ඉන්දික හේවාවිතාරණ
කළමනාකරණ සේවාවේ අධිශ්‍රේණියේ පුරප්පාඩු 250ක් පවතින බවත් මෙයින් මධ්‍යම රජයේ පුරප්පාඩු 130ක් හා පළාත් රාජ්‍ය සේවාවේ 120ක් වශයෙන් පවතින බවත් රාජ්‍ය පළාත්, රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර පැවැසීය.
මිට අදාළ තරග විභාගය 2022 වසරින් පසු පවත්වා නොමැති අතර විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලැබූ කළමනාකරණ සේවාවේ නිලධාරීන් විශාල පිරිසක් සිටින බවද හෙතෙම සඳහන් කළේය.
පළාත් රාජ්‍ය සේවාවේ පුරප්පාඩු සැලකීමේ දී ප්‍රාදේශීය සභා ලේකම් තනතුරු හා මහනගර සභා හා නගර සභා පරිපාලන නිලධාරි තනතුරු වශයෙන් හා අනෙකුත් පළාත් රාජ්‍ය සේවාවේ පරිපාලන නිලධාරි තනතුර වශයෙන් පුරප්පාඩු පවතින බවද ඔහු පවසා සිටියේය.
මධ්‍යම රජයේ තනතුරු සැලකීමේ දී මෙම සේවාවට අදාළව අධිශ්‍රේණියේ තනතුරු වන පරිපාලන නිලධාරි තනතුරු හා රෝහල් ලේකම්, අධ්‍යාපන විද්‍යාපීඨ හා කාර්මික විද්‍යාලවල ලේඛකාධිකාරි තනතුරු පුරප්පාඩු වී තිබෙන නිසා මීට අදාළව කළමනාකරණ සේවාවේ අධිශ්‍රේණියේ තරග විභාගය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.
ග්‍රාමීය බලප්‍රදේශ හා මහජනතාව වෙනුවෙන් සෘජුවම සම්බන්ධ වෙමින් කටයුතු කරන පළාත් පාලන ආයතනවල සේවා ඉටුකරන ප්‍රාදේශීය සභා ලේකම් හා නගර සභා මහ නගර සභා පරිපාලන නිලධාරි තනතුරු හා අනෙකුත් අධිශ්‍රේණියේ තනතුරුවල නිලධාරීන් වැඩි වැඩ කොටසක් සිදුකරන බව ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර වැඩිදුරටත් පැවසීය.