සබරගමු සරසවි ඇදුරන් 13 කගෙන් කෝටි 9ක පොල්ලක්


සුජිත් හේවාජුලිගේ

ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ 2000වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවී ඇති නිලධාරීන් දහතුන් දෙනෙකුගෙන් බැඳුම්කර කඩවීම හේතුවෙන් අයකර ගැනීමට අවශ්‍යව තිබූ  රුපියල් නව කෝටි විසි දෙලක්ෂයකට වැඩි මුදලක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

පසුගිය වසරේ (2024) අප්‍රේල් මාසය වන තුරුම මෙම මුදල අය කරගෙන නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ. මේ අතර අදාළ අමාත්‍යවරයාගේ හා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව 2023 වර්ෂයේ දී කෝටි 16 කට වැඩි මුදලක් ස්ථාවර තැන්පතු 14ක ආයෝජනය කර තිබූ බවද විගණන වාර්තාව සඳහන් කරයි.

එම විශ්වවිද්‍යාලයේ නිලධාරීන් අට දෙනකුගෙන් 2019 සිට 2023 දක්වා කාලයේ දී රුපියල් ලක්ෂ 29කට වැඩි නිවාස කුලී අය කරගෙන නොතිබූ බව විගණන අංශ පවසයි.

මේ අතර වෛද්‍ය පීඨයේ රසායනාගාර පරීක්‍ෂණ සඳහා අත්‍යවශ්‍ය රසායන ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් දෑ මිලදී ගැනීම වෙනුවෙන් එක් කෝටි 36 ලක්ෂයකට වැඩි ප්‍රසම්පාදන කාර්යයන් හයක් 2023 වර්ෂයේ දී අතරමග නවතා තිබූ බවත් කඩිනමින් දෙන ලෙස ඉල්ලීම් කර තිබියදීත් වර්ෂයේ අවසාන වන විටත් ඒවා මිලදී නොගැනීමෙන් වෛද්‍ය සිසුන්ගේ ප්‍රායෝගික පරීක්ෂණවලට අහිතකර ලෙස බලපා තිබූ බවත් වාර්තාව සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ  ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.