අපි වරදක්‌ කෙරුවෙ නෑනෙ ආච්චියෙ තාත්තා කිව්ව දේවල් වලට අපි පාලි නෑනෙ ...’


 

පොඩි නැන්දා ගේ උදව් ඇතිව දානයක් උයා පන්සලට ගෙන ගොස් දුන්නාට පසුව දිනේෂි ගේ සිතට විශාල සැහැල්ලු‍වක් දැනෙන්නට පටන් ගත්තේය. කිත්සිරි ඒ දානයට කිසිදු ලෙසකින් සහයෝගයක් දැක්වූයේ නැත. අඩුම ගාණේ වෙනදා දිනේෂිට දෙන මුදලට අමතරව මුදලක්වත් දුන්නේ නැත. ඔහු වෙනදාට වඩා උදෑසනින් ගෙදරින් ද පිට වී ගියේය. පොඩි නැන්දා ඒ පිළිබඳව මවිතයට පත් වුවත් ඔහුගේ වෙනසට හේතුව සලකා ගත හැකි බැවින් දිනේෂි කිසිදු මැසිවිල්ලක් නැගුවේ නැත. 


ආච්චි ලොකු නැන්දා බලන්නට යන්නට එදාම යොදා ගත්තේ දානය මඟ හරින්නට බැව් දිනේෂි දැන සිටියාය. ලොකු නැන්දා කසාද බැන්දේ ඇගේ තනි මතයටය. එම නිසාම නිරන්තරයෙන්ම ආච්චි ගේ දෝෂ දර්ශනයට හසු වෙන්නට ඇයට සිදු වූයේය. ඇය බොහෝ කලාතුරකින් ගමට ආවේ එම නිසාය. රාජු මාමාට ස්ථිර රැකියාවක් තිබුණේ නැත. ඔවුන් වාසය කළේ ද කුලී ගෙදරකය. 


“බලන්න යන්න නම් වටින්නෙ නෑ... ඒත් අර අහිංසක දරුවො දෙන්නා මතක් වෙනකොට පපුව වාවන්නෙ නෑනෙ...” 
කිය කියා ආච්චි කදමලු‍ බැඳගෙන ඇය බලන්නට ගියාය. දිනේෂි තුළ නම් කොහොමත් ලොකු නැන්දා ගැන ලොකු ලෙන්ගතු හැඟීමක් නොවිණි. පොඩි නැන්දා මෙන් ආදරණීය නොවූ ඇය අම්මාගේ මළ ගෙදර ආවේත් නෑවිත් බැරිකමට මෙනි. 
“ඕකි හෙණ කපටි අංගනාව... අයියටත් දැන් තනියම කෙල්ලො දෙන්නෙක් බලා ගන්න බෑනෙ කියලා මෙහෙ ඇවිත් නතර වෙන්නත් බැරි නෑ..” 
ලොකු නැන්දා ගැන කතාවක දී දිනක් තාත්තා පොඩි නැන්දා සමඟ පැවසූ අයුරු දිනේෂිට මතකය. ඒ කතාබහින් පසුව ඇය තුළ ලොකු නැන්දා කෙරෙහි බියක් මෙන්ම අප්‍රසන්න බවක් ද ඇති වූයේය. ඇය එම හැඟීම ද සිත පත්ලේ සඟවා තබා ගත්තාය. 
දානය වෙනුවෙන් කිසිදු උදව්වක් නොකරන බවට වහසි බස් දෙඩුවේ වී නමුදු කොස් කඩා, පොල් ලෙලි ගසා දෙන ලද්දේ සසංක විසිනි. දානය ගෙන යාම සඳහා පන්සලේ භාජන රැගෙන ආවේ ද ඔහුමය. 


“මෙයාගෙ මේ වෙනස මට විශ්වාස කරන්නත් බෑ පොඩි නැන්දා..” 
දිනේෂි පොඩි නැන්දාට කීවේ මවිතයෙනි. 
“එයා හොඳ අතට වෙනස් වෙයි.. ඔයා එච්චර කලබල වෙන්නෙ නැතුව ඉන්නකො..” ඇය කීවාය. 
පන්සලේ දී ලොකු හාමුදුරුවන් කීවේත් එසේමය. ලොකු මල්ලී ඉතාම හොඳ දරුවෙකු බවත්, ඔහුට මහණ යෝගයක් ඇති බවත් කියද්දී දිනේෂි ඇතුළාන්තයෙන් බොහෝ කලබල වුවත් ඒ බව නොපෙන්වා සිහින් සිනාවක් දෙතොලට නංවා ගන්නට සමත් වූවාය. පන්සලේ සිටි සාමණේර හිමි නමක් ලොකු මල්ලීට ආදේශ කරන්නට ගත් උත්සාහයේ දී ඇගේ සිත දෙතුන් පලකින් ඇවිලී ගියේය. 


“ලොකු මල්ලී මහණ වෙනවට මම නම් කැමති නෑ පොඩි නැන්දා.. රණ්ඩු වෙවී හරි එයා ඉන්න එක මට ලොකු හයියක්..” 
පන්සලේ සිට ආපසු එද්දී ඇය ලොකු නැන්දාට කීවාය. එවේලේත් ඇය කීවේ බොරුවට කලබල නොවන ලෙසය. 
දිනේෂි කෙසෙල් කොළයක ඔතන ලද දානේ බත් මුලක් පොඩි මල්ලී අතේ සකුණලාගේ ගෙදරට ද යැව්වාය. බත් මුලත් දී ඔහු සමඟ ටික වේලාවක් කතා කරන්නටත් ඇයට වුවමනා වී තිබිණි. එහෙත් පොඩි නැන්දා සිටි බැවින් එසේ කරන්නට නොහැකි වූයේය. දානයක් ඉවූ කල අසල්වැසි නිවෙස්වලටත් කොටසක් දීම සිරිතක් බැවින් පොඩි නැන්දා කිසිවක් ඇසුවේත් නැත. 


ආපසු එන ගමන් ආච්චි පිටස්තරයෙක් මෙන් ගේ ළඟට පැමිණ පොඩි නැන්දාට හඬ ගැසුවා මිස ගෙට ගොඩ වූයේ නැත. දිනේෂිට දැඩි වේදනාවක් දැනිණි. ආදරණීය සියල්ලන්ම තමන්ගෙන් ඈත් වෙන බව සිතෙද්දී ඇයට දරා ගන්නට නොහැකි වූයේය. 
“අනේ ආච්චි යමුකො ගෙට.. ” 


අනුෂි පාරට දිවගොස් ආච්චිගේ අත් අල්ලාගෙන බැගෑපත් වූවාය. කඳුළු පිරුණ දෑසින් බලා සිටියා මිස දිනේෂි නම් වචනයක්වත් කතා කළේ නැත. 
“මට බෑ.. රේණු වරෙන් ඉක්මනට.. පරක්කු වෙනවා..” 
ඇය කීවේ අනුෂිගේ අත ගසා දමමිනි. පොඩි එකී ගේ මුහුණ නරක් වී ගියේය. ඇය පස්සෙන් පස්සට ගොස් දිනේෂිගේ ඇඟට හේත්තු වූයේ හූල්ලමිනි. ආච්චි කිසිම දිනෙක මෙවන් අකාරුණික බවක් පළ කර නොතිබිණි. දිනේෂි නංගී තුරුලු කරගෙන හිස පිරිමැද්දාය. 
“කිව්වත් වාගෙ අම්මා ගෙට ඇවිත් තේ කෝප්පයක් බීලා යන්නකො.. මේ පොඩි එවුන්ගේ හිත් රිදෙනවනෙ ඔහොම පිට පාරෙම යනකොට..” 
රේණුකා කී විට හීන් නෝනා ඇයට රවා බැලු‍වාය. 


“මට ඕනැති තේ එකක් නෑ.. උඹත් එනවා නම් වරෙන්.. නැත්නම් හිටපන්.. මම ආයෙ ඔය ගෙදෙට්ට පය ගහන්නෙ නෑ කියලා හිතාගෙන දොට්ට බැස්සෙ.. ඒක එහෙමම තමයි..” 
“අපි වරදක් කෙරුවෙ නෑනෙ ආච්චියෙ.. තාත්තා කිව්ව දේවල්වලට අපි පළි නෑනෙ..” දිනේෂි කීවේ අසරණ හඬිනි. 
ඇය කියූ දෙය නෑසුන ගණනට ආච්චි පාර දිගේ සැරෙන් සැරෙන් යන්නට පටන් ගත්තාය. 
“මූලග්ගාය හැදිලා වාගෙ..” 
සිනාසී කියු රේණුකා දරුවන් ගේ හිස් පිරිමැද වහා ගොස් අම්මා සමඟ එකතු වූවාය. 
“ආච්චි එහෙම නපුරු වෙලා තියෙන්නෙ මූලග්ගාය හැදිලා හින්ද ද අක්කා..?” 
නංගී අසද්දී වෙන අවස්ථාවක නම් දිනේෂිට සිනා යන්නට ඉඩ තිබිණි. එහෙත් මේ වේලාවේ ඇය සිටියේ දෙතොල් විවර කරන්නට නොහැකි තරමට විඩාබරවය. 
“වෙන්නැති..” 


සුසුමක් හෙළා කියූ ඇය නංගීත් තුරුලු කරගෙනම ගෙට වැදුණාය. මොවුන්ට දැන් තමන්ගේ පිහිට හැරෙන්නට වෙන රැකවරණයක් නෑ නොවේදැයි ඇයට සිතෙන්නට වූයේය. 
එදින රාත්‍රියේ ලොකු වැස්සක් ඇද හැළෙමින් පැවති බැවින් පහන ළඟට යාමට දිනේෂිට නොහැකි වූයේය. ආච්චි වෙනස් වී සිටින බැව් අම්මා සමඟ කියන්නට ඇයට දැඩි වුවමනාවක් තිබිණි. අඩුම වශයෙන් සකුණ හා කතා කරන්නටවත් ඇයට අවස්ථාව ලැබුණේ නැත. මල්ලිලාත් නංගීත් වෙනදාට වඩා වේලාසනින් නින්දට ගියහ. දැඩි පාළුවත්, කාන්සියත්, කාවදාවත් නැති තරමේ බියකුත් සිත පෙළමින් තිබුණ නිසා ඇය තාත්තා එන තුරු මඟ බලා සිටියාය. 


“තාත්තා එන්න රෑ වුණොත් ගෙට වෙලා දොර වහගෙන ඉන්නවා මිසක් ඉස්තෝප්පුවට වෙලා නිදි කිරකිර ඉන්න එපා..” 
සකුණ විසින් ඇයට අවවාද දෙනු ලැබ තිබිණි. එම නිසාම ඇය දොර වසා අගුලු‍ දමාගෙන ඒ ආසන්නයටම වී පාඩම් කරමින් සිටියාය. එහෙත් සැබැවින්ම ඇය කළේ පාඩම් පොතේ ඇස් රඳවාගෙන, එළියට කන් යොමු කරගෙන සිටීමය. එහෙත් වැස්සේ හඬ හැර වෙන කිසිම හඬක් ඇයට ඇසුණේ නැත. 
හිටි හැටියේම දඩස් හඬින් දොරට පහරක් වැදුණේය. දිනේෂි උඩ ගොස් බිම වැටුණාය. ඇගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේය. පොඩි උන් තිදෙනෙකුත් සමඟ තමා මොන තරම් අනාරක්ෂිතදැයි ඇයට සිතෙන්නට වූයේය. 
“ඇරපියව් මේ දොර..” 


බර පිරිමි හඬක් සමඟ තවත් පහරක් දොරට වැදිණි. දිනේෂි ගිඩි ගා වෙව්ලන්නට පටන් ගත්තාය. දොර අගුලු‍ ලා ඇති බැව් සැබෑවකි. එහෙත් ශක්තිමත් පිරිමියෙකුට එය බිඳ දමා ගෙට ඇතුළු වීමට බැරිකමක් නැත. 
“දෙයියනේ.. මම දැන් මොකද කරන්නෙ..?” ඇය දෑත් ගැසුවාය. 
තමා කෑ ගැසුවත් වැස්සේ හඬ නිසා එය සකුණලාගේ ගෙදරටවත් නෑසෙන බැව් ඇයට වැටහිණි. 
දොර දෙදරවමින් තවත් වේගවත් පහරක් වැදුණේ ඒ සමඟමය. එය තමාගේ හදවතට වැදුණ පහරක් මෙන් දිනේෂිට දැනිණි. 


ලබන සතියට...