දළදා පූජාවට රජවරුන් පැන වු අණපනත්


ලංකා රාජ්‍යය හිමි තැනැත්තා වෙත දන්ත ධාතුව තිබිය යුතුය යන හැඟීම දන්ත ධාතුව ලක්දිවට වැඩම කරවූ කාලයේ පටන්ම බෞද්ධයන් තුළ පැවතියේය. සිංහල රජුන් තම දිවි දෙවැනි කොට දළදාව රැක ගැනීමට දිරි දැරුවේ එහෙයිනි. 1818 ජූලි මස 5 වැනි දින හඟුරන්කෙතදී දන්ත ධාතුව සහ එය බහාලූ රන් කරඬුව විශාල ජනකායකට ප්‍රදර්ශනය කළ කැප්පෙටිපොළ නිලමේ වේගවත් කතාවක් පවත්වමින් දන්ත ධාතුව දැන් ඔවුන් සතුව පවත්නා හෙයින් ඉංග්‍රීසින් උඩරටින් පලවාහැරීම නියත යැයි ප්‍රකාශ කළේය. 

මාලිගාවේ දළදා කරඬු විවෘත කොට මෙම ප්‍රකාශයේ සත්‍යාසත්‍යතාව විමසා බැලීමට පසුබට වූ ඉංග්‍රීසිහු දන්ත ධාතුව කැරලිකරුවන් අතට පත්වූ බවට වන ප්‍රචාර අසත්‍ය බව කියා සිටියහ. එසේ වුවද ඒ වන විට දන්ත ධාතුව පැහැරගෙන ගොස් තිබිණ. මෙම කටයුත්ත කර තිබුණේ තේවාව භාරව සිටි වාරියපොල සුමංගල හිමි සහ කළුගොමුවේ කාරියකරවන රාල විසිනි. මෙම පැහැර ගෙන යාම මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද ලියූ ‘උඩරට මහ කැරැල්ල’ කෘතියේ මෙසේ සඳහන් වේ.

‘නියමිත හැන්දෑවෙහි දළදා මාලිගාවේ ඇතුළු ගබඩාව වැසීමට ඔන්න මෙන්න කියා තිබියදී කුමන්ත්‍රණකාරයෝ පැමිණ මල් පූජා කිරීමට කැමැත්ත පළ කළහ. මල් නොතිබුණු හෙයින් වාරියපොල තෙරණුවෝ මල් වට්ටියක් ගෙනෙන ලෙස ඉංග්‍රීසින් විසින් මුර සේවයට යොදා සිටි හේවාපන්න කාරයාගෙන් ඉල්ලා සිටියහ. ඉංග්‍රීසි පත් කළ මුදලියකුද එහි සිටි අතර මුදලියාගේ ප්‍රමාදයක් බලා වාරියපොල තෙරණුවෝ කුමන්ත්‍රණකාර සිය සගයන් ගබඩාවට ඇතුළු කොට දොර වසාලූහ. පසුදින උදය අලුයම් දුර තේවාව සඳහා හේවිසි නාද පවතිද්දී ඇතුළු ගබඩාවේ සිටි කුමන්ත්‍රණකාරයෝ මහ කරඬු කඩා විවෘත කොට දන්ත ධාතුව සහිත කුඩා කරඬුව රැගෙන පලාගොස් වැල්ලගිරියේ සිටි කැප්පෙටිපොල නිලමේට දුන්හ. හඟුරන්කෙතදී ප්‍රදර්ශනය කරන ලද්දේ මෙයයි. 

1818 කැරැල්ල සමයේ නොවැම්බර් මස 1 වැනි දින පුබ්බිලියේදී භික්ෂුන් වහන්සේ නමක් සහ රෙදිපොදි කිහිපයක් සහිත අතවැසියන් දෙදෙනකු ද ඉංග්‍රීසින්ට හසුවිය. එම පොදියක තිබුණේ පැහැරගෙන යන ලද දළදා වහන්සේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වාරියපොල හිමියන්ද තවත් භික්ෂුන් දහනමක්ද යාපනයේ සිරකරන ලදී. කැරැල්ල මැඩීමේ හා දළදාව අත්පත් වීමේ ප්‍රීතියෙන් යුතු ඉංග්‍රීසිහු මහත් පෙරහරකින් දළදා වහන්සේ වැඩමවා මාලිගාවේ නියමිත ස්ථානයේ තැන්පත් කරන ලදී.

දැන් තිබෙන දළදා මාලිගාව කරවන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 17 වැනි සියවසේ අගභාගයේ රාජ්‍යය කළ පළමුවැනි විමලධර්මසූරිය රජතුමා විසිනි. එසේ පිහිටුවන ලද දළදා මාලිගාව ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා රාජ්‍යය කරන කාලය වන විට දිරාපත්ව තිබූ බවත් ඒ රජු විසින් පැරණි තෙමහල් දළදා මැඳුර දෙමහල් මැදුරක් කර නැවත ඉදිකර වූ බවත් මහාවංශයේ දැක්වේ.

දළදා මාළිගාවට පත්තිරිප්පුව හා දිය අගල එකතු කරන ලද්දේ මෙරට අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසිනි. රජමාලිගාවට දකුණු කෙළවරින් රජමැදුරට හරි කෙළින් එකල දළදා මාලිගාව පිහිටා තිබුණි. මාලිගා දෙකට මුහුණලා ඇත්තේ බටහිර දිසාවටය. ඒ පිටුපසින් රාජ සභාව හෙවත් මගුල් මඩුව පිහිටියේය. මෙම මඟුල් මඬුව සහ රජමාලිගයේ විශාල කොටසක් ඉංග්‍රීසි පාලන සමයේ කඩා දමා වෙනස් කර ඇත. රාජ සමයේ දළදා මාළිගාව හදුන්වන ලද්දේ රජතුමාගේ පෞද්ගලික බූදලයක් වශයෙනි. අද මෙන් දිනපතාම දළදා වහන්සේ වන්දනාව සඳහා රටවැසියන්ට යා නොහැකි විය. ඇසල පෙරහැර පැවැත්වූයේ එකල රටවැසියන්ට දළදා වහන්සේ වන්දනා කරගැනීම ද අරමුණු කරගෙනය. රාජකීයයන්ගේ අතිශය පෞද්ගලික වස්තුවක්ව තිබුණු දළදා වහන්සේ නිරන්තර ජන බුහුමන සඳහා විවෘත කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1853 දී පළමුවැනි වික්ටෝරියා අධිරාජනියගේ ආඥාවක් පරිදිය. 

දළදා මාලිගාවේ වතාවත් පාලනය වෙන්නේ පුරාණ රජදරුවන් පැනවූ නීති අනුවය. කුරුණෑගල රජකළ 4 වැනි පරාක්‍රමබාහු රජතුමා දළදාව සම්බන්ධයෙන් පනවන ලද නීති පංතියක් ‘දළදා සිරිතේ’ ඇතුළත් වේ. දන්ත දාතුන් වහන්සේට පුද පූජා පැවැත්විය යුතු ආකාරය ද මාලිගාව තුළ පිළිපදින අයුරුද ඒ නීතිවල සඳහන්ය. එම නීති මෙසේය.

  1. යහන් පිළියෙල කරන්නන් හැර අන් කිසිවෙකුත් දළදා මාලිගාවේ දොරටු තුන අතුරෙන් තුන්වැනි රන් උළුවස්සෙන් ඇතුළට නොපිවිසිය යුතුය.
  2. මහානායකවරුන්ද රජතුමාද ඔටුනු ගබඩාවට පිවිසෙන්නන්ද දළදා මැඳුර බාරව සිටින්නන්ද ත්‍රිපිටකධරයන්ද හැර අන්කිසිවෙකුත් දෙවැනි රන් දොරින් ඇතුළට නොයා යුතුය.
  3. ඇමැති ගණයාට තුන්වැනි රන් දොරින් ඇතුළට යා හැකිය.
  4. සෙසු කාහට වුවද රන්දොරකඩින් පිටත සිට ගෙන වැන්ද‌ හැකිය.
  5. පූජාවස්තු ගෙනෙන විට ඒවා උඩු වියන් හිස්වැසුම් මුඛවාඩම් බෙර, දවුල් හොරණෑ තම්මැට්ටම් ආදිය සහිත ගෞරවාචාරයෙන් ගෙන ආ යුතුය.
  6. පූජාවට බඳුන් ඉදිරිපත් කරන විට සියලු දෙනාම නැගී සිට ගෞරව කළයුතුය.
  7. දානය ගෙනෙන විට අරක්කැමියන් මුඛවාඩම් බැඳගත යුතුය. දැහැටි පැන්  පෙරා ගත යුතුය. පඩික්කමේ ජලය ඉවත් කළ යුතුය. පඩික්කම ඉවත තැබිය යුතුය. පාවාඩයක් ඇතිරිය යුතුය. බඳුන් පිළිවෙළට තැබීම පිණිස මේසයක් තැබිය යුතුය. දන් පූජාකොට සිංහල පැයෙන් අට පැයක් ඇතුළත තේවාව සම්පූර්ණ කළ යුතුය. (සිංහල ක්‍රමයට දිනකට පැය හැටකි. වර්තමාන පැයක් සිංහල පැය දෙක හමාරකි.)
  8. රජු දිනකට වරක් වන්දනා පිණිස දළදා මැඳුරට යා යුතුය. රජුගේ පරිවාර ජනයා පිටත නතර කළ යුතුය. රජු තම ශරීරය පිරිසිදු කරගෙන භක්තියෙන් හා ගෞරවයෙන් දළදා මැඳුරට ඇතුළු විය යුතුය. ඉන්පසු මුස්නක් ගෙන ස්ථානය ඇමද දෑත් දොවා මල් පුදා නව අරහාදි බුදු ගුණ මෙනෙහි කොට වැන්ඳ යුතුය. පන්සිල් සමාදන් විය යුතුය.
  9. රජු සෑම පොහෝ දිනකම ආහාර පාත්‍රයක් පිදිය යුතුය.
  10. රජුගේ ඇමැතිවරුන් අන් දින පිළිවෙළින් බෙදාගෙන දන් පිළිගැන්විය යුතුය.
  11. දළදා මැදුරට නානු මුරයක් පිළියෙල කරන හැම වතාවකම එනම් මසකට දෙවරක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට වැඳුම් පිදුම් කිරීමේ පිංකමක්ද පැවැත්විය යුතුය.
  12. ශුභ නැකතකින් දළදා ගෙය ශුද්ධ පවිත්‍ර කර උඩුවියන් බැඳ නානාවර්ණ පට වස්ත්‍රයෙන් සරසා රජුද අන්තඃපුර ස්ත්‍රීන්ද ඇමැතිවරුන්ද වැසියන්ද සත් දිනක් මුළුල්ලේ දන්, මල් පහන් යන මේවායින් මහා උත්සව සහිතව පූජා පැවැත්විය යුතුය. එම සත් දින අවසානයේ මහත් ගරුසරු මැද නානා වර්ණයෙන් සරසන ලද මංගල රථයෙහි මගුල්අස්නක් (මංගල අසුනක්) මත වඩා හිඳුවා නගර ප්‍රදක්ශිනා කළ යුතුය. කරඬුව මුද්‍රා තබා එළියට ගත යුතුය.
  13. මගුලැතකු රථයෙහි යොදා භික්ෂුන් පිරිත් කියමින් වැඩි මහළු පිළිවෙළින් රථය පසුපස ගමන් කළ යුතුයි.
  14. මංගල රථයේ දෙපසෙහි සේසත් ඔසවා චාමර සැලිය යුතුයි.
  15. දළදා ගෙයි මුලාදෑනින් රජ මාලිගයේ නිලධාරීන් සහ සිව්රඟ සේනාවේ ආරක්ෂාව ඇතිව ඇමැතිවරු පෙරහරේ ගමන් කළ යුතුය. පෙරහැර නගරය වටා ගමන් කර රජු කරා එළඹ කරඬුවේ මුද්‍රා කඩා රජු සහ භික්ෂු සංඝයාට දැක්විය යුතුය. ඉන්පසු දළදා වහන්සේ රජු අතට වැඩම විය යුතුය. එතැන් සිට මහජනතාවට ධාතුන් වහන්සේ දැක්විය යුතුය.
  16. මහ රජුගේ උපන්දාද අලුත් අවුරුදු උත්සව දිනයේද දළදා මැදුරට දීමනාවක් කළ යුතුය.
  17. අලුත් අවුරුදු උත්සවයේදී හා කාර්තික් උත්සවයේදී ඒ ඒ නිලධාරීන් හා ඇමැතියන් රජුට පඬුරු ඔප්පු කිරීමේදී පළමුව දළදා වහන්සේට පඬුරු පුදා ඉන්පසු රජුට පඬුරු ඔප්පු කළ යුතුය.
  18. දළදා මැදුරෙන් කහවණුවක් පවා රජ මැදුරට නොගෙනා යුතුයි. සිහි නොඑලවා යම් කිසිවක් ගෙනෙන ලද නම් සමසක් ඇතුළතදී එමෙන් දෙගුණයක් පෙරළා යැවිය යුතුයි.
  19. යම් කිසිවෙක් යමක් ගැන බියෙන් දළදා මැදුරට ආයේ නම් ඔහුට පීඩාවක් නොකළ යුතුයි.

4 වැනි පරාක්‍රම බාහු රජතුමා පැනවූ නීති අනුව දළදා වහන්සේට දානය පූජා කළ යුත්තේ මේ ආකාරයෙනි.

රාජ භෝජන වැනි භෝජන දිනපතා දන්ත ධාතුවටද පූජා කරන ලදී. 

මේ භෝජන ගෙන එන ලද්දේ විසිතුරු ලෙස සරසන ලද කත්ලීයක දෙකෙලවර එල්ලා ගෙනය. ඒ මත වියනක් අල්ලන ලදී. 

තූර්ය වාදන සහිතව භෝජන ගෙන එන විට සේවකයින් මුඛවාඩම් බැඳ සිටිය යුතුය. දාන වස්තු ගෙන එන විට රැස්ව සිටින හැම දෙනම නැගිට සිටිය යුතුය. 

දාන වස්තු ගෙන ඒමෙන් පැය බාගයක් ගතවීමට පෙර බඳුන්වල බහා ආහාර පූජා කළ යුතුය. එකල දන්ත ධාතුවට පූජා කළ ආහාර පාන දළදා මැදුරේ නිලධාරීන් හා ගාන්ධර්වයන් අතර බෙදා දෙන ලදී.

අනුරාධපුර යුගයේදී මහාජනයා සඳහා දළදා දැකුම් පවත්වන ලද්දේ අභයගිරි විහාරයේදීය. එහෙත් කුරුණෑගල යුගයේදී එය දළදා මැදුරේම පවත්වන ලද බව ඉතිහාසයේ සඳහන් වේ.

ප්‍රේමකීර්ති රණතුංග