාගෙන සිටින ලෙස අම්මා විසින් අවධාරණය කරනු ලැබ තිබූ නිසාය. තමා අකීකරු වුවහොත් ඇය නැවත නොඑන්නට ඉඩ තිබේ. 
“තාත්තලට අද තිසේරා මුදලාලිගෙ ගෙදර පාටියක්. හොඳටම බීලා. ඒ හින්දා ගෙදර එන්නත් බැරි වෙයි. හෙට උදේ ආවම ඔයා තදින්ම කියන්න ආයෙ බීලා එන්න එපා කියලා. හරි දැන් ඔයා ගෙට යන්න. මටත් දැන් යන්න වෙලාව හරි.” අම්මා කීවාය. 
“අනේ අම්මා..... තව තත්පරයක් ඉන්න.” ඇය බැගෑපත් වූවාය. 
ඇයට දැන ගන්නට තවත් වැදගත් කරුණක් තිබිණි. 


 “ලොකු මල්ලී හැමදාම පන්සලේ නවතින එකක් නෑ නේද.?” 
“ඔයා උදේට පන්සලට ගිහින් මල්ලිගෙන් අහලා බලන්න. මම යනවා. දැන් ඔයා ගෙට යන්න.” 
ඒ අණත් සමඟම පිච්ච වැල දෙසින් සර සර හඬක් නැගිණි. දිනේෂි වහා ගෙතුළට ගියේ සකුණගේ නිවස දෙසවත් බලන්නේ නැතිවය. මෙතෙක් නොදැනුණ තනිකම ඇයට දැනෙන්නට පටන් ගත්තේ අම්මා නික්ම ගියාට පසුවය. 
රැයේ ඉතිරි කොටස ඇය පහන් කළේ නින්දක් නොමැතිවමය. ජීවිතයට තනිවම මුහුණ දෙන්නට හිත හදා ගන්නා ලෙස අම්මා කී අන්දම ඇය දිගින් දිගටම සිහිපත් කළාය. ඇය එය කීවේ නිකමට නොව තමාටවත් පාලනය කරන්නට නොහැකි බොහෝ කටුක දේවල් අනාගතයේදී සිදු වෙන්නට නියමිත නිසා විය යුතුය. ඇයට සහනයක් වූයේ සකුණ අහිමි නොවන බවට හැඟීම පමණකි. එහෙත් නිත්‍යා වරින්වර ඒ සිතුවිලිවලට පිවිස වද දුන්නේ නිර්දය ලෙසිනි. සකුණ විසින් නිලා කූරක් පත්තු කර දෙනු ලැබූ යුවතිය ද කිහිප වරක්ම ඇයට සිහිපත් විණි. හෙට උදෙන්ම ඒ කවුදැයි ඔහුගෙන් විමසා දැනගෙන සිත නිදහස් කර ගන්නට දිනේෂි අදිටන් කර ගත්තාය. 
අම්මා මියගොස් මාස ගණනාවක් ගත වී තිබුණත් නිවසේ කවදාවත් කිරිබතක් ඉදී තිබුණේ නැත. දිනේෂි කිරිබත් උයන්නට දැන සිටියේත් නැත. එහෙත් නංගී සහ පොඩි මල්ලී වෙනුවෙන් ඇය පුංචි හැලියක කිරිබතක් ඉව්වාය. අම්මා නම් අලු‍ත් අවුරුද්දට කිරිබත් ඉව්වේ නැවුම් හැලියකය. මේ වන විට අම්මාගේ භූමිකාව රඟ පෑවත් අතීතයේ ඇය විසින් කරන ලද වතාවත් සියල්ල එලෙසින්ම කරන්නට තමාට හැකියාවක් නැති බැව් දිනේෂි දැන සිටියාය. ඇයට උපදෙසක් ගන්නට වැඩිහිටියෙකු සිටියේත් නැත. පොල් බෑයක කිරි දමා උයන ලද කිරිබත රසවත් නැති වූවා පමණක් නොව කෑලි කපන්නට නොහැකි තරම් දියාරු ද වූයේය. සුසුමක් හෙලූ ඇය ඔවුන් දෙදෙනාගේ පිඟන්වලට කිරිබත රවුමට බෙදා රතු ළුෑණු වැඩිපුර දමා සාදන ලද ලු‍ණු මිරිසක් ද මැදින් තැබුවාය. ගෙදර ආවත් තාත්තා කෑම කනු ඇතැයි සහතිකයක් නොවූයේ වී නමුත් ඇය ඔහු වෙනුවෙන් කොටසක් හැලියේම ඉතිරි කළාය. ඇයට නම් කෑම රුචියක් යන්තමටවත් දැනුණේ නැත. 
“අක්කා කිරිබත් උයලා.” 


සතුටින් කියමින් නංගීත් මල්ලීත් නීරස කිරිබත දිව බොජුනක් මෙන් බුදිනු දුටු විට ඇගේ පපුව හෝස් ගා දැවී ගියේය. තමා උයන දේවල් වතුර බඳුයයි ලොකු මල්ලී විසින් කරන ලද චෝදනාව මෙන්ම තාත්තා “වීසි කරපල්ලා මේ ජරාව..” කියමින් පිඟානට ගැසූ ආකාරයත් ඇයට දෙතුන් වරක්ම සිහිපත් වූයේය. නිවැරදිව කිරිබත් උයන පිළිවෙළ පොඩි නැන්දාගෙන් හෝ අසා ගත යුතුයයි ඇය සනිටුහන් කර ගත්තාය. 
මේ වන විට සසංකත්, නිසංකත් භාවිත කරමින් සිටි, තාත්තාගේ කාමරයට දිනේෂි ගියේ පන්සල් ගමනට ඇඳීම සඳහා නිසංකට ඇඳුමක් සොයා ගන්නටය. එහි සසංකගේ ඇඳුම් කිසිවක්ම නොතිබිණි. ඇයට පුදුමයක් මෙන්ම සැකයක් ද දැනෙන්නට වූයේය. 
“අයියගෙ ඇඳුම් මොකවත්ම මේකෙ නෑනේ පොඩ්ඩෝ..” 
ඇය අල්මාරියේ ලාච්චු පවා ඇර බලමින් පැවසුවාය. 
“ඇයි අයියා පන්සලට යනකොට ඒවා අරන් ගියේ..” 
නිසංක කීවේය. 


දිනේෂි අල්මාරි පියන එහෙමම අත හැර, බමරයක් මෙන් ආපසු හැරී පොඩි මල්ලී දෙස බැලු‍වේ විකසිත කර ගත් දෑසිනි. අක්කාගේ ඉරියව්වෙන් බියට පත් ඔහු පස්සෙන් පස්සට ගොස් බිත්තියට හේත්තු වූයේ තමා වරදක් කළාක් බඳුවය. 
“ඒ මොකටද එච්චර ඇඳුම් ගොඩක් අරන් ගියෙ.? ඊයෙ රෑ විතරනෙ පන්සලේ ඉන්නවා කිව්වෙ.?” 
දිනේෂි කීවේ තමාටම කියා ගන්නාක් බඳු පහත් ස්වරයකිනි. ඇගේ සිත ශෝකයෙන් ඇදුම් කමින් තිබිණි. 
“නෑ ලොකු අක්කා.... අයියා ආයෙ ගෙදර එන්නෙ නැතුව පන්සලේම ඉන්නවා කියලා ගියේ. ඉස්කෝලේ යන්නෙත් නැතුව පිරිවෙනට යනවා කිව්වා. මට අක්කලගෙ කාමරේ ඉන්න කිව්වා.” 


නිසංක මෙතෙක් සඟවාගෙන සිටි රහස හෙළිදරව් කළේ කනගාටුවෙන් පිරුණ හඬිනි. 
ලොකු මල්ලී කාටවත් නොකියා අභිනිෂ්ක්‍රමණය කර තිබේ. නැවත කවදාවත් ඔහු සුපුරුදු ලොකු මල්ලී ලෙස ගෙදරට නොඑන බැව් සහතිකය. අයිස්ක්‍රීමයක් දිය වී වැගිරෙන්නාක් මෙන් තමාත් දිය වී යනු දිනේෂිට දැනිණි. 
“අනේ..... ලොකු මල්ලී.” 


ඇය එතැනම බිම ඇද වැටී කෑ ගසා හඬන්නට පටන් ගත්තාය. 

 

෴ ලබන සතියට ෴