අසනීපව සිටින තම වියපත් මෑණියන් රැකබලා ගැනීමේ හිලව්වට මහ ගෙදර මිදුලේද තේ වගා කිරීමට සූදානම් වූ පුත්‍රයෙකු පිළිබඳව පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් පසුගියදා අසන්නට ලැබිණි.
පවුලේ සහෝදර සහෝදරියන් පිරිස හත් දෙනෙකි. ඉන් වැඩි පිරිසක් ආවාහ විවාහ වී ඈත ප්‍රදේශවල ජීවත්වෙති. රෝගී තත්ත්වයක් නිසා කාලයක් තිස්සේ ඔවුන්ගේ මෑණියන් සිටින්නේ ලෙඩ ඇඳේය.
පවුලේ සියලුම දෙනාගේ එකඟත්වය ඇතිව ගම් ප්‍රදේශයේම ජීවත්වන පවුලේ බාලයාට තම මෑණියන් රැකබලා ගැනීම පැවරිණ. ඔහු ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කළේ මහගෙදර සියලු දේපළ තම නමට ලියවා ගැනීමෙන් පසුවය. දේපළ පමණක් නොව මවට ලැබෙන විශ්‍රාම වැටුප පවා ලබා ගැනීමට ඔහු ක්‍රියා කළේය.
එපමණක් නොව මවගේ බේත් හේත්වලට යැයි කියමින් ගමෙන් ඈත සිටින සොයුරු සොයුරියන්ගෙන් මසකට රුපියල් පන්දහස බැගින්ද ඔහු ගෙන්වා ගනියි.
කෙසේ වෙතත් මවගේ ඉල්ලීම මත නිවෙසක් නොමැති පවුලේ වැඩිමල් සහෝදරයාට සහ එම පවුලට මහගෙදර ජීවත්වීමේ අයිතිය පමණක් ලබාදී තිබිණ.
සෑම සතියකම සේවකයකු සමඟ අත්ට්‍රැක්ටරයෙන් මහගෙදර යන පවුලේ බාලයා එහි ඇති තේ දළු සහ වෙනත් පොල්, පුවක්, කොස්, පොළොස්, පලතුරු ආදී සියලුම දේ කඩාගෙන යයි. නිවසේ ජීවත්වනවා හැර වේළී වැටෙන පොල් ගෙඩියක් හෝ ඇහිඳ ගැනීමට අයියාට තහනම්ය.
පසුගිය සති අන්තයේ දිනෙක උදේ පාන්දර ලොකු අයියා දොර අරින විට පුද්ගලයින් දෙදෙනෙකු අත්ට්‍රැක්ටරයෙන් ගෙන ආ තේ පැළ තොගයක් මිදුල මැද බාමින් සිටිනු දැක ඇත.
ඉඩමේ සෑම බිම් අඟලකම වගා කර තිබියදී මේ තේ පැළ කොතනක සිටුවීමටදැයි ඔහු විමතියට පත්විය.
මිදුලේ තේ පැළ ටික සිටුවා එන ලෙස පුංචි මහත්තයා තමන්ට පැවසූ බව කියමින්, පැමිණි කම්කරුවන් දෙදෙනා උදලු අලවංගු රැගෙන මිදුලේ වළවල් හෑරීමට සූදානම් වී ඇත.
එවිට යක්ෂාරූඩ වූ ලොකු අයියා හොඳවයින් ලුණු ඇඹුල් ඇතිව සුද්ධ සිංහලෙන් ගෝරනාඩුව පටන් ගනිද්දී මේ වගේ කුණු කොන්තරාත්තු තවත් නම් බාර ගන්නේ නැතැයි කියමින් තේ පැළ සහ උදලු අලවංගු ට්‍රැක්ටරයට පටවාගත් කම්කරුවන් දෙදෙනා පස්ස නොබලාම පිම්මේ පැන ගියාලු.
පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි