කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය
දිය රෙද්දට හැඩවුණු ලියන්ගේ රූ සපුව හොරෙන් නැරඹීමට ගොස් සමාජ සේවකයකුගේ සායම සේදී ගිය පුවතක් රජරට පළාතේ පිටිසර ගමකින් අසන්නට ලැබුණි.
කතාව මෙසේය.
උතුරු මැද පළාතේ අති සුන්දර මනස්කාන්ත වැවති. එම වැවේ නාන මංකඩ “පිරිමි” සහ “ගැහැනු” වශයෙන් වෙන් කර තිබුණි. වෑකන්දට පිටතින් සහ වැවේ ඇතුළු පැත්තේ කුඹුක් ගස් හත අටක් දක්නට ලැබුණි. ගැහැනු නාන මංකඩේ වතුර අද්දරම තිබුණේ තරමක් විශාල නුග ගසකි. එහි අතු ඉති මනාව විහිදී තිබිණි. උදේ සිට රෑ වන තුරුම ගැහැනු මංකඩේ වතුරේ සිසිලස අඩුවක් නොවුණේ නුග සෙවණේ සිසිල නිසාවෙනි.
මෙම මංකඩේ නාන ගැහැනුන්ගේ රුව එතරම් පැහැදිලිව පිටතට නොපෙනුණේ මංකඩ අසලම ඇති නුග ගසේ අතු බිමටම පහත් වී තිබුණු බැවිනි. එම නිසා කාන්තාවන් වැඩි පරිස්සමකින් තොරව දියරෙදි උණා දමා සබන් ගා, ඇඟ අතුල්ලා ගැනීම සිදු කළේ කිසිදු බියක් සැකක් නොමැතිවය.
එක දවසක් සවස් කාලයේ රූමත් තරුණ කාන්තාවෝ කිහිප දෙනෙක් මංකඩේ දිය නාමින් සිටියෝය. ඔවුහු දෙපිට කැපෙන කතා කියමින් කැකිරි පළමින් සිනා නැගුවෝය. සිරුරටම ඇලී තිබුණු දියරෙදි බුරුල් කරගනිමින් නිදහසේ සබන් ගාමින් ඇඟ අතුල්ලාගන්නට වූහ.
මේ මොහොතේ එක් කාන්තාවක් පරිසරයේ යම් වෙනසක් දුටුවාය. ඇය වහාම අනෙක් කාන්තාවන්ට කනට කර එම රහස කීවාය. කාන්තාවෝ සියලු දෙනාම හිස ඔසවා නුග ගස උඩ බැලුවෝය.
ඉතා සූක්ෂම ලෙස නුග ගසේ යටම අත්තක කොළ බිස්සක් තුළ සැඟවී නාන ලියන්ගේ රූපකාය ඇස් දෙකේ අලවාගෙන මනාව රසවිඳිමින් සිටි තැනැත්තකු කාන්තාවන්ගේ ඇස ගැටුණි.
නුග ගසේ සැඟවී සිටි තැනැත්තා වහා කලබලයට පත්වී නුග ගසෙන් බිමට පැන දුවන්නට ඉඟිලුණේ ඇඳිවතද නුග ගසේ අත්තක එල්ලෙමින් තිබියදීය.
දුවන තැනැත්තා කාන්තාවෝ හඳුනාගත්හ. ඒ අන් කිසිවෙකුත් නොව ගම්පළාතටම සමාජ සේවය කරන කාගේත් හොඳ හිත දිනා ගත් ස්වේච්ඡා සේවකයෙකි.
විනාඩි කිහිපයක් ඇතුළත එම ජවනිකාව ගම පුරා රඟදැක්විණි.
එතැන් පටන් මේ සමාජ සේවක තෙමේ ගම්පළාතේම අය හඳුන්වන්නේ “නුග ගහේ දෙයියා” යන නමින් බවට සැලවේ.