සුජිත් හේවාජුලිගේ
පළාත් පාලන මැතිවරණය තවත් මාස දෙක තුනකින් කල් යෑමට බොහෝ දුරට ඉඩ ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.
පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම ලබන මැයි මස 6 වැනිදා පැවැත්වීමට මුලින් තීරණය කර තිබුණත් ඇතැම් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් අධිකරණයෙන් නිකුත් කෙරුණු වාරණ නියෝග හා වෙනත් අධිකරණ කටයුතු හේතුවෙන් ඒවායේ ඡන්ද විමසීම් පැවැත්විය නොහැකි තත්වයක් මතුව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායකගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සියලු දේ කිරීමට ප්‍රථම පළාත් පාලන ආයතන සම්බන්ධ අධිකරණ කටයුතු අවසන් කර ගත යුතු බවයි. ඊට පසුව කොමිෂන් සභාව රැස්වී දිනය සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
පළාත් පාලන ආයතන තිහකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අධිකරණයෙන් දැනටමත් වාරණ නියෝග නිකුත් වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවට දැනගන්නට ඇත.
එහෙත් ඒවායේ නඩු වාර්තා තවමත් නිශ්චිත වශයෙන් කොමිෂන් සභාවට ලැබී නැති හෙයින් කොමිසමේ නිලධාරි කණ්ඩායම් එම වාර්තා ලබා ගැනීමට අධිකරණයට යොමු කර ඇති බව සභාපතිවරයා පැවසීය.
මෙයට අමතරව පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් තවත් නඩු තීන්දු ගණනාවක් ඉදිරි දිනවල ලැබීමට නියමිතය.
තවද අධිකරණ කටයුතු පවතින පළාත් පාලන ආයතනවලට තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම නවත්වා ඇත. දැනට තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැර ඇත්තේ එවැනි ගැටලු නැති පළාත් පාලන ආයතන 114 ක් සඳහා පමණි.
මේ සියලු කරුණු හේතුවෙන් පළාත් පාලන මැතිවරණය නිශ්චිත දිනට පැවැත්වීම බරපතළ ගැටලුවක් වනු ඇත. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කොටසින් කොටස පැවැත්වීම ලොකු මුදල් නාස්තියක් වන බව බොහෝ පිරිස් පෙන්වා දීම හේතුවෙන් ඒ කාරණය පිළිබඳව ද කොමිසමේ විශේෂ අවධානය යොමු වී ඇත.
දිවයින පුරා පළාත් පාලන ආයතන 336ක මැතිවරණය ලබන මැයි මස 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා තීරණය කළේය. මේ අතර පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය සියලුම භාණ්ඩ මිලදීගෙන ඇතැයි එම කොමිසම සඳහන් කරයි.