පළාත් පාලන ආයතනවල ආණ්ඩු පක්ෂ විපක්ෂ කියා දෙයක් නෑ


චාමර සම්පත්

කිසිදු පළාත් පාලන ආයතනයක ආණ්ඩු පක්ෂයක් හෝ විපක්ෂයක් කියා දෙයක් නොමැති බව බස්නාහිර පළාත් හිටපු පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස් ධර්මසිරි නානායක්කාර පවසයි.

පළාත් පාලන ආයතන නීතියට අනුව සභාවක ප්‍රධානියා සභාපති වන අතර මන්ත්‍රීවරුන් ජ්‍යෙෂ්ඨත්වය මත අසුන්ගැනීම සිදුකළ යුතු බවත් එලෙස අසුන් ගැනීමේදී ආණ්ඩු පක්ෂයක් හෝ විපක්ෂයක් ලෙස සැලකීමක් සිදු නොවන බවත් නානායක්කාර මහතා කීවේය.

එමෙන්ම පළාත් පාලන නීතියේ සඳහන් ආකාරයට පටහැණිව මන්ත්‍රීවරුන් අසුන්ගෙන සභාව විසින් ගන්නා තීරණ වලංගු නොවන බවද හෙතෙම පැවසීය. ඒ හේතුවෙන් කුමන පක්ෂයකින් හෝ වැඩකළ හැකි හොඳම පිරිස පළාත් පාලන ආයතන වෙත තෝරා පත්කරගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවද ධර්මසිරි නානායක්කාර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ඔහු මෙසේද පැවසීය. 

“සභාවක ආණ්ඩු පක්ෂය විපක්ෂය කියලා එකක් නැහැ. සභාවේ සභාපති කාටත් සභාපති. රැස්වීමක මූලාසනය ගන්නේ සභාපතිවරයා. සභාපතිවරයා නැති නම් උපසභාපතිවරයා. උපසභාපතිවරයාත් නැතිනම් එදින සභාවේදී බහුතර කැමැත්නෙත් තෝරාගන්නා ඕනෑම කෙනෙක් මූලාසනය ගතයුතුයි කියලා තමයි නීතියේ තියෙන්නේ. 

පළාත් පාලන ආයතනවල සභික මන්ත්‍රීවරුන් වාඩිවෙන ක්‍රමයක් තිබෙනවා. ඒක නීතියේම සඳහන් වෙනවා. සභාපතිවරයා මූලාසනයේ සිටිය යුතුයි. සභාපතිවරයාගේ දකුණු අත පැත්තේ සිට පිළිවෙළින් අඛණ්ඩ ජ්‍යෙෂ්ඨත්වයට අනුව වාඩිවිය යුතු වෙනවා. 

සභාපතිට පසුව ඊළඟ ජ්‍යෙෂ්ඨයා උපසභාපති. තුන්වැනියට සිටින්නේ අඛණ්ඩ ජ්‍යෙෂ්ඨත්වය මත පත්වූ මන්ත්‍රීවරයා. මේ ආකාරයට ජ්‍යෙෂ්ඨත්වය අනුව සභාවේ වාඩිවිය යුතුයි. එය කඩකරන්න බැහැ. එය කඩකර වාඩි වුව හොත් එදින සභාවේ ගන්නා තීරණ වලංගු නැහැ. 

මේ අනුව ජ්‍යෙෂ්ඨත්වයට අනුව වාඩි වූ විට පළමුව සිටින කෙනා එක පක්ෂයක වෙන්න පුළුවන්. ඊළඟට සිටින කෙනා තවත් පක්ෂයක වෙන්න පුළුවන්. ඒ ආකාරයට අඛණ්ඩ ජ්‍යෙෂ්ඨත්වය අනුව වාඩි කළාම කවුරුත් කලවමේ ඉන්නේ. මේ නිසා ආණ්ඩු පක්ෂය මේ පැත්තේ, විපක්ෂය මේ පැත්තේ කියලා කිසිම සභාවක වෙන් කර තියන්නෙ නැහැ. ඒ නිසා ආණ්ඩු පක්ෂ විපක්ෂ කියලා දෙයක් සභාවක නැහැ. 

ඒ වගේම පළාත් පාලන ආයතනයකට පැමිණෙන සියලු‍ම දෙනා මුලින්ම දිවුරුමක් දීලා තමයි සභාවට පැමිණෙන්නේ. නාමයෝජනා පත්‍රය සමග අවනතභාවය ප්‍රකාශ කිරීමේ දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙනවා. 

මේ නිසා පළාත් පාලන ආයතනවලට තේරීපත්වන මන්ත්‍රීවරුන්  නැවත දිවුරුම් දීම අනවශ්‍යයි කියලා නීතිපති දැනුම් දීලා තියෙනවා.

නමුත් මන්ත්‍රී කෙනෙක් විදියට තේරීපත්වුණා කියලා ප්‍රසිද්ධ කරන්න මේ අය පක්ෂයේ සංවිධායක ඉදිරියේ නැවත දිවුරුම් දෙනවා. එය අනවශ්‍ය දෙයක්. දිනපු තේරීපත් වුණ ගැසට් පත්‍රයේ නම තිබෙන ඕනෑම කෙනෙකුට සභාවට සහභාගීවීමේ හැකියාව තිබෙනවා.”