අතපය හිරිවැටීම භෞත චිකිත්සාවෙන් සුවකළ හැකියි


ළමා වයසෙ, තරුණ වයසෙ කරන සෙල්ලම් මහලු වයසෙදි බැහැ. ඒ කියන්නේ අපේ සිරුරේ තිබෙන ජවය වියපත් වෙනවාත් සමග වියැකී යනවා. වියපත්භාවය කියන්නේ ජීවිතයට අභියෝගයක් කියලා ඇතැම්විට වැඩිහිටියන්ට හිතෙන්න පුළුවන්. නමුත් මියෙනතුරු නිරෝගීව ජීවත් වෙන්න පුළුවන් විදියෙ පුරුදු තමා සතු වෙනවනම් සැඳෑ සමය සුවසේ ගත කළ හැකියි. 



සැඳෑ සමයේ ඇතිවන රෝගාබාධ වලට පිහිටක් වෙන වරලත් භෞත විකිත්සකවරයෙක් මේ රෝගාබාධ පිළිබඳ කතා කිරීමට ඉරිදා ලංකාදීපයට සම්බන්ධ වුණා. 


වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සහිත දෙස් - විදෙස් පුහුණුව ලත් ඔහු භෞත චිකිත්සක රංජිත් කුලතුංග. 


වයසට යන විට ශාරීරික වෙනස්කම් බොහොමයක් ඇතිවෙනවා. ඒ නිසාවෙන් බොහෝ රෝගවලට ගොදුරු වෙනවා. 


ආතරයිටිස් හෙවත් සන්ධි ප්‍රදාහය වැඩිහිටියන් වැඩිපුරම ආබාධයට ලක්වන තත්ත්වයක්. ආතරයිටිස් වර්ග ගණනාවක් තිබෙනවා.

මින් බහුලව දකින්නට ලැබෙන්නේ රුමටොයිඞ් හා ඔස්ටියෝ ආතරයිටිස් යන වර්ගයන්. සන්ධිය ඉදිමීම, වේදනාව තදවීම නිසාවෙන් පසුකාලීනව සන්ධි චලනය අපහසු වීමෙන් විකෘතිතා ඇතිවෙනවා මෙන්ම, ඇවිදීමට අපහසු වෙනවා. 


තමන්ගේ වැඩ පළ කිරීමට ද නොහැකි වීමෙන් කායිකව පමණක් නොව මානසිකවද දුබල වෙනවා. මේ සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍යමයි. එමගින් වේදනාව පාලනය කර ගත හැකියි. 


නමුත් චලන අපහසුතාවයන් මගහරවා ස්වාධීන කෙනෙක් වීමට චිකිත්සා ප්‍රතිකාර වලින් ලැබෙන්නේ කිව නොහැකි තරමේ උපකාරයක්. තාප ප්‍රතිකාර, විද්‍යුත් ප්‍රතිකාර, ව්‍යායාම, වෛද්‍යමය සම්භාහනය මෙහිදී යොදා ගැනීම ඉතා වැදගත්. 
විශේෂයෙන් දණහිස් ආබාධ සහිත නම් මේ ප්‍රතිකාර වලින් ලැබෙන ප්‍රතිඵල ඉතා වැඩියි. 


අංශභාගය ඇතිවෙන්නේ මොලයට සැපයෙන රුධිරය යම් ක්‍රමයකින් හීනවීමෙන් හෝ නැති වීමෙන්. ශරිරයේ වම් හෝ දකුණු අත හා කකුලේ චලනයන් ද එවිට නැති වී යයි. මෙම තත්ත්වය නැති කර හෝ අවම කර ආබාධ රහිත පුද්ගලයෙකු බවට පත්කිරීමට මෙම චිකිත්සාව සමත් වේ. වැදගත්වනුයේ මූලික රෝහලේ ප්‍රතිකාර වලින් පසුව හැකි ඉක්මණින් මේ සඳහා යොමුවීමයි. 


වෙනත් ස්නායු සෛල වලට හානිවීමෙන් හෝ ස්නායු තද වීමක් හෝ කැපීමක් නිසා ඇති වන පණ නැතිවීම්වලටද මෙම ප්‍රතිකාර ඉතාමත් ප්‍රතිඵලදායකයි. 


හිටි හැටියේ ඔබට ඇති වන්නට පුළුවන් තත්ත්වයක් තමයි කට පැත්තට යාම. එමගින් කතා බහ කිරීමටත් අපහසුයි. වතුර බොන්නට, කෑම කන්නට අපහසුතාවක් තියෙනවා. මෙය සිදුවෙන්නේ මොලයෙන් මුහුණේ මාංශපේශී පාලනය කරන ස්නායුව තදවීම හෝ ස්නායු සෛල හානිවීම තුළින්. මේ සඳහා ඖෂධ ප්‍රතිකාරයක් ගන්නා අතරතුර චිකිත්සා ප්‍රතිකාර වලින්ද ඉක්මන් සුවය ලබා ගත හැකියි. 


විශේෂයෙන් පරිගණක භාවිතා කරන කාර්යාල සේවක සේවිකාවන්ට තමන්ගේ වැරැදි ඉරියව් නිසා බෙල්ලේ, තුනටියේ වේදනාවන් අපහසුතාවයන් ඇතිවේ. මෙහිදී කොඳු නාරටිය ආශ්‍රිතව ඇති මාංශපේශී තදවීමක් දැකිය හැකියි. මේ සඳහා තාප ප්‍රතිකාර, විද්‍යුත් ප්‍රතිකාර, සම්භාහන සැහැල්ලු කිරීමේ මෙන්ම ශක්තිමත් කිරීමේ ව්‍යායාම, නිවැරැදි ඉරියව් මගින් නිට්ටාවටම සුවකිරීමට චිකිත්සා ක්‍රම මගින් හැකිවේ. 


කොඳු ඇට පෙළේ කශේරුකාවල ඇති වන වෙනස්කම් නිසාවෙන් සුෂුම්නාවෙන් පිටතට පැමිණෙන පර්යන්ත ස්නායු තෙරපීම නිසාද බෙල්ලේ, උරහිස අවට, කොන්ද මෙන්ම අත දිගටද, පතුල දිගටද වේදනාව මෙන්ම හිරිවැටීම් ඇති විය හැකියි. 


මෙම වේදනාව සමහර පුද්ගලයන්ට ඉවසන්නට නොහැකි දරුණු තත්ත්වයක් බවට පත්වෙයි. ඔවුන් එයින් මුදවා ගන්නට හැකි ප්‍රතිකාර මෙන්ම මේ සඳහා ආධාරක පැළඳීම් අවශ්‍යයි. :ක්‍ැරඩසජ්ක ක්‍දකකැරල ඛමපඉ්ර ීමචචදරඑ* මේ සඳහා තමන්ගේ නිවැරැදි ඉරියව් පාලනය හා වැරැදි ක්‍රියාකාරකම් පිළිබඳවද දැනුම්වත් විය යුතුයි. 


විශේෂයෙන් ගෘහනියන්ට, ක්‍රීඩකයන්ට ඇතිවන වැලමිටේ පිටත වේදනාව :ඔැබසි ෑකඉදඅ*   සමනය සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය වඩාත් වැදගත්. මෙහිදී වේදනාව ඇතිවන්නේ උඩබාහුවේ පිටත ඇති මාංශ පේශියේ ඛණ්ඩරාව අස්ථියට සවිවන ස්ථානයේයි. මේ සඳහා තාප ප්‍රතිකාර, විද්‍යුත් ප්‍රතිකාර, සම්භාහනය. වැලමිට, ආරක්ෂක වෙළුම් පිටි පැළඳීම, පසුව ශක්තිමත් කිරීමේ ව්‍යායාම මගින් සුවකර ගත හැකිය. 


අත්ල සහ ඇඟිලි හිරිවැටීම වැඩිහිටියන්ට ඇති කරන තවත් ගැටලුවකි. අත්ල හා ඇඟිලි දක්වා දිවෙන සංවේදක ස්නායු මැණික් කටු සන්ධියෙන් පහළදී තෙරපුමකට ලක්වීම තමයි මෙහිදී සිදුවන්නේ. මෙය දරුණු තත්ත්වයෙන් පවතී නම් ශල්‍යකර්ම කිරීමටද සිදුවේ. මුල් අවස්ථාවේ දී චිකිත්සා ප්‍රතිකාර වලින් එම තත්ත්වය සමනය කර ගත හැකියි. 


අතෙහි මහපට ඇඟිල්ල දිග හැරීමේදී මැනීක් කටුව අසළින් අධික වේදනාකාරී තත්ත්වයක් ද සමහර වැඩිහිටියන්ට මහපට ඇඟිල්ල හෝ ඇඟිලි නමා දිග හැරීමේදී ඉතා වේදනාකාරීව තදවී සැණින් පනින තත්ත්වයක් දැකිය හැකියි. මේ සඳහා වේදනා නාශක ඖෂධ වලට අමතරව විශේෂ ප්‍රතිකාර මගින් සමනය කර ගත හැකියි.


උකුල හා කලව ආශ්‍රිතව ඇති වන වේදනාව තවත් වේදනාකාරී තත්ත්වයකි. මේ සඳහා චිකිත්සා ක්‍රම මගින් අපහසුතාවයන් මඟ හරහා ගත හැකිය. 


විශේෂයෙන් යටි පතුලේ වේදනාව, පතුලේ දැවිල්ල, හිරිවැටීම වැඩිහිටියන් සහ කාන්තාවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. මෙහිදී ඇවිදීමේදී ඉතා අපහසු බවක් පෙන්වයි. මෙය සමනය සඳහා තාප හා විද්‍යුත් ප්‍රතිකාර, සම්භාහන ව්‍යායාම මෙන්ම යටි පතුලට පැළඳිය හැකි ආධාරක පාවිච්චි කිරීමට පුළුවන්. තරබාරු අය සඳහා එය අඩු කර ගැනීමට ද අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර චිකිත්සා ක්‍රම මගින් ලබාගත හැකිය. 


පාර්කින්සන් වෙව්ලීම රෝගයේදී ඇතිවෙන පාලනය කළ නොහැකි චලනයක් යම්තාක් දුරට පාලනය කර සමබරතාව දියුණු කර ඇවිදීම පහසු කිරීමට චිකිත්සා ක්‍රම භාවිතා කරයි. 


ශල්‍යකර්ම වලින් පසු (මොළය) කශේරුකා හෝ අස්ථි බිඳීම් නිසා පාවිච්චි කරන ප්ලාස්ටර් දැමීමෙන් පසු යථා තත්ත්වයට පත් කිරීමට මේ ප්‍රතිකාර ඉතා වැදගත් වෙයි. 
ධනු විජේරත්න