වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 180ක හිඟයක්


සුදර්ශනී කෝණාර

මෙරට රෝහල් පද්ධතියේ මූලික ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ, හෘද රෝගීන්ට ලබාදෙන ඖෂධ, අධි රුධිර පීඩනය සහිත රෝගීන්ට ලබා දෙන ඖෂධ, ඇදුම රෝගීන් සහ දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඖෂධවල හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙළි කරයි.

ජීවිත ආරක්ෂක ඖෂධ 12ම මේ වන විට හිඟ බව එම සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය. 

එමෙන්ම වැටුප් සහ යහපත් වෘත්තීය පරිසරයක් නොතිබීම හේතුවෙන් පසුගිය අවුරුදු දෙකකට ආසන්න කාලයේ දී වෛද්‍යවරුන් 1,500කට ආසන්න ප්‍රමාණයක් ද විශේෂඥ වෛද්‍යවරුන් 750කට ආසන්න ප්‍රමාණයක් ද රට අතහැර ගොස් ඇති බව හෙතෙම තව දුරටත් පැවසීය. 

ප්‍රධාන වශයෙන් භාවිත වෙන වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 180කට අධික ප්‍රමාණයක ද රෝහල් පද්ධතියේ ඖෂධ 40කට අධික ප්‍රමාණයක ද හිඟයක් පවතින බව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කර ඇති බව වෛද්‍යවරයා ප්‍රකාශ කළේය. 

ඖෂධ තොග බෙදාහැරීම හා තොග කළමනාකරණය නිසි පරිදි සිදු නොවීම සහ මධ්‍යම බෙහෙත් ගබඩාවේ හෝ ප්‍රාදේශීය බෙහෙත් ගබඩාවේ අවශ්‍ය ඖෂධ තිබුණ ද අදාළ රෝහල්වලට එම ඖෂධ නිසි පරිදි නොලැබීම යන කාරණා මෙම ඖෂධ හිඟයට බලපා ඇතැයි  ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් අවශ්‍ය අවධානය ලබා දී කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් සහ පියවර සහිතව මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය පාර්ශ්ව මැදිහත්විය යුතු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.