දළදා වන්දනාවට ලක්ෂ ගණනක් පෝලිමේ


ෂේන් සෙනෙවිරත්න

වසර දාසයකට පසු බෞද්ධ බැතිමතුන්ට උදාවූ ඓතිහාසික දළදා වන්දනාව සඳහා අතිවිශාල බැතිමත්හු පිරිසක් දින තුනක් පුරා පෝලිම්වල දිවා රාත්‍රී ගත කරමින් සිටිති.

පොලිස් බුද්ධි තොරතුරුවලට අනුව දළදා වන්දනාව ආරම්භ වූ සිකුරාදා (18දා) දහවල් වන විට එසේ පෝලිම් තුනක රැඳී සිටි පිරිස ලක්ෂ තුනකට අධික බව වාර්තාවේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ කැබිනට් ඇමතිවරුන්, විදේශීය තානාපතිවරුන් ඇතුළු ප්‍රභූවරුන් ආරම්භයේදී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව පෝලිම්වල රැඳී සිටි බැතිමතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමේ අවස්ථාව උදාවිය.

මීට පෙර පැවති දළදා වන්දනා අවස්ථාවලදී දක්නට නොලැබුණු ආකාරයේ බැතිමතුන් විශාල පිරිසක් දින කිහිපයකට පෙර සිටම පෝලිම්වල රැඳී සිටීම විශේෂත්වයකි.

මෙම දළදා වන්දනාව මේ මස 27 දින දක්වා පැවැත්වීමට නියමිත අතර එය බොහෝවිට තවත් දින දෙකක් හෝ තුනක් දීර්ඝ වීමට නියමිත බව පැවසේ.