අසාධ්‍ය තත්ත්වයේ පසු වූ රෝගීන් තිදෙනකු ට්‍රොලියක නංවාගෙන එක්ස් රේ ගැනීම සඳහා දැඩි අපහසුතා මැද රැගෙන ගිය සෞඛ්‍ය සේවා කාර්යාංශයේ සේවකයකුට අත් වූ අකරතැබ්බයක් පිළිබඳව පුවතක් කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් අසන්නට ලැබුණි.
ඔහු එහි වාට්ටුවක සේවය කරන අයෙකි. අවංකව වැඩ කිරීමට කැපවන සේවකයෙකි. වාට්ටුවේ සිටි රෝගින් කිහිප දෙනෙකුගේ අසනීපයට හේතුව සොයා ගැනීම සඳහා එක්ස් රේ ගැනීමට නියමිතව තිබුණි.
ඒ සඳහා වෛද්‍යවරයකු දුන් උපදෙස්වලට අනුව රෝගීන් රැගෙන යාමේ කාර්යය මොහුට පැවරුණි.
කුරුණෑගල කොළඹ පාරට යාබද වාට්ටුවක සිට එක්ස් රේ කාමරයට යාමට බොහෝ දුරක් ඇත. එහි යාමට මොහු හිස් ට්‍රොලියක් තල්ලු කරගෙන වාට්ටුවට ආවේය.
“කවුද එක්ස් රේ ගන්නේ, යන අය එන්න.”
ඒ අනුව වියපත් මවක් හා පියෙක් පැමිණියහ. ඒ දෙදෙනා ට්‍රොලිය මතට නංවා ගත්හ. තරුණ කාන්තාවක් ද පැමිණියාය.
“ඔයත් එක්ස් රේ කාමරයට යනවාද”
“ඔව්, ඔව් මමත් යනවා”
ඇය පා ගමනින් යාමට සූදානම් වූවාය.
“බැහැ, බැහැ , පයින් යන්න බැහැ එක්ස් රේ කාමරයට යනවා නම් ට්‍රොලියට නගින්න.”
සේවකයාගේ අණට කීකරු වූ ඇයත් ඒ මත වාඩි වුණාය.
සේවකයා වෙර දී ට්‍රොලිය තල්ලු කරගෙන යන අතරවාරයේ ඔහු ඔවුනගේ ආගිය තොරතුරු හා රෝගි තත්ත්වයන් ගැන විමසුවේය.
“අම්මාට මොකක් ද තියෙන අසනීපය ?”
“අනේ මහත්තයෝ මට වකුගඩු අමාරුව.”
“ඔය තාත්තාට මොකක්ද වෙලා තියෙන්නේ?
“මටත් බඩේ අමාරුවක්, හොයා ගන්න බැරිව තමයි ගමේ ඉස්පිරිතාලෙන් මෙහෙට එව්වේ? ”
ඉන් අනතුරුව ඔහු කතා කළේ නිහඬව වාඩි වී යන තර බාරු තරුණ නැගණියටය.
ඔයාට ඇයි ?
“මට අසනීපයක් නැහැ. මම මේ අම්මගෙ තනියටයි ආවේ ?”
“මොනවා, ඇයි එහෙනම් ඔයා ට්‍රොලියට නැග්ගේ.?”
“ඉතිං, මහත්තයානේ මට පයින් යන්න එපා කියලා මේකට නගින්න කිව්වේ ?”
“මම එහෙම කිව්වේ ලෙඩෙක් කියලා හිතලානේ”
“බහින්න, බහින්න” සේවකයාගේ අණින් ඇය බිමට බැස්සාය.
ඔහු එතැන් සිට තිබු බර සැහැල්ලු කරගෙන එක්ස්රේ කාමරය දෙසට ගමන් කළාලු.
මොරගොල්ලාගම සිසිර කැලේගම