සුජිත් හේවාජුලිගේ
රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. එහි පළමු පියවර ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සිදු වී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඒ පිළිබඳ සියලු වාර්තා නීතිපතිවරයාට අද හෙටම යොමු කිරීමට පියවර ගන්නා බව කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
මේ අතර දූෂණ සහ අක්‍රමිකතා සිදුවන සියලුම රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ඉතිහාසයේ පළමු වතාවට වෙන වෙනම ලිපිගොනු සකස් කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පහසු කෙරෙන ආකාරයට සියලුම සාක්ෂි ඇතුළත්ව එම ලිපිගොනු සකස් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ සමරවීර මහතා එලෙස ලිපි ගොනු සකස් කිරීමට ඉදිරියේදී නීති නිලධාරියකු පත් කර ගන්නා බවද ප්‍රකාශ කළේය.
කෝප් කමිටු මෙයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ සියලු ආයතන සම්බන්ධයෙන් වූ පොදු වාර්තාවක් පමණක් බවත් රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම හැර වෙනත් ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බවත් කෝප් කමිටු සභාපතිවරයා පැවසීය. මේ අතර දූෂණ, වංචා සහ අක්‍රමිකතා විමසීම සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රධානීන් ඉදිරි සතියේදී කෝප් කමිටුව හමුවට කැඳවීමට බලාපොරොත්තු වන බවද නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේය.
තවද දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවන රාජ්‍ය ආයතනවලට හිටිහැටියේ කඩා පැන ඒවායේ කටයුතු නිරීක්ෂණය කිරීමටද කෝප් කමිටුව තීරණය කර ඇත. කෝප් කමිටු සාමාජිකයෝ පසුගියදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොස් එවැනි නිරීක්ෂණයක් කළහ.