අන්තර්ජාලයෙන් බලාගෙන ස්නයිපර් තුවක්කුව හැදූ කොල්ලා ඩොලර් උල්පතක්


නීතිපොත වෙනස් කර  තරුණයා නිදහස් කර තුවක්කු කර්මාන්ත ශාලාවක් හදන්න බාර දෙන්න

 

  • වර්තමානයේ බොහෝ දෙනා අන්තර්ජාලයෙන් සිදුකරන්නේ වංචා දූෂණ ය. බැලූ බැලූ අත පෙනෙන්නට ඇත්තේ ද මෙකී නොකී දූෂණ ක්‍රියා ය. එවන් පසුබිමක දී අන්තර්ජාලයෙන් යමක් ඉගෙන ගෙන අත්හදා බලමින් සිටින මෙවැනි තරුණයන් හමුවීම ද දුලබ ය. මේ රටේ නීතියට අනුව නම් ඔහු සිදුකර ඇත්තේ වරදකි. එය පිළිගත යුතු වුවත්, එවන් දක්ෂයින් අගයන එසේ නොමැතිනම් ඔවුන්ට දිරි දෙන කිසිදු මාර්ගයක් ලංකාවේ පෙනෙන තෙක් මානයක හෝ නැත. 

“අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී” අපේ රටේ ශ්‍රේෂ්ඨ පඬිරුවනක් වූ මුනිදාස කුමාරතුංගයන් කී ඒ රුවන් වැකිය අද වන විට කෙතරම් දුරට යථාර්ථයක් වෙමින් තිබේද? අපේ රට ඈත ඉතිහාසයේ සිටම නව නිර්මාණ නිපැයුම් බිහිකිරීමෙහි ලා ප්‍රමුඛස්ථානයක් ගත් බව අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ. අත්ට්‍රැක්ටරය, නගුල, මෙන්ම පළමු ගුවන් යානයේ සැකැස්ම පවා අපේ රටේ නිර්මිත වූ බවට කියැවෙන තොරතුරු අප හොඳින්ම දන්නා කාරණා ය. එවන් දක්ෂයන් අප අතර සිටි අතර අද ද එවැනි දක්ෂයන් නැතුවා ම නොවෙයි.

ලෝකය දෙස බලද්දී අද බොහෝ රටවල් ඉහළින්ම සිටින්නේ නව නිර්මාණවලට පින්සිදුවන්නටය. අද වන විට ආර්ථික ගැටලු හමුවේ අභියෝගයට ලක්ව සිටි අපේ රට ද නව නිර්මාණ අමතක කර ගමනක් යාමට සැරසෙන්නේ නම් එය තවත් අගාධයට යෑමකි. නව නිර්මාණ කෙරෙහි ලොව දෑස් අයා බලා සිටින කාලයක අපේ රටේ වාද්දුව ප්‍රදේශයේ තරුණයකුගේ ‘අමුතු තාලයේ නිපැයුමක්’ ගැන ඉකුත් දා අසන්නට ලැබිණි. ඒ, හමුදා ස්නයිපර් වෙඩික්කරුවන් භාවිත කරන අවියකට බොහෝ සමාන නවීන පන්නයේ ස්නයිපර් ගිනි අවියක් නිර්මාණය කර තිබීමය. 


බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව වාද්දුව පොලිසියේ නිලධාරීන් ඉකුත් 30 වැනිදා කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ස්වයංක්‍රීය නොවන ගිනි අවියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරු වයස අවුරුදු 27ක තරුණයකු වන අතර, වාද්දුව, කැකුණගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකාර තරුණයා කලක් මත්කුඩු පානයට ඇබ්බැහි වී සිට පුනරුත්ථාපනය වූ අයකු බවද පොලීසිය පවසයි. 


මෙම ස්වයංක්‍රීය නොවන ගිනි අවිය, හමුදා ස්නයිපර් වෙඩික්කරුවන් භාවිත කරන අවියකට බොහෝ සමාන නවීන පන්නයේ ගිනි අවියක් බවට පොලීසියට නිරීක්ෂණය වී තිබිණ. ඉවතලන ප්ලාස්ටික් කොටස්, සුදු යකඩ කොටස්, ස්ප්‍රීන්, යකඩ සහ ඇලුමීනියම් බට යොදා ගනිමින් නිර්මාණය කරගෙන ඇති මෙම ගිනි අවිය අඩි 04ක පමණ දිගින් යුතු වූවක් බවද පොලීසිය සඳහන් කරයි. එපමණක් ද නොව ප්ලාස්ටික් සහ වීදුරු කාච යොදා එම අවියට දුරදක්නයක් ද සවිකර තිබූ බව පොලීසියට නිරීක්ෂණය වී ඇත. පොලීසිය මෙම ගිනි අවිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එය තවදුරටත් නවීකරණය කිරීම සඳහා කොටස්වලට ගලවා තිබූ බවද වාර්තා වෙයි. 


“මේක කොහොමද හැදුවේ?” පොලීසියේ ප්‍රශ්න කිරීම් හමුවේ තරුණයා සිය අත්හදා බැලීම් විස්තර කර තිබුණේ මෙසේය. 
“සර්, මම ඉන්ටර්නෙට් එකේ ගිය වැඩසටහනක් බලලා තමයි මේක හැදුවේ. ඒ ප්‍රෝග්‍රෑම් එක ආයුධ හදන විදිහ ගැන තිබුණු එකක්. මම ආසාවෙන් එක බැලුවා. ඒක බලද්දි මටත් හිතුණා එහෙම ස්නයිපර් එකක් හදන්න. මං විසිකරන ප්ලාස්ටික්, යකඩ කෑලි, බට වගේ ඒවා අරගෙන තමයි මේක හැදුවේ.” 
“මේක හැදුවාට පස්සේ කාට හරි වෙඩි තියලා බැලුවද?” 


“සර්, මම මේකෙන් වෙඩි තියලා ටෙස්ට් කරලා බැලුවා. මම පොඩි යකඩ බෝල දාලා පූසන්ට, කුරුල්ලන්ට වෙඩි තිබ්බා.” 
“එතකොට ඒ සත්තු මැරුණද?” 


“ඔව්. එතනම මැරිලා වැටුණා.” 
ඒ තොරතුරු එසේ වුවත් මෙම තරුණයා සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාවේ නීතියට අනුව වරදකි. ගිනි අවි ආඥා පනත ප්‍රකාරව ගිනි අවියක් නිපැදවීම, බලපත්‍රයක් නොමැතිව ළඟ තබා ගැනීම මෙන්ම විකිණීම හෝ බෙදාහැරීම දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ හේතුවෙන්ම මෙම සැකකාර තරුණයා පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන්. සිල්වා මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත. 
ස්වාධීන රටක් වශයෙන් අපි අපේ රටේ ජීවත් වුවද අනාදිමත් කාලයක සිට හැසිරෙන්නේ පාලනය වන්නේ ‘සුද්දාගේ’ නීතියට අනුවය. එදා සිට අද දක්වා මේ නීතිය වෙනස් වී නැත. අප කෙතරම් ස්වාධීන වුවත් සුද්දාගේ නීතියෙන් අප බැඳ දමා ඇත. සත්‍යය එසේ වුවත්, මේ තරුණයා සිදුකර ඇත්තේ ඒ නීතියට අනුව දඬුවම් ලැබිය යුතු වරදකි. එහෙත් ඔහු සැබෑම දක්ෂයෙක් නොවන්නේද? කලක් මතට ඇබ්බැහිවී පුනරුත්ථාපනය වීම තුළින් ඔහු ජීවිතයට පන්නරයක් ලබාගෙන නැතැයි කිව හැකි ද? මෙවැනි ගිනි අවියක් නිෂ්පාදනය කිරීමට ඇති නීතිමය හැකියාව ගැන විවිධ තර්ක විතර්ක ඇතත් නව නිර්මාණයක් කිරීමට අපේ රටේ තරුණයකුට ඇතිවූ මේ සිතුවිල්ල ගැන නම් අවතක්සේරු කළ යුතු ද? 
වර්තමානයේ බොහෝ දෙනා අන්තර්ජාලයෙන් සිදුකරන්නේ වංචා දූෂණ ය. බැලූ බැලූ අත පෙනෙන්නට ඇත්තේ ද මෙකී නොකී දූෂණ ක්‍රියා ය. එවන් පසුබිමක දී අන්තර්ජාලයෙන් යමක් ඉගෙන ගෙන අත්හදා බලමින් සිටින මෙවැනි තරුණයන් හමුවීම ද දුලබ ය. මේ රටේ නීතියට අනුව නම් ඔහු සිදුකර ඇත්තේ වරදකි. එය පිළිගත යුතු වුවත්, එවන් දක්ෂයින් අගයන එසේ නොමැතිනම් ඔවුන්ට දිරි දෙන කිසිදු මාර්ගයක් ලංකාවේ පෙනෙන තෙක් මානයක හෝ නැත. නීතියට අනුව වරදක් නම් එය නිවැරදි කර ගනිමින් නිසි ක්‍රමවේදයට අනුව කටයුතු කිරීමට මෙවන් දක්ෂයන් තැනීම වගකිවයුත්තන් සිදුකළ යුත්තක් නොවේද? තවමත් අපේ රටේ ආරක්ෂක අංශ මෙවැනි ගිනි අවි පිටරටින් ගෙන්වමින් සිටිද්දී මෙවැනි දක්ෂයින් යොදවා ඒවා අප රට තුළම නිෂ්පාදනය කිරීමට කටයුතු කිරීම නිශ්ඵල ක්‍රියාවක්ද? 


‘‘ඒ කේ 47’’ නමින් ප්‍රචලිත කලෂ්නිකොෆ් ස්වයංක්‍රීය රයිෆලයේ නිර්මාතෘවරයා වූයේ රුසියාවේ අල්තායි ප්‍රාන්තයේ කඳුකරයක ජීවත් වූ දුගී පවුලක පුද්ගලයෙකි. ඔහු නමින් මිහායිල් කලෂ්නිකොෆ් ය. එමෙන්ම පසුකලෙක ඔහු දෙවැනි ලෝක යුද සමයේ රුසියානු හමුදා නිලධාරියකුව සිට තුවාල ලැබීය. ඉකුත් 2013 වර්ෂයේදී ඔහු මියගිය අතර ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 99කි. රුසියානු හමුදාවේ ප්‍රධානතම ගිනි අවිය වන්නේ ඒ කේ 47 ගිනි අවියයි. කලෂ්නිකොෆ් ගේ සැලසුම අනුව ලොව පුරා කෝටි ගණනින් රයිෆල් නිෂ්පාදනය කර ඇත. එදා ඒ කේ 47 ගිනි අවියේ නිර්මාතෘ හිරගෙට යැව්වේ නම් ලොව පුරා ජනප්‍රිය මේ අවිය අද නැත. 


ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ මෙහෙවර ලෙසින් දක්වා ඇත්තේ, ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ නවෝත්පාදන කුසලතා මුවහත් කිරීම සඳහා සහ සුදුසු තාක්ෂණික, මූල්‍ය හා නීති රාමුව තුළ නවෝත්පාදනය පිළිබද සංකල්පය නව නිපැයුම් පිළිබද විපරම් සහිත නිර්මාණශීලී පුරවැසියන්ගේ මනස තුළ බිඳින් බිඳ ගොඩනැංවීම මගින් නිර්මාණශීලි ක්‍රියාකාරකවල යෙදීම සඳහා අවශ්‍ය උපාය මාර්ග සැකසීම සහ ක්‍රියාවට නැංවීම ලෙසිනි. එහෙත් එම කොමිසමේ ද මේ රටේ නීතියට අනුව සකස් වූ ක්‍රියාවලියක් මිස ඉන් ඔබට සිදුවන ක්‍රියා ගැන දක්වා නැත. අද වන විට මේ රටේ ඇතැම් නීති වර්තමානයට නොගැළපීම හේතුවෙන් ඒවා නවීකරණය කර අලුත් නීති සකස් කිරීම පාර්ලිමේන්තුව මගින් සිදුවන අවස්ථා අපට අසන්නට දකින්නට ඇත. 


අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට අනවසරයෙන් ප්‍රවිශ්ට වූ දරුවකු එහි ප්‍රතිඵල ඉතාමත් ඉක්මනින් ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කර තිබූ අයුරු ඉකුත් වසරේදී අපට අසන්නට ලැබිණි. එම දරුවා මෘදුකාංග විෂයයෙහි ඉතාමත් දක්ෂ දරුවෙකි. එහෙත් ඒ දරුවා සිදුකර ඇත්තේ ද මේ රටේ නීතියට අනුව වරදකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ දරුවා ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර පසුව දැඩි අවවාදයකින් පසු දරුවා මුදාහැරිණි. මේ සියල්ලෙන්ම අපට වැටහෙන්නේ කුමක්ද? යල්පැන ගිය සුද්දාගේ ඇතැම් නීති සංශෝධනය විය යුතු අවස්ථා ඇති බව නොවේද? 

 

 

සටහන
නිමන්ති රණසිංහ